පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-10-09
රුපියල් මිලියන 569,193ක අදායමක්, උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) මගින් 2022 වසරේ සිට 2025 වසර දක්වා රජය උපයා ඇතැයි ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය. රුපියල් මිලියන 25,546 ක් 2022 වසරේදී ද, රුපියල් මිලියන 144,955ක් 2023 වසරේදී ද, රුපියල් මිලියන 197,572ක් 2024 වසරේදී ද සහ රුපියල් මිලියන 201,120ක් 2025 වසරේදී ද මෙලෙස උපාය ඇතැයි ඒ මහතා අනාවරණය කළේය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දේශීය ආදායම් පනත යටතේ, මාසිකව රු. 150,000 ඉක්මවන ආදායමක් උපයන සියලුම සේවකයින් මූලාශ්‍රයේදී අත්තිකාරම්, පුද්ගලික ආදායම් බද්දට (APIT – Advance Personal Income Tax) යටත් වෙන බවත්, වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් ආදායම් ලබන පුද්ගලයින්ගේ බදු අය කළ හැකි ආදායම, නීතියෙන් නියම කර ඇති සීමාව ඉක්මවන්නේ නම්, එම පුද්ගලයින් ද පුද්ගලික ආදායම් බද්දට යටත් වෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
රජයේ මූල්‍ය අවශ්‍යතා සහ ආර්ථික තත්ත්වයන් මත PAYE වාර්ෂික බදු නිදහස් සීමාව විවිධ අවස්ථාවලදී සංශෝධනය කළ බවත්, 2019 දක්වා රු. 1,200,000 ක් වූ බදු නිදහස් සීමාව, 2020 දී රු. 3,000,000 දක්වා වැඩි කළ බවත්, නැවතත් 2022/2023 දී රු. 1,200,000 දක්වා බදු නිදහස් සීමාව අඩු කළ බවත් ඔහු කිවේය. ඒවගේම, බදු නිදහස් සීමාව 2025 දී රු. 1,800,000 දක්වා වැඩි කළ බවත්, අනාගතයේ දී PAYE බදු නිදහස් සීමාව සහ බදු අනුපාතවල වෙනස්කම් සිදු කරන්නේනම් එය රජයේ ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතා (Fiscal Consolidation) ක්‍රියාවලියේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් තීරණය කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
2026-10-09
ආසියා පදනමේ නියෝජිත පිරිසක් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී හමු වූහ.ආසියා පදනමේ නියෝජිත පිරිස පිළිගනිමින් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සමඟ එම පදනම දිගු කලක් පවත්වාගෙන එන සහයෝගීතාව සහ මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව ලබා දෙන සහාය අගය කළාය.ශ්‍රී ලංකා රජය මෑතකදී ගත් පියවර පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නියෝජිත පිරිස, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ද ඇගයීමට ලක් කළහ.මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආසියා පදනම ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කළ අතර, ඩිජිටල්කරණය සහ ඩිජිටල් පරිවර්තනය, කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම, රැකවරණ ආර්ථිකය, දරිද්‍රතාව අවම කිරීම, සමාජ ආරක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව, සමාජ සවිබල ගැන්වීම සහ සියලු දෙනාටම සමාන සංවර්ධනයක් අත්කර දීම යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් විය.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සියලු දෙනාට සාධාරණ හා සමාන අවස්ථා සලසන ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළාය. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව මඟින් සහය දක්වන වැඩසටහන් හා රජයේ කැපවීම් සමඟ මෙම කටයුතු අනුකූලව සිදු කරන බවද සඳහන් කළාය.එමෙන්ම යහපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම, ඒවායේ වගවීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම, දූෂණය මැඩලීම සහ රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.රටේ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන ශ්‍රම බලකායක් බිහිකිරීම සහ ආර්ථික පරිවර්තනයට සහාය වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය හා කුසලතා පදනම් කරගත් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතා අතර වන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම රාජ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු විය.මෙම අවස්ථාවට ආසියා පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනි සහ තානාපති කැත්ලීන් ස්ටීවන්ස් මහත්මිය, තානාපති රොබට් ඕ. බ්ලේක් (කනිෂ්ඨ) මහතා ඇතුළු ආසියා පදනමේ නියෝජිතයෝ සහභාගී වූහ.අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
2026-10-09
වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක් නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව මාසික දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.
2026-10-09
සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රම යෝජනා ක්‍රම ද්විත්වය සඳහා 658,081ක් දායක වී ඇති බවත්, මේ වන විට විශ්‍රාම වැටුප් ලබන 37,474 දෙනෙකුට රු. 39,000,500ක් විශ්‍රාම වැටුප් ලෙස 2026 ජුලි මාසය වන විට ගෙවා ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පෙන්වා දුන්නේය. “ආරක්ෂාව” පූර්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 551,549 දෙනෙකු ද, “සුරුකුම්” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 106,532 දෙනෙකු ද මෙලෙස දායක වී ඇති බව හෙතෙම කිවේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.“ආරක්ෂාව” පූර්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, වයස අවුරුදු 17 දක්වා වන දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් බවත්, මේ යටතේ දෙමව්පිය/භාරකරවකුගේ භාරකාරත්වය යටතේ දරුවන් සාමාජික කළ හැකි නිසා , වයස අවුරුදු 18 වන විට ගිණුම කල්පිරෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. “සුරුකුම්” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, වයස අවුරුදු 18 – 59 අතර තැනැත්තන් සඳහා ක්‍රියාත්මක වන බව ද , අවිධිමත් අංශයේ සේවයේ නියුතු රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන සියලු ප්‍රජාව වෙත ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියේය. විශේෂ ඉලක්කගත කණ්ඩායම් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව කලාකරු විශ්‍රාම වැටුප, නාවිකයා විශ්‍රාම වැටුප සහ විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප ලෙස විශ්‍රාම වැටුප් ක්‍රම හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-10-08
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2026 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 02 දක්වා බ්‍රැටිස්ලාවා නුවර පිහිටි ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාවේ පැවති ‘Evidence, Innovation, and Foresight in Parliamentary Research’ යන තේමාව යටතේ වූ විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ ක්‍රියාත්මක වන Inter Pares හවුල්කාරිත්වය යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.පාර්ලිමේන්තු පර්යේෂණ අංශයේ අඛණ්ඩ සංවර්ධනය සඳහා සහාය වීම අරමුණු කරගනිමින් පැවති මෙම වැඩසටහනේදී, ප්‍රමුඛ පෙළේ යුරෝපීය පාර්ලිමේන්තුවල පර්යේෂණ සේවා සමඟ සංසන්දනාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය. පර්යේෂණ ක්‍රියාවලීන්, තත්ත්ව සහතික කිරීම, පහසුවෙන් ප්‍රවේශ විය හැකි පර්යේෂණ නිෂ්පාදන සංවර්ධනය, ඩිජිටල් දැනුම් කළමනාකරණය, කෘත්‍රිම බුද්ධිය (AI) වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහ අනාගතය අරමුණු කරගත් පර්යේෂණ ක්‍රමවේද ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරන ලදී.ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමන්විත වූ අතර, එම නියෝජිත පිරිසට පුස්තකාලයාධිපති සියාත් අහමඩ් , ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී මොහොමඩ් අජිවාදීන්, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී තෙක්ෂිලා එරන්දි ලොකුගේ, පද්ධති විශ්ලේෂක නිෂාන් වික්‍රමසිංහ මොහොට්ටීගේ සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරිනී සචිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි මෙවලම් ආරක්ෂිතව සහ වගකීම් සහගතව භාවිත කිරීම පිළිබඳව මෙම පුහුණු වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු විය. කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, නිරවද්‍යතාව, දේශපාලන මධ්‍යස්ථභාවය සහ මානව අධීක්ෂණය වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, සාක්ෂි සහ තොරතුරු එක්රැස් කිරීම, ලේඛන සංසන්දනය කිරීම, සාරාංශගත කිරීම සහ දැනුම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි ආකාරය ප්‍රායෝගික සැසි මගින් පෙන්වා දෙන ලදී.තවද, ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතුවලදී අනාගත දැක්මට ඇති වැදගත්කම පිළිබඳවද මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි. ඉදිරියේදී ඇතිවිය හැකි වෙනස්කම් සහ අභියෝග කල්තියා හඳුනාගැනීම, පවතින ප්‍රවණතා හඳුනාගැනීම සහ විවිධ අනාගත තත්ත්වයන් පිළිබඳ සැලසුම් සකස් කිරීම වැනි ක්‍රමවේද භාවිත කිරීම තුළින්, වර්තමාන දේශපාලන තත්ත්වයන්ගෙන් ඔබ්බට ගොස් අනාගතයේදී මතුවිය හැකි අභියෝග හඳුනාගැනීමටත්, රාජ්‍ය ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම් විශ්ලේෂණය කිරීමටත් පාර්ලිමේන්තු පර්යේෂකයන්ට හැකියාව ලැබෙන බව මෙහිදී පෙන්වා දෙන ලදී.මෙම සංචාරය අතරතුරදී නියෝජිත පිරිස ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාවේ මහලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා කළ අතර, කථානායක ගැලරිය සහ ජාතික කෞතුකාගාරය නැරඹීම ඇතුළු සංස්කෘතික වැඩසටහන් සඳහා ද සහභාගී වූහ.මෙම වටිනා ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාව, International IDEA සහ Inter Pares හවුල්කාරිත්වය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. එමෙන්ම, මෙම ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා දායක වූ විශේෂඥයින්ට මෙන්ම චෙක් ජනරජය, හංගේරියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය, ලිතුවේනියාව සහ එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවය නියෝජනය කළ හවුල්කාර පාර්ලිමේන්තු වෙතද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය කෘතඥතාව පළ කරන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks