පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-11
ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, රටේ ඉඩම් ක්ෂේත්‍රයට අදාළ ආයතනවල කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එහිදී රජයේ ඉඩම් අවභාවිතය සහ ව්‍යාජ ඔප්පු මගින් සිදුවන වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් හරහා ජාලගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය විය. රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අදාළ තොරතුරු එක් දත්ත පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම මගින් ඉඩම් පරිපාලනය වඩාත් විධිමත් කළ හැකි බවත්, GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් ඉඩම් වංචා අවම කිරීමට හැකි වන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිජනතාවතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර ඉඩම් අයිතිය සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් දත්ත පද්ධති හඳුන්වා දීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව කාරක සභාව අවධාරණය කළේය.
මේ අතර, 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. යෝජිත සංශෝධන මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් ප්‍රවාහනය,පනත යටතේ නියාමනයට ඇතුළත් කිරීමටත්, සතුන් ප්‍රවාහනය විධිමත් කිරීම මගින් පාද හා මුඛ රෝගය වැනි සත්ව රෝග පාලනයට පියවර ගැනීමටත් අපේක්ෂා කෙරේ.
එමෙන්ම, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාවක් ද මෙහිදී සලකා බැලූ අතර, බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, රොෂාන් අක්මීමන, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්වරුන් ද, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන් ද, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks