logo

01

E   |     |  

2026-08-13

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 අගෝස්තු මස 10 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා කාමර අංක 02 හිදී පැවැත්විණි.

මෙහිදී “පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය” පිළිබඳව ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) චන්දිමා සුබසිංහ මහත්මිය විසින් විද්‍යාර්ථීන් දැනුවත් කරන ලදී. පාර්ලිමේන්තුවේ කාර්යභාරය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව මෙහිදී පැහැදිලි කරනු ලැබිණි.

අනතුරුව පැවති අදහස් දැක්වීමේ අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මිය සභාව අමතමින්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙත සිය ස්තූතිය පළ කරන බව සඳහන් කළාය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව සෘජුවම දැනුවත් වීමට ලැබීම විද්‍යාර්ථීන්ට ඉතා වැදගත් හා ප්‍රයෝජනවත් අත්දැකීමක් බව ද ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, අධ්‍යයන කටයුතුවලදී ලබාගන්නා න්‍යායික දැනුම ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට මෙවැනි වැඩසටහන් වැදගත් වන බවත්, විද්‍යාර්ථීන්ගේ දැනුම පුළුල් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

වැඩසටහන අවසානයේදී  සහභාගී වූ විද්‍යාර්ථීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, වැඩසටහනට සහභාගී වූ විද්‍යාර්ථීන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ චාරිකාවකට ද එක්  වුහ .





සම්බන්ධිත පුවත්

2026-08-14

2026 විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට...

රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසත් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය රන් සම්මානය දිනා ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.parliament.lk, පසුගියදා පැවති “BestWeb.lk 2026” සම්මාන උළෙලේදී සියලු අංශයන්හි විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය (Overall Silver Award)  දිනා ගැනීමට සමත් විය. එසේම මෙහිදී, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය” කාණ්ඩයේ රන් සම්මානය ද (Gold Award) පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමිවීම විශේෂත්වයකි.       ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලද “BestWeb.lk 2026” සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හිදී 2026 අගෝස්තු 12 වැනිදා පැවැත්විණි.විවිධ කාණ්ඩ 24ක් යටතේ වෙබ් අඩවි 350කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟයට එක්ව සිටි අතර, තාක්ෂණික ක්‍රියාත්මක කිරීම, කාර්යසාධනය, නිර්මාණකරණය, අන්තර්ගතය, ආරක්ෂාව සහ අනෙකුත් අමතර විශේෂාංග ඇතුළු නිර්ණායක රැසක් මත වෙබ් අඩවි ඇගයීමට ලක්කර තිබේ.පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මීට පෙරද මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී සම්මාන දිනාගෙන ඇති අතර, නවීකරණය කරන ලද වෙබ් අඩවිය හඳුන්වාදීමෙන් අනතුරුව වසර හතක විරාමයකින් පසු මෙවර තරගයට නැවත එක්වීම විශේෂත්වයකි.සම්මාන උළෙල සඳහා සම්භාවනීය ආරාධිතයින්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් මෙන්ම තරගයේ සම්මානලාභීන් සහ නිර්දේශිත වෙබ් අඩවි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.පාර්ලිමේන්තුවේ ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට සහ එහි නිල මාර්ගගත වේදිකාව හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී ලෙස පාර්ලිමේන්තු තොරතුරු සැපයීමට දරන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු වේ. 


2026-08-11

මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු 18 සිට 21 දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝස්තු 7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 2026 අගෝස්තු 18 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව, ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය. ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමය නියමිතව තිබේ. 2026 අගෝස්තු 19 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනා සම්මතය (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තක‍ය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත. 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව.  5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව.  5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.2026 අගෝස්තු 21 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව.   5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.   


2026-08-11

එන්න... දකින්න... දැනගන්න... මේ ඔබේ පාර්ලිමේන්තුවයි !

හෙට දින නායකයන් බවට පත්වන පුංචි මල් කැකුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නිරතුරුව දැකිය හැකි තවත් සොඳුරු දසුනක් ! දියවන්නාවේ සුන්දරත්වය විදිමින් පාර්ලිමේන්තුව සියැසින් දැක, නැවුම් අත්දැකීමක් ලබන්නට ඔවුනට එමගින් අවකාශය සැලසෙනවා.     රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන පෙර පාසල් සහ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් සහ විවිධ අධ්‍යාපන ආයතන නියෝජනය කරන විශාල පිරිසක් දිනපතා පාර්ලිමේන්තු පරිශ්‍රය සියැසින් දැක ගැනීමට පැමිණෙනවා.පොතපතෙන් ලබා ගන්නා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම, පාර්ලිමේන්තුව තුළදී ම  සියැසින් දැකගන්නට මෙන්ම දැනගන්නට හැකිවීම විශේෂයි.පාර්ලිමේන්තුවේ සභාගර්භය සහ අවට පරිශ්‍රය නැරඹීමෙන් ඔබ්බට ගොස් ඒ ඒ වයස් කාණ්ඩවලට මෙන්ම අධ්‍යයනය කරනු ලබන විෂයන්ට ගැළපෙන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කාර්යයන් පිළිබඳ අවබෝධය ලබා දීමට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ  නිලධාරීහු ඇතුළු කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා. එපමණක් නොව, පාර්ලිමේන්තුව අවට සොබා සෞන්දර්ය මෙන්ම අපගේ පාර්ලිමේන්තුවේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය සහ කලාත්මක වටිනාකම් පිළිබඳව ද  අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. එන්න... දකින්න... දැනගන්න... මේ ඔබේ පාර්ලිමේන්තුවයි !ඡයාරූප- කිඩී කෝව් (Kiddie Cove) පෙර පාසලේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරු දැරියන් සහ ගුරුවරුන් පිරිසක් ඊයේ  (අගෝ. 10) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූ අවස්ථාව.


2026-08-07

පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය පිහිටුවීමට මැක්ස් ප්ලැන්ක් පදනමේ සහයෝගය

කථානායකවරයා සහ මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක්කථානායක නිල නිවස පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස පරිවර්තනය කිරීමට සැලසුම්ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මැක්ස් ප්ලැන්ක් පදනම (Max Planck Foundation for International Peace and the Rule of Law) අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (අගෝ. 06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන සම්බන්ධීකාරක ලෙස සහයෝගය ලබා දෙන මැක්ස් ප්ලැන්ක් පදනම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ජොහෑන්ස් කෘස්මාර්ක් (Johannes Krusemark) මහතා, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී හේලී නිකෝල් එවන්ස් (Hayley Nicole Evans) මහත්මිය සහ නීති උපදේශක රුවිනි පෙරේරා මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වූහ.එහිදී යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා මැක්ස් ප්ලැන්ක් පදනම විසින් සකස් කර ඇති ව්‍යාපෘති යෝජනාවලිය ගරු කථානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. කථානායක නිල නිවස යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය බවට පරිවර්තනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සාකච්ඡාවේදී අදහස් දැක් වූ  කථානායකවරයා සඳහන් කළේය.මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස,•    පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පුහුණු කිරීම,•    ප්‍රතිපත්ති පර්යේෂණය සහ විශ්ලේෂණ සඳහා අධ්‍යයන අවස්ථා ලබා දීම,•    පාර්ලිමේන්තුව මඟින් සම්පාදනය කරන නීති සහ පෙර සම්මත කරන ලද පනත් පිළිබඳ මහජන අදහස් ලබාගෙන ඒවායේ ප්‍රයෝජනවත්භාවය නැවත ඇගයීම (Post-Legislative Scrutiny),•    ඒ සම්බන්ධයෙන් පර්යේෂකයන්ට සහ විද්වත් පාර්ශ්වයන්ට දායක වීමට අවස්ථාව සැලසීම යන කරුණු කථානායකවරයා අවධාරණය කළේය.මෙම යෝජනාවලිය සකස් කිරීමේදී ඉන්දියාවේ ලෝක් සභාවේ සහ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු පර්යේෂණ ආයතන පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, යෝජිත ආයතනය ස්ථාපිත කිරීම සඳහා සම්පත් දායකයෙකු ලෙස මැක්ස් ප්ලැන්ක් පදනම ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තම ආයතනය සූදානම් බව  මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළේය.මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කමිටුව විසින් සකස් කරමින් පවතින ව්‍යාපෘති යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත අවසන් කර භාර දීමට අපේක්ෂා කරන බවයි.  මැක්ස් ප්ලැන්ක් පදනම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ ද එම ක්‍රියාවලියේදී සලකා බලන බවත්, ඒ සඳහා පදනම වෙත ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය. එම කමිටුවේ අනෙකුත් කමිටු සමාජීකයින් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක කාන්ති පිරීස් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ සරත් කුමාර මහතායි. මෙම සාකච්ඡාවට ගරු කථානායකවරයාගේ පුද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ජනක මහේෂ් අතපත්තු මහතා ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks