E   |     |  

යම් අමාත්‍යවරයෙකුගේ ඉල්ලීම පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව ප්‍රකාර ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් දින 7 කට පසුව එය න්‍යාය පත්‍රයට ඇතුළත් කර 50(1) ස්ථාවර නියෝගය ප්‍රකාරව පළමුවැනි වර කියවීම සිදු කෙරේ.

කෙසේ වුවද, පනත් කෙටුම්පතෙහි විෂය කරුණු පළාත් සභා ලැයිස්තුව යටතේ ගැනේනම් එවැනි පනත් කෙටුම්පතක් පළමුවැනි වර කියවිම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් සියලු පළාත් සභා වෙත යොමුකර අදහස් විමසිය යුතුය.

පනත් කෙටුම්පත ‍පළමුවර කියවීමෙන් පසුව එය මුද්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නියෝග කරනු ලබන අතර ස්ථාවර නියෝග 50(2) ප්‍රකාරව පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට ‍යොමු කරනු ලබයි.

පළමුවර කියවීමෙන් දින 14 ක් ඉක්මවීමෙන් පසුව ස්ථාවර නියෝග 50(1) සහ 55(1) ප්‍රකාරව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා නියමු කරනු ලැබේ. පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

සෑම පනත් කෙටුම්පතක්ම දෙවැනි වර කියැවීම සඳහා භාජනය කිරීමට පෙර අදාළ අංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බලා ඊට අදාළ එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිය යුතුය.

කෙසේ වුවද, පහත සඳහන් අවස්ථාවන්හිදී, දෙවැනි වර කියවීම, පළමුවැනිවර කියවීමෙන් දින 7 කට පසුව සිදුනොකරනු ඇත.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ස්ථාවර නියෝග 55(2) ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (උ)(5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාර නවවන උප ලේඛනයෙහි III වැනි ලැයිස්තුවේ (සමගාමී ලැයිස්තුවේ) කාරණා සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග 51(2)(අ) ප්‍රකාර පළාත් සභාවල අදහස් ලබා ගැනිම සඳහා සියලු පළාත් සභා වලට යොමු කෙරේ. පළාත් සභාවල අදහස් පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ස්ථාවර නියෝග ‍51(2)(ආ) ප්‍රකාර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබයි.

පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීමේදී ස්ථාවර නියෝග 56 ප්‍රකාර විවාදයට භාජනය කරනු ලැබිය හැකිය. විවාදය අවසානයේදී පනත් කෙටුම්පත ස්ථාවර නියෝග 47 ප්‍රකාරව ඡන්දයකින් (කටහඬ අනුව;‍ බෙදීම - පේළි අනුව/නම් අනුව - විද්‍යුත් ඡන්ද සටහන් කිරීම මගින්) සම්මත කරනු ලැබේ.

දෙවැනි වර කියැවීමෙන් පසුව පනත් කෙටුම්පත (විසර්ජන පනත් කෙටුම්පතක් හැර) ස්ථාවර නියෝග 57 ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙකු නොවන අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ යෝජනාවක් මත එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ විශේෂ කාරක සභාවකට හෝ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකට හෝ යෝග්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවකට යොමු කරනු ලැබේ.

57 ස්ථාවර නියෝගය ප්‍රකාර පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් වෙත යොමු කරන ලද විට එම කාරක සභාවේ වැඩ කටයුතු 93 සිට 99 දක්වා ස්ථාවර නියෝග ප්‍රකාර සිදු කරනු ලැබේ.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථා‍වේදී, පනත් කෙටුම්පතෙහි සියලු වගන්ති කාරක සභාව තුළදී සලකා බලනු ලබන අතර ස්ථාවර නියෝග 60, 61, 62, 63, 64, සහ 65 ප්‍රකාර පනත් කෙටුම්පතේ වගන්ති වලට නව සංශෝධන යෝජනා කළ හැකිය. ස්ථාවර නියෝග 66(1) සහ 66(2) යටතේ පනත් කෙටුම්පතට නව වගන්ති හා නව උපලේඛන යෝජනා කරනු ලබන විටක ඒවා පළමුවැනි වර කියවන ලද සේ සලකා දෙවැනි වර කියවනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව ස්ථාවර නියෝග 66(3) සහ 66(4) ප්‍රකාර පනත් කෙටුම්පතෙහි පූර්විකාව සහ නාමය සලකා බැලිය යුතුය.

සංශෝධන වල ස්වභාවය 43, 44, 45 සහ 46 වන ස්ථාවර නියෝග වල දක්වා ඇත. 43(2) ස්ථාවර නියෝගය ප්‍රකාර සියලු සංශෝධන පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත ලිඛිතව භාර දිය යුතුය.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් පනත් කෙටුම්පතක් සළකා බැලීම අවසන් කරනු ලැබූ අවස්ථාවක දී, ස්ථාවර නියෝග 67 ප්‍රකාරව සභාපතිවරයා විසින් සංශෝධන සහිතව හෝ රහිතව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබයි.

දෙවැනි වර කියැවීමෙන් පසුව පනත් කෙටුම්පත විශේෂ කාරක සභාවක් වෙත හෝ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවක් වෙත හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවක් වෙත යොමු කරනු ලැබ ඇති විටක එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු 58 වැනි ස්ථාවර නියෝග ප්‍රකාර එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකළ යුතුය.

68, 69 සහ 70 වැනි ස්ථාවර නියෝග ප්‍රකාර කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කාර්ය පටිපාටිය ස්ථාවර නියෝග අංක 113 ප්‍රකාරව සිදු කරනු ලබයි.

විශේෂ කාරක සභාවේ කාර්ය පටිපාටීන් ස්ථාවර නියෝග අංක 100 සිට 110 ප්‍රකාරව සිදු කෙරේ.

ආංශික අධීක්ෂණ කාරක සභාවේ කාර්ය පටිපාටීන් සිදුකරනු ලබන්නේ ස්ථාවර නියෝග අංක 111 ප්‍රකාරවය.

ස්ථාවර නියෝග 71 සහ 72 ප්‍රකාරව තුන්වැනිවර කියැවීමේදී යෝජනාවක් මත පනත් කෙටුම්පත ඡන්දයෙන් සම්මත කරනු ලබයි. ස්ථාවර නියෝග 47 ප්‍රකාරව තුන්වැනි වර කියවීමේදී ද ඡන්දය විමසනු ලැබේ.

ඡන්දය විමසීම:

  • කටහඬවල් අනුව
  • පේළියෙන් පේළිය සංඛ්‍යා ලබාගැනීමෙන්
  • ස්ථාවර නියෝග වලට අනුකූලව මන්ත්‍රීන්ගේ නම් කියවීමෙන්
  • විද්‍යුත් ඡන්දය දීමේ යාන්ත්‍රණය අනුව ඡන්දය විමසීමෙන්

සිදුකරනු ලැබේ තුන්වැනි වර කියවීමේදී සංශෝධන සහිත සම්පූර්ණ පනත් කෙටුම්පතට සභාවේ අනුමැතිය ලබාගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වැනි ව්‍යවස්ථා යටතේ 74 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාර අනුඥ පිටපත මත කථානායකතුමාගේ සහතිකය සටහන් කිරීමෙන් පනත් කෙටුම්පත පනතක් බවට පත්විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වේ නම් එය එම පනත් කෙටුම්පතේ දීර්ඝ නාම‍යෙහි පැහැදිළිව නිශ්චිතව සදහන් කළ යුතුය. අනෙකුත් කාර්ය පටිපාටීන් සාමාන්‍ය පනත් කෙටුම්පතක කාර්ය පටිපාටීන්ට සමාන වේ. එසේ වුවද, එවැනි පනත් කෙටුම්පතක් 2/3 ක වැඩි ජන්දයකින් හෝ 2/3 ක වැඩි ජන්දයකින් හා ජනමත විචාරණයකදී යන දෙකින්ම සම්මත විය යුතුය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks