03

E   |     |  

කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා යාපනයේදී විශේෂ වැඩසටහනක්

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කරයි


ශ්‍රී ලංකාව පුරා කාන්තා නායිකාවන් සම්බන්ධ කරන සබඳතා ජාලයක් ගොඩනගමින් කාන්තා නායකත්වය ප්‍රාදේශීය මට්ටමෙන් ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා (18) යාපනයේදී පැවැත්විණි. කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමේ නව පියවරක් සනිටුහන් කළ මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒකාබද්ධව සංවිධානය කර තිබිණි.

මෙහිදී පාර්ලිමේන්තු, පළාත් පාලන, අධ්‍යාපන සහ ව්‍යාපාරික වැනි අංශ කිහිපයක් නියෝජනය කරන ජාතික සහ ප්‍රාදේශීය නායිකාවන් එක්ව සිය අත්දැකීම් බෙදා ගැනීම සිදුවිය. ඒ අනුව එහිදී ඔවුන්ට පවතින බාධක, අභියෝග සාකච්ඡා කිරීම සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීම සිදුවිය.

මෙම වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ලියනගේ, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්මීහු සහභාගී වූහ. එසේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාර්ලිමේන්තු සහ මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි මහතා, උතුරු පළාතේ ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් පිරිසක් මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස තිරසාර උපදේශක ජාලයක් නිර්මාණය කිරීම සහ උතුරේ කාන්තා නායිකාවන්ගේ අදහස් සහ නිර්දේශ අන්තර්ගත කරමින් වාර්තාවක් සකස් කිරීමට තීරණය විය. නායකත්වයේදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමටත් ශ්‍රී ලංකාව තුළ අන්තර්කරණය ශක්තිමත් කරමින් ප්‍රතිපත්තිමය තීරණ ඉදිරියට ගෙන යාම සඳහා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට මෙම වාර්තාව සහාය වනු ඇත.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks