logo

බලන්න

E   |     |  

2026-08-19

පුවත් කාණ්ඩ : පුවත් 

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.08.19

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (අගෝ. 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.




සම්බන්ධිත පුවත්

2026-08-18

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් කෙටුම්පත් දෙකට කථා නායකවරයාගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (අගෝ. 18) සිය සහතිකය සටහන් කළේය.1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ මුල් පනතේ 38 වන වගන්තියේ ''සත්ව'' යන යෙදුමේ නීතිමය අර්ථ දැක්වීම පුළුල් කිරීමයි. එමෙන්ම ''සතකු" යන්න නැවත අර්ථ දැක්වීම මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් මෙම පනතේ II කොටසේ විධිවිධානවලට යටත් වන බව සහතික කෙරේ. තවද, පනතේ IV කොටසට අදාළව බැටළුවන්, එළුවන්,ඌරන් සහ කුකුළන් ඇතුළත් වන පරිදි අර්ථ දැක්වීම් පැහැදිලි කර ඇත.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.07.21 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එයද 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනය මගින් 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත නවීකරණය කරමින් ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සැපයීම සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල හා කාර්යයන් ශක්තිමත් කරනු ලබයි.කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධානවල ජල හා අපජල කළමනා කරණ සේවාවන් ද මණ්ඩලයේ වගකීම්වලට ඇතුළත් වන පරිදි එහි වගකීම් පුළුල් කර ඇත. මීට අමතරව, වඩාත් ඵලදායි හා තිරසාර ජල හා අපජල කළමනාකරණයක් සඳහා සහාය වන පරිදි සේවක රක්ෂණ යෝජනා ක්‍රම, තාක්ෂණික සේවා, පුහුණු සේවා, රසායනාගාර සේවා සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා ද මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව, සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19  දරන සත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.


2026-08-18

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.මෙම පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරුණු අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අවකාශ සැලසේ.ඒ අනුව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අභියෝග කිරීමට කැමති පාර්ශ්වයකට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දින 21ක් ඇතුළත සිය තීරණය කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි) පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මේ මගින් මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අනෙකුත් සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම යෝජිතය. 


2026-08-17

නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී

නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්  දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්විණි. අනතුරුව, පාර්ලිමේන්තුවේ සභාගර්භය ඇතුළු පරිශ්‍රය නැරඹීමට ද ඔවුහු එක් වුහ.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. ජයලත් පෙරේරා, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කාංචන හේරත් සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ශාන්ත ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.


2026-08-14

2026 විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට...

රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසත් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය රන් සම්මානය දිනා ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.parliament.lk, පසුගියදා පැවති “BestWeb.lk 2026” සම්මාන උළෙලේදී සියලු අංශයන්හි විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය (Overall Silver Award)  දිනා ගැනීමට සමත් විය. එසේම මෙහිදී, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය” කාණ්ඩයේ රන් සම්මානය ද (Gold Award) පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමිවීම විශේෂත්වයකි.       ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලද “BestWeb.lk 2026” සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හිදී 2026 අගෝස්තු 12 වැනිදා පැවැත්විණි.විවිධ කාණ්ඩ 24ක් යටතේ වෙබ් අඩවි 350කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟයට එක්ව සිටි අතර, තාක්ෂණික ක්‍රියාත්මක කිරීම, කාර්යසාධනය, නිර්මාණකරණය, අන්තර්ගතය, ආරක්ෂාව සහ අනෙකුත් අමතර විශේෂාංග ඇතුළු නිර්ණායක රැසක් මත වෙබ් අඩවි ඇගයීමට ලක්කර තිබේ.පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මීට පෙරද මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී සම්මාන දිනාගෙන ඇති අතර, නවීකරණය කරන ලද වෙබ් අඩවිය හඳුන්වාදීමෙන් අනතුරුව වසර හතක විරාමයකින් පසු මෙවර තරගයට නැවත එක්වීම විශේෂත්වයකි.සම්මාන උළෙල සඳහා සම්භාවනීය ආරාධිතයින්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් මෙන්ම තරගයේ සම්මානලාභීන් සහ නිර්දේශිත වෙබ් අඩවි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.පාර්ලිමේන්තුවේ ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට සහ එහි නිල මාර්ගගත වේදිකාව හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී ලෙස පාර්ලිමේන්තු තොරතුරු සැපයීමට දරන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු වේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks