පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-10
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ වු අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන මගින් පුනරුත්ථාපන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන බව එම ආයතනවල නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුන් වූ රැඳවියන් 4,962 දෙනාගෙන් 1,506 දෙනෙකු සඳහා මේ වන විට පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ. අධිකරණ නියෝග මත යොමු කරන ලද පුද්ගලයින්ට සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රැඳවියන්ට මෙම පුනරුත්ථාපන වැඩසටහන් ලබා දෙන බවත්, විවිධ නඩු සම්බන්ධයෙන් දඬුවම් විඳින සියලුම රැඳවියන් සඳහා පුනරුත්ථාපන අවස්ථා ලබා දීමට හැකියාව නොමැති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඉන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය පුනරුත්ථාපන වැඩසටහන් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම සහ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.
පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයින් සමාජය තුළ පිළිගැනීම, එවැනි පුද්ගලයින් සඳහා යහපත් චරිත සහතික ලබා දීමේදී පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, ධර්මප්‍රිය විජේසිංහ සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
2026-08-11
ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, රටේ ඉඩම් ක්ෂේත්‍රයට අදාළ ආයතනවල කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එහිදී රජයේ ඉඩම් අවභාවිතය සහ ව්‍යාජ ඔප්පු මගින් සිදුවන වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් හරහා ජාලගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය විය. රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අදාළ තොරතුරු එක් දත්ත පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම මගින් ඉඩම් පරිපාලනය වඩාත් විධිමත් කළ හැකි බවත්, GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් ඉඩම් වංචා අවම කිරීමට හැකි වන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිජනතාවතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර ඉඩම් අයිතිය සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් දත්ත පද්ධති හඳුන්වා දීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව කාරක සභාව අවධාරණය කළේය.මේ අතර, 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. යෝජිත සංශෝධන මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් ප්‍රවාහනය,පනත යටතේ නියාමනයට ඇතුළත් කිරීමටත්, සතුන් ප්‍රවාහනය විධිමත් කිරීම මගින් පාද හා මුඛ රෝගය වැනි සත්ව රෝග පාලනයට පියවර ගැනීමටත් අපේක්ෂා කෙරේ.එමෙන්ම, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාවක් ද මෙහිදී සලකා බැලූ අතර, බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, රොෂාන් අක්මීමන, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්වරුන් ද, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන් ද, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
2026-08-11
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) අවධානය යොමු කෙරිණි.ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (අගෝ. 05) රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය, ඩිජිටල් පද්ධති කළමනාකරණය, විනය පරීක්ෂණ, විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් සහ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක පසු වුව ද, ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව කාරක සභාව හමුවේ අනාවරණය විය. එසේ වුව ද, එය විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය පහත වැටීමක් නොව, ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනයත් සමඟ ඇති වූ තත්ත්වයක් බව නිලධාරීහු පැහැදිලි කළහ.විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පද්ධති සහ දත්ත කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. ERP පද්ධතියේ ස්ථාවර වත්කම් මොඩියුලය ක්‍රියාත්මක කිරීමේදී සේවාදායක ධාරිතාව ප්‍රමාණවත් නොවීම, තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟය, පෞද්ගලික අංශය හා සසඳන විට පවතින වැටුප් විෂමතා හේතුවෙන් දක්ෂ තාක්ෂණික නිලධාරීන් රඳවා ගැනීමේ අපහසුව, පද්ධති යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් සහ වසර ගණනාවක් අවසන් නොකළ මෘදුකාංග ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.පද්ධති නඩත්තු කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුළම ස්ථිර හා විශේෂඥ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව අවධාරණය කළේය.විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ද කාරක සභාව දැඩි අවධානය යොමු කළ අතර, ඇතැම් විනය ක්‍රියාමාර්ග වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, නීතිමය සහ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් ආයතනයට මූල්‍ය හා පරිපාලනමය අහිතකර බලපෑම් ඇති වී තිබීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එවැනි කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය.විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධව මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.කෙසේ වෙතත්, 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 201ක මුදලක් අයකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මැදිහත්ව සෑම රජයේ විශ්වවිද්‍යාලයකම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළේය.තවද, බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, ඔවුන් ලෝකයේ කුමන රටක සිටිය ද අන්තර්ජාලය ඔස්සේ මෙරට සිසුන්ට ඉගැන්වීම් හා පර්යේෂණ සඳහා දායක කර ගැනීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.අවසානයේදී, විශ්වවිද්‍යාලයේ පාලනය, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විගණන නිර්දේශ සහ කාරක සභාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස COPE කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන එම්. කේ. එම්. අස්ලම් සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-10
ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ගුරු හිඟය විසඳීම, උසස් අධ්‍යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වු අවස්ථාවේදීය.මෙම රැස්වීමේදී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු හිඟයට මුහුණ දෙන පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව සහතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.මීට අමතරව පාසල් ඉඩම් හා යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අන්තර්කරණ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය.මෙම අවස්ථාවට ගරු අමාත්‍යවරුන්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2026-08-10
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය, බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කරමින්, බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය, බදු පදනම පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කෙරිණි.එහිදී 2026 වර්ෂය සඳහා වූ බදු සැලැස්ම, 2026 ජූනි 30 දින දක්වා බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය, ආදායම් ඇස්තමේන්තු, බදු වර්ග අනුව ආදායම් කාර්යසාධනය, බදු පදනම, වර්තමාන බදු අනුකූලතා තත්ත්වය, බදු ක්‍රමය සරල කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම සහ RAMIS පද්ධතියේ ප්‍රගතිය, ඩිජිටල් සේවා සඳහා අදාළ බදු, බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.මෑත කාලීන බදු ප්‍රතිපත්ති සංශෝධන සහ ආදායම් කළමනාකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ඇති වී ඇති බව සාකච්ඡාවේදී පෙන්වා දී ඇත. එම ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බදු පරිපාලනය නවීකරණය කිරීම, බදු ගෙවන්නන්ගේ පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විද්‍යුත් සේවා පුළුල් කිරීම, ආයතන අතර දත්ත හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් පද්ධති වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.තවද, බදු පරිපාලනයේ පවතින අභියෝග ලෙස අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් බදු ජාලයට ඇතුළත් කිරීම, තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව, දත්ත ඒකාබද්ධ කිරීමේ ගැටලු සහ විශේෂිත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, RAMIS පද්ධතිය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ලියාපදිංචි කිරීම, ගොනු කිරීම සහ ගෙවීම් ක්‍රමවේද පුළුල් කිරීම, දත්ත පද්ධති ඒකාබද්ධ කිරීම සහ බදු පරිපාලන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, මහාචාර්ය රුවන් රණසිංහ, එරංග වීරරත්න සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, ආචාර්ය නන්දන මිල්ලගල, සුනිල් බියන්විල සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ද, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks