01

E   |   த   |  

2026-08-14

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍යයි - ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරේ

එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.

ගරු විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.

අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.

එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ  උපාය මාර්ගික රාමුවක් (Strategic Climate Resilience Framework) යෝජනා කර ඇත.

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය. සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා Differential Pricing ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.

දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින්  සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය.




සම්බන්ධිත පුවත්

2026-10-22

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ. එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්‍රියාත්මක වන (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු වේ.පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවේදී සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබා දීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු විය. එහිදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබා දිය යුතු වයස සම්බන්ධ විධිවිධාන පැහැදිලිව දැක්වීමේ වැදගත්කම සාකච්ඡා කෙරිණි.වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්‍රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. එවැනි පුද්ගලයන් ස්වේච්ඡාවෙන් සුනඛයන්ට උපකාර කිරීම පමණක් හේතුවෙන් ඔවුන්ගේ නීත්‍යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ සුනඛ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි.සුනඛ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එය පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ ශල්‍යකර්ම මඟින් සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. හෝමෝන එන්නත් භාවිතය ඇතුළු විකල්ප ක්‍රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සත්ව සුභසාධනය තහවුරු වන පරිදි අදාළ විධිවිධාන සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සහ එම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීමේ යෝජනා ද සාකච්ඡා කෙරිණි. වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම, එම මධ්‍යස්ථානවල වගකීම් පැහැදිලි කිරීම සහ සත්ව හිංසනය වැළැක්වීම සඳහා අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ පශු වෛද්‍ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමේදී ඒවායේ සංයුතිය, වගකීම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. නීතිමය කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය සහ අදාළ විශේෂඥ ආයතනවල දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද අවධානයට යොමු විය.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.


2026-10-22

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ, සුනිල් රාජපක්ෂ, චම්පික හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය, එහි පවතින ප්‍රමිතීන් සහ වැඩිදියුණු කළ යුතු අංශ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ප්‍රසම්පාදන කටයුතුවලදී මතුවන ප්‍රමාදයන්, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ගැටලු, නීතිමය රාමුවේ පවතින අඩුපාඩු සහ ඩිජිටල් පද්ධති භාවිතයේදී මතුව ඇති අභියෝග පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්‍රමවේදය හඳුන්වාදීම සහ ක්ෂේත්‍රයට විශේෂිත වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය. එමෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව විධිමත් කිරීම මගින් සිදුවන ප්‍රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දැනට අමාත්‍යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්‍රසම්පාදන ඒකක 394ක්  ආවරණය වන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරෙන අතර, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළත් වන පරිදි එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡාවේදී සඳහන් විය.මෙම ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කිරීමේදී මතුවූ ප්‍රමාදයන් සහ පෙර ගිවිසුම්කරුවා සමග පැවති එකඟතාව  අවසන් කිරීමට සිදුවීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර ලෝක බැංකුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක ප්‍රදානයක් හිමිවන බවත් මෙහිදී සඳහන් විය.තවද, දැනට පවතින ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා චක්‍රලේඛ බලාත්මක කිරීම  සහ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම, අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල අදහස් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සහ කෙටුම්පත සංශෝධනය කිරීමේදී මතුවූ ගැටලු ඒ අතර විය.ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු සහ ඒවා ලබාගන්නා සමාගම්වල ප්‍රතිලාභී අයිතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම (පෙර අසාදු ලේඛනගත කළ සමාගමක්ද යන වග), සහ අභියාචනා සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින පරිපාලනමය හා තාක්ෂණික බාධා අවම කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මීට අමතරව, මෙහිදී 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව සහ 2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව (ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්‍රමය) කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී. එහිදී පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම ණය ලබාදීම සිදුකරන බව නිලධාරීන් පැවසූහ.


2026-10-21

කොළඹ වරායේ ඉඩම් බදුදීම ඇතුළු කරුණු පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස්

2023 වසරේ සිදු වූ කොළඹ වරායේ තෙල් බංකරින් පහසුකම් සඳහා ඉඩම් බදුදීම සහ ඊට අදාළ කරුණු  පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දීම සිදු විය.කොළඹ වරායේ භාවිතයට නොගත් ඉඩම් බදු දීම, තෙල් බංකරින් (Bunkering) මෙහෙයුම් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ඒ ආශ්‍රිත නීතිමය සමථකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය හා වෙළඳපොළ තරඟකාරීත්වය පිළිබඳව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. තෙල් බංකරින් ක්ෂේත්‍රය ලිහිල් කිරීම (Liberalization) සඳහා 2022 ජූනි 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සහ 1971 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව හිස් ඉඩම් බදු දීමට ටෙන්ඩර් කැඳවා තිබී ඇත. එම ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරාගත් සමාගමකට පරන්තන් ප්‍රදේශයෙන් ලබා දුන් ඉඩම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වරාය අභ්‍යන්තරයෙන් විකල්ප ඉඩමක් ඉල්ලා ඇති බව හෙළි විය. අදාළ සමාගමට නියමිත මාස හයක කාලය තුළ ප්‍රමාණාත්මක අවදානම් තක්සේරු වාර්තාව (QRA) ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එකඟතාව අවලංගු කළ ද, සමාගම අධිකරණයට යෑමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ශ්වයන්ට සමථයකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස දන්වා ඇත.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (තාක්ෂණික), ප්‍රධාන නීති නිලධාරී සහ පරිශ්‍ර කළමනාකරුගෙන් සමන්විත නිලධාරී කමිටුවක් අදාළ සමාගම සමඟ සාකච්ඡා කර සමථයකට පැමිණ තිබේ. ඒ අනුව මුලින් ලබා දීමට සැලසුම් කළ අක්කර 4ක් පමණ වූ  ඉඩම වෙනුවට තෙල් ගබඩාව (Oil Bank) ආසන්නයේ පිහිටි අක්කර 2ක් පමණ වූ ඉඩමක් ලබා දීමට එකඟතාව පළ කර, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණයට ඒකාබද්ධ සමථ යෝජනාවක් (Joint Settlement Motion) ඉදිරිපත් කර ඇත.වරාය අභ්‍යන්තරයේ ජැටියට සහ තෙල් ගබඩාවට ආසන්නයෙන් පුද්ගලික සමාගමකට ඉඩම් ලබා දීම තුළින් වෙළඳපොළ ඒකාධිකාරයක් (Monopoly) හෝ අසාධාරණ තරඟකාරීත්වයක් ඇතිවේදැයි කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදී. දැනට බංකරින් තෙල් ගබඩා කිරීමේ ඒකාධිකාරය පවතින්නේ ජයබහලු පර්යන්තය (JCT) සතුව පමණක් බැවින්, නව ආයෝජකයෙකු පැමිණීම මගින් එම ඒකාධිකාරය බිඳවැටී විවෘත තරඟකාරීත්වයක් ගොඩනැගෙන බව වරාය අධිකාරියේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.මෙම සමථ ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්චිත ඉඩමක් ලබාදෙන ලෙස නියෝග කර නොමැති අතර, සමථයක් ලෙස මෙම ඉඩම යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් බැවින් එම යෝජනාව නිසි ලෙස සාධාරණීකරණය (Justify) කළ යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව "තීරණය නිවැරදි විය යුතු සේම එම නිවැරදි බව විනිවිදභාවයෙන් යුතුව පෙනෙන්නට තිබිය යුතුය" යන මූලධර්මය මත පිහිටා, මෙමගින් වෙළඳ ඒකාධිකාරයක් බිහි වන්නේ ද නැතහොත් බිඳෙන්නේ ද යන්නත්, දීර්ඝකාලීන මූල්‍ය අවාසියක් සිදුවන්නේ ද නැද්ද යන්නත් ඇතුළත් පූර්ණ වාර්තාවක් සතියක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයට යැවීමට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට කාරක සභා සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.කොළඹ වරායේ මෙහෙයුම් ප්‍රගතිය සහ වර්ධනය පිළිබඳව ද මෙහිදී කාරක සභාව විසින් විමසන ලදී. රතු මුහුද, සූවස් ඇළ සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සැපයුම් දාමයට ඇති වන බාධා හමුවේ වුවද, කොළඹ වරායේ පර්යන්ත පහ ඒකාබද්ධව වසරේ මුල් මාස අට තුළ  11% ක පමණ වර්ධනයක් අත්කර ගනිමින් මෙහෙයුම් ඵලදායිතාව සහ ආදායම ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.    


2026-10-21

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහ ඇප ලබාදීමේ නීති සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් දෙකක්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලා, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව  අනුමත කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී, අත්අඩංගුවට ගෙන රජයේ භාරයේ පවතින මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නීතිමය සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.එහිදී, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව දින 60ක් ඇතුළත ලබා ගැනීම, එම වාර්තාව ලැබීමෙන් පසු දින 15ක් ඇතුළත අධිකරණ නියෝගය ලබා ගැනීම සහ අධිකරණ නියෝගයෙන් පසු දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කාලසීමා නියම කිරීමට අදාළ විධිවිධාන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ. එමෙන්ම, සැකකරුවකු නොමැති හෝ මත්ද්‍රව්‍ය අතහැර දමා ගොස් ඇති අවස්ථාවලදී හෝ අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට යෝජනා කර ඇති විධිවිධාන පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාක්ෂි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම ක්‍රියාවලිය ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම, අවශ්‍යතාවක් ඇති වුවහොත් දෙවන රසායනාගාර පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ආරක්ෂිතව තබා ගැනීම සහ විශාල මත්ද්‍රව්‍ය තොගවලින් නියෝජිත සාම්පල ලබා ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන ද නිලධාරීහු පැහැදිලි කළහ.මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමට අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, ග්‍රෑම් 100 දක්වා බරක් සහිත මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත්, එම සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ.මීට පෙර පැවති ග්‍රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට දායක වීම බව ද මෙහිදී පැහැදිලි කෙරිණි. තවද, මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, චන්දන සූරියආරච්චි සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks