01

E   |   த   |  

2026-09-08

පුවත් කාණ්ඩ : පුවත් 

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.09.08

“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. 

පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;

(i)    පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;

(ii)    පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,

(iii)    පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.


“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්

2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

•    2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි 
•    2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි 
•    2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි 
•    2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි 
•    2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි 
•    2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි 
•    2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි 
•    2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි 


“දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද  ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 

“අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්

2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.






සම්බන්ධිත පුවත්

2026-10-22

ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට පර්යේෂණ රැසක්

ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්‍ය විද්‍යාත්මක අධ්‍යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්   නියෝජ්‍ය අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්‍රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්‍රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්‍ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.


2026-10-22

අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණයට කි.මී. 5787.89 ක විදුලි වැටක්

ශ්‍රී  ලංකාවේ වන අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්‍රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්‍රිතව සිදු වෙන බවත් පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා  සදහන් කරයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු  අනාවරණය විය.  සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී. විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ. විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.


2026-10-22

බන්ධනාගාරවල සිරකරුවන් 10,611 ක් සහ සැකකරුවන් 28,408 ක්

සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්‍රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පසුගිය 21 වැනිදා  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත්  අතරට අයත් බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්තවලට අනුව, සිරකරුවන්  1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද  සිටින බව සඳහන් වෙයි.එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.


2026-10-22

ජලභීතිකා රෝගීන්ගේ ප්‍රතිකාර හා එන්නත්කරණයට 2025 දී රු. මිලියන 655 කට අධික මුදලක් වැය කරයි

ජලභීතිකා රෝගය වැළඳුණු රෝගීන් සඳහා ප්‍රතිකාර සහ එන්නත්කරණ කටයුතු වෙනුවෙන් 2025 වර්ෂයේදී රු. 655,824,000 ක මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරකින් අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබාදුන් පිළිතුරේ මේ බව සඳහන් වේ.එම පිළිතුරට අනුව, 2025 වර්ෂයේදී සුනඛයන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගය වැළඳී පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.මේ අතර, 2025 වර්ෂයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා සඳහා වෙන් කර තිබූ මුළු මුදල රු. මිලියන 220 ක් බව ද අමාත්‍යවරයා පිළිතුරෙහි සඳහන් වෙයි. මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්දන වැඩසටහන සඳහා 2026 වර්ෂයට රු. මිලියන 51 ක මුදලක් වෙන් කර තිබෙන බව ද කියවෙයි. මෙම වැඩසටහන යටතේ සුනඛයන් එන්නත්කරණය, වන්ධ්‍යාකරණය සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරේ.මෙම වැඩසටහන යටතේ 2026 අගෝස්තු 30 වන විට දිස්ත්‍රික්ක හතරක වීදි සුනඛයන් 5,951 දෙනෙකු වන්ධ්‍යාකරණයට ලක් කර ඇති අතර, අනෙකුත් දිස්ත්‍රික්කවලද ජලභීතිකා මර්දන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයාගේ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks