E   |   த   |  

2026-09-25

පුවත් කාණ්ඩ : පුවත් 

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරේ

  • අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද වැඩි ජන්දයෙන් සම්මතයි   


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අද (සැප්. 25) විශේෂ බහුතර ඡන්දයෙන්  සම්මත විය.

එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.13 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව  ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද  හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේ  විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

අනතුරුව, කාරක සභා අවස්ථාවේදී දෙවන වගන්තියට ගෙන එන ලද සංශෝධන ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එම සංශෝධනවලට පක්ෂව ඡන්ද  158 ක් ද, විපක්ෂව ඡන්ද 63 ක් ද හිමි විය.

පනත් කෙටුම්පත තෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 158ක් ද, විපක්ෂව ඡන්ද 63ක් ද ලැබුණු අතර, ඒ අනුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

එමෙන්ම,අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ අද  වැඩි ජන්දයෙන් සම්මත කෙරිණි. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.53 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව  ඡන්ද 158ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද  හිමි විය. 

එම පනත් කෙටුම්පත  තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී  පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 62 ක්ද,  හිමි විය. ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත  තෙවන වර කියවීම වැඩි ඡන්ද 96 කින්  පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 අගෝස්තු 18 වැනි දින පළමුවර කියවීම සඳහා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.



සම්බන්ධිත පුවත්

2026-09-25

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පසුගියදා (සැප්. 24) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ  කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම එහි ව්‍යවස්ථාමය කටයුතු පිළිබඳ කාරක සභාවේ (AFCO) සභාපති මහාචාර්ය Sven Simon මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම  නියෝජිත පිරිසට, යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී Ralf Seekatz, යුරෝපා ජනතා පක්ෂ (EPP) කණ්ඩායමේ විදේශ කටයුතු, ආරක්ෂාව හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක Benjamin Oppermann යන මහත්වරු ඇතුළත් වූහ. තවද, KAS Singapore හි ආසියානු කලාපීය දේශපාලන සංවාද වැඩසටහනේ ප්‍රතිපත්ති උපදේශක Jonas Nitschke, KAS Brussels හි බහුජාතික සංවර්ධන ප්‍රතිපත්ති සංවාද වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු Sven Nicolay, IDAG හි නීතිඥ, රෙජිස්ට්‍රාර් සහ අධ්‍යක්ෂ සී.ඒ. හෙට්ටිආරච්චි සහ IDAG හි වැඩසටහන් උපදේශක එස්. විමලගුණරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.නියෝජිත පිරිස පිළිගත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ යුරෝපා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡා පිළිබඳව සිහිපත් කළ කථානායකවරයා, යුරෝපා සංගමයේ GSP+ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව පවත්වාගෙන යන සබඳතා පිළිබඳව සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට එම සහයෝගීතාව වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව ද කථානායකවරයා සඳහන් කළේය.නීතිය හා සාමය පවත්වාගෙන යාම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම, ජාතීන් අතර සංහිඳියා  ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ කාන්තා අයිතිවාසිකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව ද කථානායකවරයා නියෝජිත පිරිස දැනුවත් කළේය.එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළුව සමාජයේ සියලු පාර්ශ්වයන්ට සමානව අවශ්‍යතා සැපිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද කථානායකවරයා පෙන්වා දුන්නේය. තවද, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සිය ස්තූතිය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ පසුබිම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ වත්මන් ප්‍රගතීන් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූහ. එසේම, නියෝජිත පිරිස නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය සහ රටේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා සංගමය විසින් අඛණ්ඩව ලබා දෙන සහයෝගය සහ සබඳතාව පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා මෙවැනි සහයෝගීතාවන්හි වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.ඉන් අනතුරුව, යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූහ.විපක්ෂය නියෝජනය කරන ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රවී කරුණානායක සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් සමග ද , ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම හෙට්ටිආරච්චි සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් සමග ද නියෝජිත පිරිස සාකච්ඡාවල නිරත වූහ.ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ ආර්ථික තත්ත්වය, රට මුහුණ දෙන අභියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනයට අදාළ පසුබිම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධ කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.නියෝජිත පිරිස සිය සංචාරය අතරතුර කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාදය  නිරීක්ෂණය කළ අතර, කථානායකවරයා විසින් සභාවේදී විශේෂ නිවේදනයක් සිදු කරමින් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සභ ගර්භය වෙත පිළිගනු ලැබීය.එමෙන්ම, නියෝජිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයකට ද එක් වූ අතර, එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ කාර්යභාරය පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.


2026-09-24

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති අතිගරු කාලිඩ් නසර් අල් අමෙරි මහතා (Khaled Nasser Al Ameri) සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු විය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවා ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පිළිගනිමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දීර්ඝකාලීනව පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කළේය. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත විශාල ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය හරහා දෙරටේ ආර්ථිකයන්ට ලැබෙන දායකත්වය ඇතුළුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඔහු සිය ස්තූතිය පළ කළේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද නියෝජ්‍ය කථානායකවරයා සිය සතුට පළ කළ අතර, දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද, දසවන පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා, එමඟින් පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කළේය.ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙරටේ ආර්ථිකයන්ට ලබාදෙන දායකත්වය පිළිබඳව තානාපති කාලිඩ් නසර් අල් අමෙරි මහතා සිය ප්‍රසාදය පළ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ නිපුණතාව, සාමකාමී ස්වභාවය සහ ගෞරවනීය හැසිරීම හේතුවෙන්, ඔවුන්ට ඉහළ පිළිගැනීමක් හිමි වන  බවද ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් වෙළෙඳ සබඳතා මෙන්ම දෙරට අතර පවතින ශක්තිමත් ගුවන් සම්බන්ධතා පිළිබඳව ද තානාපතිවරයා අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සමාජීය වටිනාකම් සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීමේ ස්වභාවය පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ සුහදශීලීත්වය සහ සිනහව ශ්‍රී ලංකාවේ වටිනා සුවිශේෂී ලක්ෂණයක් බව සඳහන් කළේය. සමීප සහ විශ්වාසනීය මිතුරෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සිය සහයෝගය ලබාදෙන බව ද තානාපතිවරයා මෙහිදී යළි අවධාරණය කළේය.


2026-09-24

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දුන්නේය.කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මෙලෙස පත් කර තිබේ.වෘත්තියෙන් නීතිඥවරයෙකු වන හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මඩකලපුව, ඔට්ටමාවඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇත. එමෙන්ම, ඒ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියි.


2026-09-23

බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

  අද විවාදට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලි‍මේන්තුවේදී සම්මතයිබලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (සැප්. 23) විවාදයට  ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ   අනුමැතිය හිමි විය. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය. මේ අතර අද විවාදයට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලි‍මේන්තුවේදී සම්මත විය. 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උත්ශ්‍රේණිගත කිරීමේදී " අධ්‍යක්ෂවරයා" යන තනතුරු නාමය "අධ්‍යක්ෂ ජනරාල්වරයා" ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී ඇත. එමෙන්ම, උක්ත පනතේ සඳහන් " නිවේදිත කෘෂිකාර්මික භෝග '' ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝගවල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබිණි.ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ " අපනයන කෘෂිකර්ම භෝගය " යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල භෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්" ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks