01

E   |   த   |  

2026-10-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2027 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 22) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී 2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රාජ්‍ය වියදම්, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, රාජ්‍ය ආදායම් ඉලක්ක සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් විය. එමෙන්ම අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී අදාළ කරගන්නා සාර්ව ආර්ථික පුරෝකථන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ නීතිමය රාමුව පිළිබඳව ද අවධානය යොමු විය.

2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත ප්‍රාග්ධන අතර, මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම, විදුලිබල පද්ධතියේ ව්‍යාප්තිය සහ නාගරික සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති ද පවතින අතර ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී කරුණු විමසනු  ලැබීය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැලසීම, ණය ඇපකර ක්‍රමවේදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වුණු අතර රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ රාජ්‍ය සේවා අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන වියදම් පිළිබඳව ද  කාරක සභාවේ අවධානය යොමු විය.

තවද, 2027 වසරේ විදේශීය ණය සේවාකරණ අවශ්‍යතා, අපේක්ෂිත විදේශීය මූල්‍ය පහසුකම් සහ රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ නිලධාරීන් කරුණු පැහැදිලි කළහ. රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ අයවැය ප්‍රතිපාදන නිසි පරිදි භාවිත කිරීම සම්බන්ධ කරුණු ද සාකච්ඡාවට ලක් විය.



සම්බන්ධිත පුවත්

2026-10-28

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  පසුගියදා (ඔක්. 23) රැස්විය.මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ප්‍රමාද වූ ශ්‍රමිකයන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා විශේෂ ගුවන්වාර යොදා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල තාවකාලික නවාතැන් සහ ආහාර පහසුකම් සැපයීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීහු කරුණු පැහැදිලි කළහ. එමෙන්ම, විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු වන පරිදි විදේශීය ප්‍රාන්ත සමඟ ගිවිසුම් ඇති කරගැනීමේ වැදගත්කම ද සාකච්ඡා විය.මීට අමතරව, රුසියාව සමඟ වෙළෙඳ ගනුදෙනු සඳහා රූබල් භාවිත කිරීමේදී පවතින බාධා සහ විකල්ප ගෙවීම් ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා විය. එමෙන්ම, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය, විදේශ රැකියා ගිවිසුම් සහ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා  කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2026-10-28

මධ්‍යම පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන ව්‍යාපෘතිවල අක්‍රමිකතා සහ ප්‍රගතිය කෝපා කමිටුවේ අවධානයට

මධ්‍යම පළාත් සභාවේ 2021 - 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 සහ 2025 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී 2026.05.21 දින පැවති කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා කළ කරුණු පිළිබඳ පසු විපරමක් ද සිදු කෙරිණි.මධ්‍යම පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන සහ මගී ප්‍රවාහන ව්‍යාපෘතිවල ප්‍රගතිය, මාර්ග ඇස්තමේන්තු සකස් කිරීමේදී සිදුවූ අඩුපාඩු, ප්‍රමිතියට අනුකූල නොවන ඉදිකිරීම් සඳහා ගෙවීම් සිදු කිරීම සහ අනුමැතියකින් තොරව අමතර වැඩ සඳහා මුදල් ගෙවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, මගී ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වා දුන් විද්‍යුත් ටිකට්පත් යන්ත්‍ර (ETM) සහ GPS/SIM තාක්ෂණික පද්ධති නිසි පරිදි භාවිතයට නොගැනීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. අදාළ තාක්ෂණික දෝෂ නිරාකරණය කරමින් එම පද්ධති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී.තවද, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නීත්‍යනුකූල අනුමැතියකින් තොරව උපබදු දීම, හිඟ බදු මුදල් අය කර නොගැනීම සහ රාජ්‍ය දේපළවල හිමිකම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, මලබාර් හවුස් ගොඩනැගිල්ල ග්‍රාම ශක්ති වැඩසටහනේ ව්‍යාපෘති කාර්යාලයකට ලබාදී එහි කුලී මුදල අයකර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අවධානය යොමු විය.මීට අමතරව, KMTT ව්‍යාපෘති අරමුණු ඉටු නොවූ අවස්ථාවලදී එයට සම්බන්ධ වූ නිලධාරීන් ලබාගෙන ඇති දිරි දීමනා නැවත අය කර ගැනීම, රාජ්‍ය දේපළ භාවිතයෙන් ලැබෙන ආදායම් බෙදාහැරීමේදී අදාළ රෙගුලාසි අනුගමනය කිරීම සහ ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ගොඩනැගිලි හා දේපළ ඵලදායී ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව කාර්යාලීය ලිපිගොනු විනාශ කිරීම සම්බන්ධ විනය පරීක්ෂණ සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාව කරුණු විමසන ලදී. මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න, මංජුල සුරවීර ආරච්චි, චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා සහ චානක මාදුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-10-27

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා ද, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව මහතා ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


2026-10-27

පාර්ලිමේන්තු කාරක සභා සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු මාලාවේදී ඉදිරිපත් වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ අනුව, අදාළ සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මේ පිළිබඳව අවධානය යොමු විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය ප්‍රවර්ධනය කිරීම සහ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු ගම්පහ, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාලයේදී පැවැත්විණි.එම වැඩමුළුවලදී තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලද පොදු ගැටලු, අදහස් හා ප්‍රතිපත්තිමය යෝජනා පිළිබඳව අදාළ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ තරුණ නියෝජිතයෝ කරුණු ඉදිරිපත් කළහ.එහිදී, තරුණ ප්‍රජාව විසින් හඳුනාගනු ලබන ගැටලු සහ ඒවාට අදාළ විසඳුම් යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, අදාළ විෂයයන් සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධ වී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීම තුළින් ජනතා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සහ “Voice to Policy” වැඩමුළු මාලාව සඳහා සහයෝගය ලබා දෙන CII (Coalition for Inclusive Impact) ආයතනයේ සහ NDI (National democratic Institute) ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks