පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා නිල වශයෙන් විවෘත කෙරිණි.
පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කළ මෙම ඒකකය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ සුරතින් විවෘත කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කාර්යාලයක දියුණුව උදෙසා නිවැරදි නායකත්වය මෙන්ම සාමූහික එකමුතුකම ද අත්‍යවශ්‍ය වන බවයි. පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සැමවිටම සියලු සේවකයන්ගේ ජීවන තත්ත්වය, වෘත්තීයමය ස්ථාවරභාවය සහ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ එතුමිය, පාර්ලිමේන්තුව සතු වටිනාම සම්පත එහි කාර්ය මණ්ඩලය බව ද වැඩිදුරටත් අවධාරණය කළාය. එමෙන්ම, මෙම නව අංශය භාෂා පරිවර්තකයන් වෙනුවෙන් විවෘත වුවද, ඒ උදෙසා සක්‍රීයව හා පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන්නේ කථා පරිවර්තකයන් බව දැකීමට ලැබීම මහත් සතුටට කරුණක් බව ද මහලේකම්වරිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී පිළිගැනීමේ කථාව පවත්වමින් ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කථා පරිවර්තන සේවාවට අමතරව කථා පරිවර්තක කාර්යාලය විසින් විශාල ලිඛිත පරිවර්තන කටයුතු රාශියක් සිදු කරනු ලබන බවයි. එසේවුවද , භාෂා පරිවර්තන ප්‍රමාද වන බවට පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයකින් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු භාෂා පරිවර්තක කටයුතු සඳහා වෙනම භාෂා පරිවර්තන ඒකකයක් ස්ථාපිත කිරීමේ සංකල්පය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක සී. ජේ. කරුණාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ඉදිරිපත් කර තිබූ අතර, මහ ලේකම්වරියගේ සහ සහකාර මහ ලේකම්වරයාගේ පූර්ණ සහයෝගය මත එය යථාර්ථයක් බවට පත් විය. මෙම උත්සවයේදී අදහස් දැක්වු ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක කරුණාරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු කථා පරිවර්තක කාර්යලයේ භෞතික පහසුකම් දියුණු කිරීමටත්, කථා පරිවර්තනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා වන පුහුණු අවස්ථා ලබාදීමටත් මහලේකම් තුමිය සහ සහකාර මහලේකම් තුමා ලබාදෙන සහයෝගය ඉතා ප්‍රසංශනීය බවයි.
මෙම ඒකකය ස්ථාපිත කිරීම මගින් පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයින් සඳහා වඩාත් යහපත් වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කෙරෙයි.
මෙහිදී භාෂා පරිවර්තකයින්ගේ තේමා ගීතය (Translators’ Anthem) සහ කථා පරිවර්තකවරුන් සඳහා වූ වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය ද පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා වෙත පිළිගැන්වීම ද සිදුවිණි. එමෙන්ම, පාර්ලිමේන්තු සේවයට එක්වූ නව කථා පරිවර්තකයින් සහ භාෂා පරිවර්තකයින් වෙනුවෙන් කථා පරිවර්තන කාර්යාලය විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
භාෂා පරිවර්තන ඒකකය ස්ථාපිත කිරීම වෙනුවෙන් මහ ලේකම්වරියට සහ සහකාර මහ ලේකම්වරයාට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
මේ අතර, සැප්තැම්බර් 30 වැනිදාට යෙදුණු 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැමරීම ද මෙම අවස්ථාවට සමගාමීව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙවර ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය “භාෂාමය විවිධත්වය සහ භාෂා අයිතිවාසිකම් (Linguistic Diversity and Language Rights) යන තේමාව යටතේ “අවබෝධ කර ගැනීමට හැකිවීමේ බලය” (The Power of Being Understood) යන උප තේමාව සමඟ සැමරිණි.
විවිධ භාෂා සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය හා අවබෝධය වර්ධනය කිරීමේදී කථා පරිවර්තනය සහ භාෂා පරිවර්තනය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙහිදී අවධාරණය කෙරිණි.
හිටපු නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් වන කේ. එම්. ක්‍රිස්ටෝපර් සහ එන්. සීර්පාදම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, පාර්ලිමේන්තු කථා පරිවර්තන සේවාව වෙනුවෙන් ඔවුන් විසින් ඉටු කළ වටිනා මෙහෙවර ද මෙහිදී අගය කෙරිණි.
පාර්ලිමේන්තුවේ ප්‍රථම භාෂා පරිවර්තන ඒකකය ස්ථාපිත කිරීම සහ 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැමරීම යන අවස්ථා දෙකම සනිටුහන් කරමින් පැවති මෙම උත්සවය, පාර්ලිමේන්තුවේ කථා පරිවර්තන හා භාෂා පරිවර්තන සේවාවන් තවදුරටත් වෘත්තීයමය හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ ගමනේ වැදගත් පියවරක් විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් වන ඒ. සරවනබවානන්දන්, චමිලා නිස්සංග සහ ජී.එෆ්.බී. සුරේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු කථා පරිවර්තක හා භාෂා පරිවර්තක නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
2026-10-12
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් යන මහත්වරු ඔක්තෝබර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ටැන්සානියාවේ අරුෂා නුවර පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 153 වන සමුළුවට සහභාගී වූහ. ඔවුහු සමුළුවේ ප්‍රධාන සැසිවාර, ස්ථාවර කාරක සභා කටයුතු සහ අනෙකුත් සාකච්ඡා සඳහා සක්‍රීයව දායක වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ අභියෝග හමුවේ කටයුතු කිරීමේ හැකියාව සහිත මහජන සෞඛ්‍ය පද්ධති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිශීලී ඉදිරි ගමන එහිදී අවධාරණය කෙරිණි.“යහපාලනය ශක්තිමත් කිරීම සහ සියලු දෙනා සඳහා සහභාගිත්වය, විශ්වාසය හා අවස්ථා ලබා දීම තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති ප්‍රධාන සැසිය අමතමින් ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, මහජන විශ්වාසය සහ සියලු පාර්ශ්වයන් සඳහා අවස්ථා ලබා දීම තිරසාර ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනම වන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව තුළ අත්කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ගරු කථානායකවරයා, වත්මන් දසවන පාර්ලිමේන්තුව ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, මලයගම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද ඇතුළුව සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් 9.8%ක් නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් විසි දෙදෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් සඳහන් කළේය. තවද, ප්‍රථම වරට ආබාධ සහිත මන්ත්‍රීවරයෙකු දස වන පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් පිරිනමනු ලබන ‘2026 ගෞරවනීය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී’ සම්මානයෙන් ද ඔහු පසුගියදා පිදුම් ලැබූ බවත් ගරු කථානායකවරයා සිහිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වැනි විශේෂිත අධීක්ෂණ කාරක සභා ද ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, විනිවිදභාවය සහ මහජන වගවීම තහවුරු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන ආකාරය පිළිබඳව ද කථානායකවරයා පැහැදිලි කළේය.එමෙන්ම, පාර්ලිමේන්තු විවාද, සංඥා භාෂා පරිවර්තනය සහිතව විකාශය කිරීම සහ කාරක සභා කටයුතු මාධ්‍යයට හා සිවිල් සමාජයට විවෘත කිරීම ඇතුළු මෑතකදී ක්‍රියාත්මක කළ විවෘත පාර්ලිමේන්තු වැඩසටහන් පිළිබඳව ද ඔහු අවධාරණය කළේය. මෙම පියවර මඟින් පුරවැසියන් සහ මහජන නියෝජිතයන් අතර පවතින පරතරය සාර්ථකව අවම කිරීමට හැකි වී තිබේ.තවද, “කැපවීමෙන් ප්‍රතිඵල කරා: 2030 වන විට ප්‍රජනක, මාතෘ, අලුත උපන් බිළිඳුන්, ළමා හා නව යොවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (RMNCAH) ප්‍රගමනයට අදාළව අප්‍රිකානු පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග” යන මැයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අප්‍රිකානු භූදේශපාලනික කණ්ඩායම විසින් සංවිධානය කරන ලද අතුරු සැසියකදී මෙරට දූත පිරිසට විශේෂ ඇගයීමක් හිමි විය. ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සතු වෘත්තීය වෛද්‍ය පසුබිම ඇගයීමට ලක් කරමින් මෙම පිළිගැනීම සිදු කෙරිණි. මාතෘ හා අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යය නඟාසිටුවීම, සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීම සහ අවදානමට ලක් විය හැකි ජන කණ්ඩායම්වල යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ වෛද්‍ය විශේෂඥ දැනුම සහ පාර්ලිමේන්තු නායකත්වය සතු වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණි.සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වූහ. එහිදී සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන බහුආංශික සහභාගිත්වය පිළිබඳ ප්‍රධානී ලූඩි සූර්යන්ටොරෝ මහතා (Ludy Suryantoro) සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ජාතික සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සූදානම පිළිබඳ සමාලෝචනය (Universal Health Preparedness Review) ඉදිරියට ගෙන යාම එම සාකච්ඡාවල ප්‍රධාන අවධානයට ලක් විය.සූදානම් වීමේ ක්‍රියාවලියට අදාළ ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය බලය සැපයීම, අයවැය ක්‍රියාවලිය හරහා අරමුදල් අනුමත කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම, දැඩි අධීක්ෂණය හා වගවීම සහතික කිරීම, බහුආංශික පාලනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම අවදානමට ලක් විය හැකි ජන කණ්ඩායම් සඳහා සමානාත්මතාව සහ මානව හිමිකම් තහවුරු කිරීම යන ක්ෂේත්‍රවලදී පාර්ලිමේන්තුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා දූත පිරිස එහිදී අවධාරණය කළහ.පැවති සැසිවාරවලදී, සියලු පාර්ශ්වවලට අවස්ථාව හිමි වන සමාජ සංවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු උපායමාර්ග, හමුදාමය කෘත්‍රිම බුද්ධිය භාවිත වන යුගයක සාමය සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුවල කාර්යභාරය, පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ මැදිහත්වීම තුළින් සාමකාමී අනාගතයක් ගොඩනැඟීම, ගැටුම්කාරී තත්ත්වයන්හිදී සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ගැටුම් වැළැක්වීමේ යාන්ත්‍රණයන් සමාලෝචනය කිරීම සඳහා වන යෝජනා සලකා බැලීම ඇතුළු තීරණාත්මක ගෝලීය අභියෝග රැසක් සාකච්ඡාවට බඳුන් විය.මීට අමතරව, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වැඩ කටයුතු රාමුව භාවිත කරමින් ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිචාර ශක්තිමත් කිරීම, ස්වභාවික සම්පත් නිස්සාරණ කර්මාන්ත අධීක්ෂණය, පරම්පරා අතර ඩිජිටල් තොරතුරු අධිභාරය සහ මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම, ළමා අයිතිවාසිකම් සුරකින සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කිරීම, වෙනස් වන දේශගුණික තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බලාත්මක කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳව ද වැඩමුළු පැවැත්විණි.153 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිස සහභාගී වීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සියලු පාර්ශ්වයන් සඳහා අවස්ථා තහවුරු කිරීම, මහජන වගවීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවාදය හා සහයෝගීතාව සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සක්‍රීයව එක්ව සිටින බව යළිත් තහවුරු විය.
2026-10-09
ආසියා පදනමේ නියෝජිත පිරිසක් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී හමු වූහ.ආසියා පදනමේ නියෝජිත පිරිස පිළිගනිමින් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සමඟ එම පදනම දිගු කලක් පවත්වාගෙන එන සහයෝගීතාව සහ මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව ලබා දෙන සහාය අගය කළාය.ශ්‍රී ලංකා රජය මෑතකදී ගත් පියවර පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නියෝජිත පිරිස, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ද ඇගයීමට ලක් කළහ.මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආසියා පදනම ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කළ අතර, ඩිජිටල්කරණය සහ ඩිජිටල් පරිවර්තනය, කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම, රැකවරණ ආර්ථිකය, දරිද්‍රතාව අවම කිරීම, සමාජ ආරක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව, සමාජ සවිබල ගැන්වීම සහ සියලු දෙනාටම සමාන සංවර්ධනයක් අත්කර දීම යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් විය.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සියලු දෙනාට සාධාරණ හා සමාන අවස්ථා සලසන ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළාය. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව මඟින් සහය දක්වන වැඩසටහන් හා රජයේ කැපවීම් සමඟ මෙම කටයුතු අනුකූලව සිදු කරන බවද සඳහන් කළාය.එමෙන්ම යහපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම, ඒවායේ වගවීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම, දූෂණය මැඩලීම සහ රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.රටේ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන ශ්‍රම බලකායක් බිහිකිරීම සහ ආර්ථික පරිවර්තනයට සහාය වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය හා කුසලතා පදනම් කරගත් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතා අතර වන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම රාජ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු විය.මෙම අවස්ථාවට ආසියා පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනි සහ තානාපති කැත්ලීන් ස්ටීවන්ස් මහත්මිය, තානාපති රොබට් ඕ. බ්ලේක් (කනිෂ්ඨ) මහතා ඇතුළු ආසියා පදනමේ නියෝජිතයෝ සහභාගී වූහ.අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
2026-10-09
රුපියල් මිලියන 569,193ක අදායමක්, උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) මගින් 2022 වසරේ සිට 2025 වසර දක්වා රජය උපයා ඇතැයි ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය. රුපියල් මිලියන 25,546 ක් 2022 වසරේදී ද, රුපියල් මිලියන 144,955ක් 2023 වසරේදී ද, රුපියල් මිලියන 197,572ක් 2024 වසරේදී ද සහ රුපියල් මිලියන 201,120ක් 2025 වසරේදී ද මෙලෙස උපාය ඇතැයි ඒ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දේශීය ආදායම් පනත යටතේ, මාසිකව රු. 150,000 ඉක්මවන ආදායමක් උපයන සියලුම සේවකයින් මූලාශ්‍රයේදී අත්තිකාරම්, පුද්ගලික ආදායම් බද්දට (APIT – Advance Personal Income Tax) යටත් වෙන බවත්, වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් ආදායම් ලබන පුද්ගලයින්ගේ බදු අය කළ හැකි ආදායම, නීතියෙන් නියම කර ඇති සීමාව ඉක්මවන්නේ නම්, එම පුද්ගලයින් ද පුද්ගලික ආදායම් බද්දට යටත් වෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.රජයේ මූල්‍ය අවශ්‍යතා සහ ආර්ථික තත්ත්වයන් මත PAYE වාර්ෂික බදු නිදහස් සීමාව විවිධ අවස්ථාවලදී සංශෝධනය කළ බවත්, 2019 දක්වා රු. 1,200,000 ක් වූ බදු නිදහස් සීමාව, 2020 දී රු. 3,000,000 දක්වා වැඩි කළ බවත්, නැවතත් 2022/2023 දී රු. 1,200,000 දක්වා බදු නිදහස් සීමාව අඩු කළ බවත් ඔහු කිවේය. ඒවගේම, බදු නිදහස් සීමාව 2025 දී රු. 1,800,000 දක්වා වැඩි කළ බවත්, අනාගතයේ දී PAYE බදු නිදහස් සීමාව සහ බදු අනුපාතවල වෙනස්කම් සිදු කරන්නේනම් එය රජයේ ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතා (Fiscal Consolidation) ක්‍රියාවලියේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් තීරණය කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
2026-10-09
වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක් නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව මාසික දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks