පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-09-21
බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙම කරුණු සාකච්ඡා විය.
බන්ධනාගාරවල පවතින අධික තදබදයට, වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් බලපාන බව මෙහිදී පෙන්වා දෙන ලද්දේය. විශේෂයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු වන බව ද මෙහිදී අනාවරණය විය. එසේම ඇතැම් සැකකරුවන් මාස 18 සිට වසර 02 දක්වා කාලයක් රස පරීක්ෂක වාර්තා නොමැතිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදි.
මේ අතර, කුඩා මත්ද්‍රව්‍ය ප්‍රමාණ සමඟ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් සෘජුවම බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ හැකි වන පරිදි නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා පුහුණු පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභාව කියා සිටියේය.
වසර හතරකට අඩු දඬුවම් ලැබූ සිරකරුවන් සහ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටින සුළු වැරදිකරුවන් සේවා හෝ වැඩ කඳවුරු වෙත හෝ යොමු කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. සුළු වැරදි සම්බන්ධයෙන් ඇප මුදල් තබා ගත නොහැකිව සිටින පුද්ගලයන්ගේ නඩු කඩිනමින් අවසන් කර ඔවුන් සුදුසු සේවා කඳවුරු වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර තදබදය අඩු කළ හැකි බව ද පැමිණි නිලධාරීහු පැවසුහ.
තවද, රැඳවියන් අධිකරණ වෙත භෞතිකව රැගෙන යාම වෙනුවට දුරස්ථ තාක්ෂණය සහ වීඩියෝ සම්බන්ධතා ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. දෛනිකව රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යෙදවීමට සිදු වන බැවින්, මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් නිලධාරී හිඟය මෙන්ම ආරක්ෂක අවදානම ද අවම කරගත හැකි බව පැමිණි නිලධාරීහු ප්‍රකාශ කළහ. ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා විය.
වයෝවෘද්ධ, පූර්ණ ආබාධිත සහ දීර්ඝකාලීනව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර, වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත පවතින නීතිමය ක්‍රමවේදයන්ට අනුව ඔවුන් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය.
මේ අතර, වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය. එම මව්වරුන් සිරකාරියන් සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරියන් යන දෙපිරිසෙන්ම සමන්විත වන අතර, කුඩා දරුවන් බන්ධනාගාර පරිසරය තුළ දීර්ඝ කාලයක් ගත කිරීම ඔවුන්ගේ අනාගත වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බැවින්, නඩු කඩිනමින් විභාග කර දඬුවම් නියම කිරීම හෝ නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හෝ අවශ්‍ය බව පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.
බන්ධනාගාර පද්ධතියේ යටිතල පහසුකම් පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, බන්ධනාගාරවල පැරණි හා අබලන් ගොඩනැගිලි කඩිනමින් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡා විය. මිල්ලෑව/හොරණ නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ පවතින බන්ධනාගාර ධාරිතාව උපරිමයෙන් භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම, අධික තදබදයක් පවතින බන්ධනාගාරවල රැඳවියන් සාපේක්ෂව තදබදය අඩු බන්ධනාගාර වෙත මාරු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, අධිකරණ කටයුතු සඳහා රැඳවියන් ප්‍රවාහනය කිරීමේදී සහ රෝහල්ගත රැඳවියන් සඳහා ආරක්ෂාව සැපයීමේදී විශාල නිලධාරී පිරිසක් යෙදවීමට සිදුවීම නිලධාරී හිඟය තවදුරටත් උග්‍ර කරන බව ද අනාවරණ විය. ඒ අනුව, දුරස්ථ අධිකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මෙන්ම රෝහල්වල රැඳවියන් සඳහා වෙන්කර ඇති විශේෂ වාට්ටු නැවත සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා විය.
බාහිර ආරක්ෂාව සඳහා අවශ්‍ය අවස්ථාවලදී පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීම, බන්ධනාගාර නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු විසඳීම සහ ඔවුන්ට එල්ල වන ජීවිත තර්ජන සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීම පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු කෙරිණි.
අවසානයේදී, බන්ධනාගාර තදබදය අවම කිරීම සමඟම සමාජගත වන පුද්ගලයන් නැවත වැරදිවලට යොමු වීම වැළැක්වීම සඳහා ප්‍රජා පාදක විශෝධන සහ පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කරන ලදී.
2026-09-21
දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11) රැස් විය.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්‍රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්‍ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමග පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් මෙම අනුකාරක සභාව පත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පැවති රැස්වීමේදී ATI ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ ඉදිරි සංවර්ධනය සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙහිදී SLIATE පද්ධතිය සතු සම්පත් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම, යල් පැන ගිය යටිතල පහසුකම් හා තාක්ෂණික උපකරණ, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු මෙන්ම වැටුප් හා දීමනා විෂමතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී .එමෙන්ම ඇතැම් ATI ආයතනවල පරිපාලන ගැටලු සහ ශිෂ්‍ය දේශක අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, නේවාසික පහසුකම් හිඟය, ජීවන වියදම සහ ශිෂ්‍ය සුබසාධන ගැටලු හේතුවෙන් සිසුන් පාඨමාලා අතහැර යාම ආදී ගැටලු පිලිබදව එම ආයතනවල සිසුන් සහ නිලධාරීන් කාරක සභාවට කරුණු දැක්වුහ.රැකියා වෙළඳපොළ තුළ HND සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද එම ආයතන කාරක සභාවේ අවධානයට යොමු කල අතර, HND පාඨමාලා උපාධි මට්ටම දක්වා උසස් කිරීම, විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු යෝජනා ද එම ආයතන විසින් ඉදිරිපත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026-09-18
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (CPA New Parliamentarian Award 2026) හිමි කර ගත්තේය.දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී ඊයේ (සැප්. 17) පැවති 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී මෙම සම්මානය ඒ මහතා වෙත නිල වශයෙන් පිරිනැමිණි.2024 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දායක වී තිබේ. විවිධ ආයතන සමඟ සහයෝගයෙන් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද ඒ මහතා කටයුතු කර ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සහභාගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සහභාගිත්ව අයවැය උපදේශනය මෙහෙයවීම ඒ අතර ප්‍රධාන වේ.
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks