පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-11-03
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ශ්‍රී ලංකාවේ ගරු කොන්සල්වරයා වන අයිඩින් ඔසු (Aydın Özü) මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (ඔක්. 29) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු විය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 30 ක කාලයක් පුරා ඔහු ඉටු කළ කැපවීමෙන් යුතු සේවය මෙන්ම ශ්‍රී ලංකාව හා තුර්කිය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලබා දුන් දායකත්වය ද කථානායකවරයාගේ ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වඩාත් සමීප සබඳතා ගොඩනැගීම සඳහා ගරු කොන්සල්වරයා අඛණ්ඩව දරන උත්සාහය ද කථානායකවරයා මෙහිදී අගය කළේය.
ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔසු මහතා කථානායකවරයා වෙත සිය ස්තූතිය පළ කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා තමන් අඛණ්ඩව කැපවී කටයුතු කරන බව සඳහන් කළ ඔහු, තුර්කිය තුළ ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරන බව ද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තම දෙවැනි නිවහන ලෙස සලකන බව පැවසූ ඒ මහතා, එමඟින් ශ්‍රී ලංකාව සමඟ පවතින දිගුකාලීන පෞද්ගලික හා වෘත්තීය සබඳතාව ද සිහිපත් කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය කරා ළඟා වීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ කථානායකවරයා, රටේ සංවර්ධනයට සහාය වන විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම සහ දෙරටටම පොදු උනන්දුවක් ඇති ක්ෂේත්රවල තුර්කිය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
වෙළෙඳාම, බලශක්තිය, සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන ක්ෂේත්රවල දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ ඔස්සේ ආයෝජන සඳහා නව අවස්ථා හඳුනා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
මෙම හමුවට ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-11-03
වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වීම නිසා 2020 වර්ෂයේ සිට 2026.10.23 දක්වා ධීවර යාත්‍රා 145 ක් සමඟ ධීවර කාර්මිකයින් 795 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉන් ධීවර යාත්‍රා 66 ක් සමඟ ධීවර කාර්මිකයින් 753 දෙනෙකු මේවන විට නිදහස් වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, සම්පූර්ණ යාත්‍රා 49,271 ක් සක්‍රීයව ධීවර කර්මාන්තයේ යෙදී සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා එයට ලියාපදිංචි බහුදින යාත්‍රා සංඛ්‍යාව 4,869 ක් ද, එක්දින යාත්‍රා (IDAY) 880 ක් ද, පිටත එන්ජින් සහිත යාත්‍රා (OFRP) 24,823 ක් ද, එන්ජින් සහිත සාම්ප්‍රදායික යාන්ත්‍රික යාත්‍රා (MTRB) 2,709 ක් ද, එන්ජින් රහිත සාම්ප්‍රදායික යාත්‍රා (NTRB) 15,037 ක් ද, යාන්ත්‍රික නොවන මාදැල් යාත්‍රා (NBSB) 953 ක් ද අයත්වන බව පැවසීය.මේ අතරින් බහුදින යාත්‍රා 4,869 ක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබා ඇති බව ද, සමහරවිට අහිතකර කාලගුණ තත්ත්වයන් සහ අධික සුළං තත්ත්වයන්හි දී හෝ කාර්මික දෝෂ හේතු නිසා හෝ ධීවර යාත්‍රා වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වන අවස්ථා ඇති බව ද ඇතැම් යාත්‍රා නියමුවන් විසින් හිතාමතාම වෙනත් රටවල මුහුදු සීමාවන්ට ඇතුළුව එම මුහුදු සීමාවන්හි මත්ස්‍ය සම්පත් නෙළා ගන්නා අවස්ථාවන් ද වාර්තා වෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.විදේශයන්හි අත්අඩංගුවට පත් වන ධීවරයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය වෙන බවත්, 2026 වර්ෂයේදී යාත්‍රා සංඛ්‍යාව 7 ක් සමග ධීවරයින් 40 දෙනෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට පත්වී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.විදේශ රටවල අත්අඩංගුවට පත් ධීවරයින් සහ ධීවරයාත්‍රා සම්බන්ධයෙන් එම රටවල පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සෘජුවම කටයුතු කරන බව ද ඒ අනුව, අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා සහ ධීවරයින් සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම එම තානාපති කාර්යාල මගින් සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.එමෙන්ම ආපදාවන්ට ලක්වන යාත්‍රා සම්බන්ධයෙන් සහ අනෙකුත් යාත්‍රා සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික වාර්තා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සපයන බවත්, ඇතැම් අවස්ථාවලදී මෙම ධීවරයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් පවා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන බවත් අමාත්‍යවරයා කියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2026-11-03
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළින් 2019 සිට 2025 දක්වා ක්ෂය රෝගීන් 6658 ක් වාර්තා වී ඇති බවත්, ක්ෂය රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක ලෙස අඩු ප්රතිශක්තීකරණය, ජනාකීර්ණ සහ අසතුටුදායක වාසස්ථාන, මන්ද පෝෂණය, ජීවන රටා සාධක සහ සමීප ආශ්‍රය යනාදිය හේතුවන බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. Mycobacterium tuberculosis නැමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් පසු, ශරීරයේ ප්රතිශක්තීකරණය හීන වන අවස්ථාවලදී එය පසු කාලීනව සක්‍රිය ක්ෂය රෝගය දක්වා වර්ධනය වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.ක්ෂය රෝගය ඇතිවීමට බලපාන සාධක ලෙස, පෙනහැලි ක්ෂය රෝගියෙකු කහින විට, කිවිසුම් යවන විට, කතා කරන විට හෝ සිනාසෙන විට හෝ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සහිත ක්ෂුද්‍ර බිඳිති (airborne droplets) වාතයට මුදා හැරෙන බවත්, එම බිඳිති ආශ්වාස කිරීම මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියට බැක්ටීරියාව ඇතුළු වන නිසා මෙලෙස රෝගය ව්‍යාප්ත වීම සිදු වන බවත් අමාත්‍යවරයා පැවසීය. කොළඹ මහ නගර සභා සීමාව තුළ ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලුම රෝගීන්ට නොමිලේ ඖෂධ ලබා දීම සහ සෘජු නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දීම සිදු කරන බවත්, අධි අවදානම් සහිත නාගරික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජංගම එක්ස්-රේ රථ යොදා ගෙන නොමිලේ පරීක්ෂණ සායන පැවැත්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම, හඳුනාගත් රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් පරීක්ෂාවට ලක් කර, අවශ්‍ය අවස්ථාවලදී පූර්ව ආරක්ෂණ ප්‍රතිකාර ලබාදීමට ද කටයුතු කරන බව සඳහන් කළේය.මීට අමතරව, නාගරික ප්‍රජාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය උපදේශකවරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තවද, අධි අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම මෙන්ම ආබාධ සහිත සහ වයස්ගත පුද්ගලයන්ගේ ක්ෂය රෝග අවදානම පරීක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
2026-11-03
රතු නිවේදන නිකුත් කර ඇති ශ්‍රී ලාංකීය අපරාධකරුවන් 236 ක් මේ වන විට විදේශීය රටවල සැඟවී සිටින බවත්, ඒ අතරින් 97 ක් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මඟින් ඉහත කරුණු අනාවරණය විය.රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී වත්කම් රැස් කිරීම, අපරාධවලට කුමන්ත්‍රණය කිරීම හා අපරාධ සඳහා ආධාර අනුබල දීම ඇතුළු විවිධ සංකීර්ණ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් බවත්, ඒ අතරින් අපරාධකරුවන් 32 ක් මනුෂ්‍ය ඝාතන සිදු කර ඇති බව ද, අනෙකුත් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ වෙනත් බරපතල සංකීර්ණ අපරාධවලට හෝ සම්බන්ධ සැකකරුවන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එක් අපරාධකරුවෙකු වෙනුවෙන් රතු වරෙන්තු එකකට වැඩි සංඛ්‍යාවක් නිකුත් නොකරන බවත්, ජාත්‍යන්තර පොලිස් නිවේදන මඟින් සැකකරුවන්ගේ ජීව දත්ත තොරතුරු ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධති තුළ සංසරණය කර ඇති නිසා සැකකරුවකු අත්අඩංගුවට පත්වන තෙක් එය රහස්‍ය ලේඛනයක් ලෙස තබා ගන්න බවත් අමාත්‍යවරයා කියා සිටියේය.විදේශීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට 1977 අංක 08 දරන උදර්පණ පනතේ ප්‍රතිපාදන හෝ එක් එක් රටවල් සමඟ අත්සන් කර ඇති ගිවිසුම්වල ප්‍රතිපාදන අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026-11-03
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ කසකස්ථාන තානාපති සර්ගෙයි වික්ටොරොව් (Sergey Viktorov) මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 29) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු විය.1992 වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට කසකස්ථානය සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන එන දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය. එමෙන්ම, 2025 වසරේදී කසකස්ථානය විසින් කොළඹ සිය පළමු තානාපති කාර්යාලය පිහිටුවීම දෙරට අතර සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය.ආයෝජන, වෙළෙඳාම, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ බලශක්තිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින සැලකිය යුතු අවස්ථා පිළිබඳව ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය. දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඔස්සේ ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සබඳතා සහ ආයෝජන පුළුල් කිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටින බව සඳහන් කළ ඔහු, එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස කසකස්ථානයට ආරාධනා කළේය.දෙරටටම ප්රතිලාභ සැලසෙන පරිදි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම තානාපති සර්ගෙයි වික්ටොරොව් මහතා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම, ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයක් යටතේ ක්‍රියාත්මක වන කසකස්ථානයේ නවතම පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව ද ඔහු කථානායකවරයා දැනුවත් කළේය.පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ආයතනික සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර සමීප සහයෝගීතාවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා - කසකස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීමේ වැදගත්කම ද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ඊට ප්‍රතිචාර දක්වමින් ගරු කථානායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා - කසකස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට අවශ්‍ය පියවර ගනු ලබන බවයි. එමඟින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට තම සහාය ලබා දෙන බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය.මෙම හමුව මඟින් දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම, ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සහ පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ කසකස්ථානය දක්වන පොදු කැපවීම යළි තහවුරු විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks