E   |   த   |  

2026-10-08

පුවත් කාණ්ඩ : පුවත් 

AI තාක්ෂණය, නවෝත්පාදන සහ අනාගත දැක්ම පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතු ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2026 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 02 දක්වා බ්‍රැටිස්ලාවා නුවර පිහිටි ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාවේ පැවති ‘Evidence, Innovation, and Foresight in Parliamentary Research’ යන තේමාව යටතේ වූ විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ ක්‍රියාත්මක වන Inter Pares හවුල්කාරිත්වය යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

පාර්ලිමේන්තු පර්යේෂණ අංශයේ අඛණ්ඩ සංවර්ධනය සඳහා සහාය වීම අරමුණු කරගනිමින් පැවති මෙම වැඩසටහනේදී, ප්‍රමුඛ පෙළේ යුරෝපීය පාර්ලිමේන්තුවල පර්යේෂණ සේවා සමඟ සංසන්දනාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය. පර්යේෂණ ක්‍රියාවලීන්, තත්ත්ව සහතික කිරීම, පහසුවෙන් ප්‍රවේශ විය හැකි පර්යේෂණ නිෂ්පාදන සංවර්ධනය, ඩිජිටල් දැනුම් කළමනාකරණය, කෘත්‍රිම බුද්ධිය (AI) වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහ අනාගතය අරමුණු කරගත් පර්යේෂණ ක්‍රමවේද ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරන ලදී.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමන්විත වූ අතර, එම නියෝජිත පිරිසට පුස්තකාලයාධිපති සියාත් අහමඩ් , ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී මොහොමඩ් අජිවාදීන්, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී තෙක්ෂිලා එරන්දි ලොකුගේ, පද්ධති විශ්ලේෂක නිෂාන් වික්‍රමසිංහ මොහොට්ටීගේ  සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරිනී සචිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි මෙවලම් ආරක්ෂිතව සහ වගකීම් සහගතව භාවිත කිරීම පිළිබඳව මෙම පුහුණු වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු විය. කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, නිරවද්‍යතාව, දේශපාලන මධ්‍යස්ථභාවය සහ මානව අධීක්ෂණය වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, සාක්ෂි සහ තොරතුරු එක්රැස් කිරීම, ලේඛන සංසන්දනය කිරීම, සාරාංශගත කිරීම සහ දැනුම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි ආකාරය ප්‍රායෝගික සැසි මගින් පෙන්වා දෙන ලදී.

තවද, ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතුවලදී අනාගත දැක්මට ඇති වැදගත්කම පිළිබඳවද මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි. ඉදිරියේදී ඇතිවිය හැකි වෙනස්කම් සහ අභියෝග කල්තියා හඳුනාගැනීම, පවතින ප්‍රවණතා හඳුනාගැනීම සහ විවිධ අනාගත තත්ත්වයන් පිළිබඳ සැලසුම් සකස් කිරීම වැනි ක්‍රමවේද භාවිත කිරීම තුළින්, වර්තමාන දේශපාලන තත්ත්වයන්ගෙන් ඔබ්බට ගොස් අනාගතයේදී මතුවිය හැකි අභියෝග හඳුනාගැනීමටත්, රාජ්‍ය ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම් විශ්ලේෂණය කිරීමටත් පාර්ලිමේන්තු පර්යේෂකයන්ට හැකියාව ලැබෙන බව මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සංචාරය අතරතුරදී නියෝජිත පිරිස ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාවේ මහලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා කළ අතර, කථානායක ගැලරිය සහ ජාතික කෞතුකාගාරය නැරඹීම ඇතුළු සංස්කෘතික වැඩසටහන් සඳහා ද සහභාගී වූහ.

මෙම වටිනා ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාව, International IDEA සහ Inter Pares හවුල්කාරිත්වය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. එමෙන්ම, මෙම ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා දායක වූ විශේෂඥයින්ට මෙන්ම චෙක් ජනරජය, හංගේරියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය, ලිතුවේනියාව සහ එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවය නියෝජනය කළ හවුල්කාර පාර්ලිමේන්තු වෙතද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය කෘතඥතාව පළ කරන ලදී.




සම්බන්ධිත පුවත්

2026-11-23

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී සම්මතයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 02 වැනි දිනය වන අද (නොවැ. 23) දින විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.එයට අමතරව, විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පස්වරු 6.00 සිට 6.30 දක්වා පැවත්වූ අතර, එම පනත් කෙටුම්පතද ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.  


2026-11-23

දරුවන්ගේ අදහස් යථාර්ථයක් බවට පත් කිරීම සමස්ත සමාජයේම සාමූහික වගකීමක් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ළමුන් සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට විශේෂ අවධානය – ගරු කථානායකදරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ මනාව ගැළපෙන බවත්, ඒවා යථාර්ථයක් බවට පත් කිරීම සමස්ත සමාජයේම සාමූහික වගකීමක් බවත් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය. එමෙන්ම දරුවන්ගේ අදහස්වලට සවන්දීම එක් අවස්ථාවකට සීමා නොවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය අවකාශය ලබා දීම වැඩිහිටියන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනයට සමගාමීව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) 80 වැනි සංවත්සරය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිදා (නොවැ. 20) පැවැති “Little Amaya & Friends; A Wish for Sri Lanka” වැඩසටහනට සහභාගී වෙමිනි. දරුවන්ගේ අදහස් හා අභිලාෂයන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් ඔස්සේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ දරුවන්ගේ හඬට පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ළමුන් සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට යෝජනා වී ඇති බවත්, දසවැනි පාර්ලිමේන්තුව තුළ පක්ෂ භේදයකින් තොරව එය කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. එමෙන්ම, දශක අටක් පුරා මෙරට දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් UNICEF සංවිධානය ඉටු කළ මෙහෙවර ද කථානායකවරයා අගය කළේය.දරුවන්ගේ අදහස් හා අවශ්‍යතා ජාතික ප්‍රතිපත්ති, නීති සම්පාදනය සහ අයවැය තීරණ ගැනීමේදී ද සැලකිල්ලට ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.ළමා, කාන්තා හා තරුණ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවකට පැමිණීමේ වැදගත්කම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ ගැටලු විසඳීම සඳහා විධිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ ළමා නියෝජිතයන් 55 දෙනෙකුගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් දරුවන්ගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට එක්කර ගැනීමේ වැදගත්කම තහවුරු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ළමයින් වෙනුවෙන් පාර්ලිමේන්තු ළමා සංසන්දය   සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.දරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොතිබුණ ද පාර්ලිමේන්තුවේ නීති සහ අයවැය තීරණ ඔවුන්ගේ ජීවිතවලට සෘජුව බලපාන බැවින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම තම ප්‍රදේශයේ සියලුම දරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බව UNICEF ශ්‍රී ලංකා ආයතනයේ වැඩබලන නියෝජිත බෙගෝනා අරෙලානෝ (Begona Arellano) මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාව සමඟ වසර 80 ක් පුරා පැවති සහයෝගීතාව ඉදිරියටත් පාර්ලිමේන්තුව සමඟ ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.මෙහිදී, 2036 වසර වන විට ශ්‍රී ලංකාව කෙබඳු රටක් විය යුතුද සහ දරුවන්ට වඩාත් වැදගත් වන්නේ මොනවාද යන ප්‍රශ්න දෙක පදනම් කරගනිමින් දරුවන්ගේ අදහස් හා අභිලාෂයන් ඇතුළත් “A Wish for Sri Lanka” ප්‍රකාශ දරුවන් හත්දෙනකු විසින් ඉදිරිපත් කරන ලදී.තවද, “නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් තුළින් ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය” යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වෙනුවෙන් UNICEF නිලධාරීන් විසින් විශේෂ සැසියක් ද මෙහෙයවන ලදී.මෙම අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපතිනි ගරු හේමාලි වීරසේකර මහත්මිය, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, UNICEF සංවිධානයේ නිලධාරීන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-23

රුපියල් මිලියන 600 ක ඉන්දීය ආධාර යටතේ වතු පාසල් 09 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි

රුපියල් මිලියන 600 ක ඉන්දීයානු ආධාර යටතේ වතු පාසල් 09 ක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර 2026.06.23 දින තෝරාගත් කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇති බව සභාගත කරන ලද වාර්තාවෙන් අනාවරණය වෙයි. ඉංජිනේරු අංශය දැනට කොන්ත්‍රාත් වටිනාකමෙන් 10% ක් ගෙවීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කර අනුමැතිය සඳහා එම ලේඛන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති බව ද එහි සඳහන් වෙයි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ චමින්දාණි කිරිඇල්ල මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. ආර්ථික අර්බුදය සහ ඉන් ඇති වූ ඉදිකිරීම් වියදම් ඉහළ යාම හේතුවෙන්, මුලින් වෙන් කරන ලද රුපියල් මිලියන 300 ක ආධාර මුදලෙන් ව්‍යාපෘතියේ හඳුනාගත් කාර්යයන් සිදු කළ නොහැකි බව ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව, ඉංජිනේරු අංශය විසින් සකස් කරන ලද රුපියල් මිලියන 600 ක සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවට ඉන්දීය රජය විසින් 2024 වසරේදී අදාළ ආධාර මුදල රුපියල් මිලියන 300 සිට රුපියල් මිලියන 600 දක්වා වැඩි කර ඇති බව සභාගත කළ පිළිතුරෙහි කියවෙයි.2020-2021 කාලසීමාවේ පැවති කොවිඩ්-19 වසංගතය සහ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දැඩි ලෙස බලපා ඇති බවත්, පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තු මඟින් සකස් කරන ලද ඇස්තමේන්තු සහ අනෙකුත් අදාළ තාක්ෂණික ලේඛන ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය කිරීමට සැලකිය යුතු කාලයක් ගතවීමත්, එක් එක් ටෙන්ඩර් ලේඛනය සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලබා ගැනීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට පෙර ඔවුන් විසින් ලබා දුන් සංශෝධන සහ නිරීක්ෂණ ඊට ඇතුළත් කිරීමටත් අතිරේක කාලයක් ගතවීමත් මෙම ව්‍යාපෘතියේ  කටයුතු ප්‍රමාදවීමට හේතු වූ කරුණු බව සභාගත කළ පිළිතුරෙහි වැඩිදුරටත් ප්‍රකාශ වෙයි.


2026-11-23

2020 සිට 2026 දක්වා විදේශ රටවල් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා සංඛ්‍යාවේ අඩුවීමක්

විදේශ රටවල් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා සංඛ්‍යාවේ අඩුවීමක්,  2020 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ සිදු වී ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද වාර්තාවකින් අනාවරණය වෙයි.ඒ අනුව, 2020 වර්ෂයේදී ධීවර යාත්‍රා 22 ක් සහ ධීවර කාර්මිකයින් 126 දෙනෙකු විදේශ රටවල් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2021 වර්ෂයේදී එම සංඛ්‍යාව යාත්‍රා 24 ක් සහ ධීවර කාර්මිකයින් 134ක් ලෙස වාර්තා වී ඇත. 2022 වර්ෂයේදී යාත්‍රා 20 ක් සහ ධීවර කාර්මිකයින් 103 ක් ද, 2023 වර්ෂයේදී යාත්‍රා 23 ක් සහ ධීවර කාර්මිකයින් 116 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. 2024 වර්ෂයේදී එම සංඛ්‍යාව ඉහළ ගොස් ධීවර යාත්‍රා 30 ක් සහ ධීවර කාර්මිකයින් 165 ක් දක්වා වාර්තා වී ඇත. කෙසේ වෙතත්, 2025 වර්ෂයේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා සංඛ්‍යාව 19 ක් දක්වාත්, ධීවර කාර්මිකයින් සංඛ්‍යාව 111 ක් දක්වාත් අඩු වී තිබේ. 2026 වර්ෂයේදී මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති ධීවර යාත්‍රා සංඛ්‍යාව 07ක් වන අතර, ධීවර කාර්මිකයින් සංඛ්‍යාව 40 කි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. ඉන්දියාවේදී සහ මාලදිවයිනේදී ශ්‍රී ලාංකික ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් සංඛ්‍යාව ඉහළ යාම වැළැක්වීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග ලෙස ද්විපාර්ශ්වික සාකච්ඡා ශක්තිමත් කිරීම සහ ධීවරයින් දැනුවත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව–මාලදිවයින අතර විශේෂ එකඟතාවක් ඇති කර ගැනීම දක්වා ඇත.මාලදිවයින් සමුද්‍රීය බල ප්‍රදේශයට ඇතුළුවීමේදී අදාළ අවසර සහ ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය නොකිරීම, එරට මුහුදු සීමාවේදී ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට බලපාන විශේෂ හේතුවක් වන බවත්,  ප්‍රධාන වශයෙන් ඉන්දියානු අනන්‍ය ආර්ථික කලාපය (Exclusive Economic Zone -EEZ) තුළ ධීවර කටයුතුවල නිරතවීම සහ ධීවර යාත්‍රා මඟින් සිදු කරන නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීම, ඉන්දියානු මුහුදු සීමාව තුළදී දේශීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට බලපාන විශේෂ හේතුවක් වන බවත් සභාගත කළ පිළිතුරෙහි කියවෙයි.ධීවර යාත්‍රා සඳහා ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය (Global Positioning System - GPS) සහ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (Vessel Monitoring System - VMS) උපකරණ භාවිතයෙන් ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා අත්අඩංගුවට පත්වීම් අවම කර ගැනීමට හැකි බව ද ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවලදී අත්අඩංගුවට පත්වන ධීවරයින්ට අදාළ නීතිමය ක්‍රියාපටිපාටි සඳහා දීර්ඝ කාලයක් ගතවීම සහ අධික පිරිවැයක් දැරීමට සිදු වීම සැලකිල්ලට ගනිමින්, එම නීතිමය ක්‍රියාපටිපාටි කඩිනම් කිරීමට ගත හැකි පියවර ද සභාගත කළ පිළිතුරෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks