E   |     |  

2026-09-21

පුවත් කාණ්ඩ : පුවත් 

සැප්තැම්බර් 22, 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්. 21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.

මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී ඇත.

සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.

එමෙන්ම, සැප්තැම්බර් 23 වැනිදා විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට ද නියමිතය. මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ, 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගිනි. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.

සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තීරණය කර තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.



සම්බන්ධිත පුවත්

2026-09-21

චීනයේ පැවති 2026 SCO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සංසදයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහභාගි වෙයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයුර්වේද හා දේශීය සෞඛ්‍ය සේවා උරුමය නවීන විද්‍යාත්මක පර්යේෂණ, තත්ත්ව සහතිකකරණය, සුරක්ෂිතතාව, අධ්‍යාපනය සහ තාක්ෂණික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙම මස 16 වැනි  දින  සිට 18 වැනි දින දක්වා චීන මහජන සමූහාණ්ඩුවේ ජියැංෂි පළාතේ නන්චාං නගරයේ පැවති 2026 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සංසදයට සහභාගි වූහ.ඉහත සඳහන් සංසදයට සහභාගි වීම පිණිස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මාරසිංහගේ ජයලාල් මහතා ද ඇතුළත් වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම මස 15 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් චීනය බලා පිටත්ව ගියහ.“නවීන තාක්ෂණය ඔස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සවිබල ගන්වමින් සැමගේ මානව සෞඛ්‍යය උදෙසා එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවති මෙම සංසදය, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ යහපත් අසල්වැසිභාවය, මිත්‍රත්වය සහ සහයෝගිතාව පිළිබඳ කොමිසම සහ ජියැංෂි පළාත් මහජන රජය එක්ව සංවිධානය කර තිබිණි. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සංවාදය සහ ප්‍රායෝගික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෞඛ්‍ය බලධාරීන්, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා වෘත්තිකයන්, විශේෂඥයන්, විද්වතුන්, පර්යේෂකයන් සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා කර්මාන්තයේ නියෝජිතයන් රැසක් මෙම සංසදයට එක්ව සිටියහ.මෙම මස 17 වැනි දින පැවති සංසදයේ සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ආරාධනා කර තිබිණි. එහිදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයුර්වේද සහ දේශීය සෞඛ්‍ය සේවා උරුමය පිළිබඳව අවධාරණය කළ කථානායකවරයා, සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම නවීන විද්‍යාත්මක පර්යේෂණ, තත්ත්ව සහතිකකරණය, සුරක්ෂිතතාව, අධ්‍යාපනය සහ තාක්ෂණික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.එමෙන්ම ඖෂධීය ශාක, විද්‍යාත්මක පර්යේෂණ, අධ්‍යාපනය සහ පුහුණුව, තත්ත්ව ප්‍රමිතීන්, තාක්ෂණය සහ ආරක්ෂිත හා ඵලදායී සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද කථානායකවරයා අවධාරණය කළේය.සංසදයේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද්විපාර්ශ්වික සාකච්ඡාවලට, නිරීක්ෂණ චාරිකාවකට සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නව ප්‍රතිපත්ති, ප්‍රමිතීන්, තාක්ෂණයන් සහ නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවයකට ද සහභාගි වූහ.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ (CPPCC) උප සභාපතිනි ෂෙන් යුවෙයු මහත්මිය සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික පරිපාලනයේ උප කොමසාරිස් මහාචාර්ය හුවාං ලුචි මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. ෂෙන් යුවෙයු මහත්මිය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.ශ්‍රී ලංකා නියෝජිත පිරිස China Resources Jiangzhong Pharmaceutical Co., Ltd., Jiangxi University of Traditional Chinese Medicine, Jemincare Group සහ Shanghai University of Traditional Chinese Medicine යටතේ ක්‍රියාත්මක Longhua Hospital Jiangxi Hospital යන ආයතන වෙත ද ක්ෂේත්‍ර චාරිකාවල නිරත වූහ. එම චාරිකාවලදී සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණ, සායනික භාවිතය සහ ඖෂධ සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍ර සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.සංසදයට සමගාමීව කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීන ආයෝජකයන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, සහල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී අවධානය යොමු විය.මෙම සංසදයට ශ්‍රී ලංකාව සහභාගි වීම තුළින් චීනය සහ අනෙකුත් සහභාගි වූ රටවල් හා ආයතන සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, ආයුර්වේදය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා පර්යේෂණ, අධ්‍යාපනය, සායනික භාවිතය සහ ඖෂධ සංවර්ධනය සම්බන්ධ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ඉදිරි සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් හැකි විය.


2026-09-18

අනාගත නායකත්වයට අද සිටම සූදානම් විය යුතුයි – ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර

රටේ අනාගතය වෙනස් කළ හැකි නායකත්වයක් ගොඩනැගීමට ශිෂ්‍ය අවධියේ සිටම යහපත් ආකල්ප, වගකීම සහ සහකම්පනය වර්ධනය කරගත යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවාය. කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (සැප්. 15) පැවැත්වුණු එම විද්‍යාලයේ තුන්වැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී   විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ඇය මේ අදහස් පළ කලාය  . එහිදී ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය නවීන තාක්ෂණය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව, දැනුම ලබාගැනීමට සහ සමාජයට යහපත් වෙනසක් ඇති කිරීමට භාවිත කළ යුතු බවද ඇය අවධාරණය කළාය. එමෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් ලැබෙන අත්දැකීම් අනාගත නායකත්වය සඳහා වැදගත් පදනමක් වන බව ද පෙන්වා දුන්නාය.එමෙන්ම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්යභාරය, නීති සම්පාදන ක්‍රියාවලිය සහ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව සිසුවියන් දැනුවත් කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීම් සහ කාරක සභා මගින් සිදු කරන අධීක්ෂණ කටයුතු පිළිබඳව ද ඇය පැහැදිලි කළාය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුවියෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභික සාමාජිකාවන් වෙත ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව ගෝතමි බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම විද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි මහතා, ගෝතමි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි උපේන්ද්‍රා පියසේන මහත්මිය, එම විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුහු එක්ව සිටියහ.


2026-09-18

ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හමුවෙති

ජර්මානු පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමට අයත් නියෝජිත පිරිසක් දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් 2026 සැප්තැම්බර් 16 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ. ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී  නික්ලාස් කැපර් (Nicklas Kappe) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි නියෝජිත පිරිසට ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙරොල්ඩ් ඔටන් (Gerold Otten), යොහාන් සාටෝෆ් (Johann Saathoff) සහ උලෙ ෂාවුස් (Ulle Schauws) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. එමෙන්ම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකාවේ ජර්මානු  වැඩබලන තානාපතිනි  සාරා හැසල්බර්ච් (Chargé d’Affaires), පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික කැට්රීනා බියෙනර්ට් (Katerina Bienert) සහ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ධාරිණී දළුවත්ත (Dharini Daluwatte) යන මහත්මීන්ද  එක්ව සිටියහ.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර අනතුරුව  එම නියෝජිත පිරිස  ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. ශ්‍රී ලංකා - ජර්මානු  පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වූ අතර, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ද ඊට එක්ව සිටියේය.මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ කාරක සභා ක්‍රමය, කාන්තා දේශපාලන නියෝජනය සහ නායකත්වය  ඉහළ නැංවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම මෙන්ම දේශපාලන ක්‍රියාවලියට තරුණ පරම්පරාවේ වැඩි දායකත්වයක් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු විය. අවංකභාවය සහ නීතියට ගරු කිරීම සම්බන්ධයෙන් තරුණ තරුණියන් අතර වර්ධනය වෙමින් පවතින  උනන්දුව පිළිබඳව ද දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී. වාර්ගික හා ආගමික ගැටලු විසඳීම සහ සියලු ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව, නියෝජිත පිරිස අමාත්‍යාංශීය උපදේශක කාරක සභා ත්‍රිත්වයක් සහ ආංශික අධීක්ෂණ කාරක සභා ද්විත්වයක් සමඟ ඒකාබද්ධ සාකච්ඡාවකට එක් වූහ. ඒ අනුව මෙම සාකච්ඡාවට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  යන කාරක  සභා සම්බන්ධ විය.ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  යන මහත්ම මහත්මීහු ඇතුළු එම කාරක සභා නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්  ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. එමෙන්ම අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  එම්. ජයලාත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස විසින් හඳුනාගෙන තිබූ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවලට අදාළව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව  පවත්වන ලදී.  අදාළ කාරක සභාවල ප්‍රධාන කාර්යභාරයන්, වත්මන් ක්‍රියාකාරකම් සහ උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී  අදහස් හුවමාරු කර ගැනීම සිදු විය. අපද්‍රව්‍ය කළමනාකරණය, ජලය පිරිපහදු කිරීම සහ ජල සම්පාදනය , විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම  ආර්ථික හා උපායමාර්ගික සංවර්ධනයට අදාළ දෙරටේ අත්දැකීම් පිළිබඳව ද  මෙහිදී සාකච්ඡා විය.මෙම හමුව ශ්‍රී ලංකාවේ සහ ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා වැදගත් අවස්ථාවක් වූ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත්  ශක්තිමත් කිරීමට ද දායක විය.


2026-09-14

එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව  පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බවද වැඩ බලන මහ ලේකම්වරයා  සඳහන් කර ඇත.ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks