පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-04
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකාවේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතාගේ ආරාධනයකට අනුව 2026 ජූලි 25 සිට අගෝස්තු 02 දක්වා චීනයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළහ.
මෙම නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නායකත්වය ලබා දුන් අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඕෂානි උමංගා, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්මීහු ඇතුළත් වූහ.
එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්දාන ප්‍රොටෝකෝල අංශයේ පාර්ලිමේන්තු නිලධාරී ලහිරු පතිරණගේ මහතා ද මෙම සංචාරයට සහභාගි වූහ.
චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂෝ (Guangzhou) නගර කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩසටහන තුළ නිල හමුවීම්, අධ්‍යයන සැසි, ආයතනික සංචාර සහ සංස්කෘතික වැඩසටහන් රැසකට නියෝජිත පිරිස සහභාගි වූහ. ඒ හරහා චීනයේ සංවර්ධන අත්දැකීම්, නවෝත්පාදන පරිසර පද්ධති සහ පාලන ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.
සංචාරය අතරතුර ෂෙන්සෙන් විශේෂ ආර්ථික කලාපයේ සංවර්ධනය සහ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දේශනයකට සහභාගි වූ නියෝජිත පිරිස, Huawei Technologies, Tencent, Mindray, BYD ඇතුළු ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ආයතන සහ නවෝත්පාදන මධ්‍යස්ථාන වෙත ද සංචාරය කළහ. එහිදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, ස්මාර්ට් සෞඛ්‍ය සේවා, නවීන කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ කාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණි.
එමෙන්ම ෂෙන්සෙන් නගර සභාව, ගුවැන්ඩොං පළාත් රජය සහ ගුවැන්ෂෝ නගර සභාවේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී පාර්ලිමේන්තු සහයෝගිතාව, දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, කාන්තා සවිබල ගැන්වීම සහ දෙරට අතර අනාගත සහයෝගිතා අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ෂෙන්සෙන් කාන්තා සම්මේලනය සමඟ පැවති හමුව සංචාරයේ විශේෂ අවස්ථාවක් වූ අතර, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුරැකුම් සේවා, පවුල් සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද අදහස් හුවමාරු කරගැනීමට එහිදී අවස්ථාව හිමි විය.
මීට අමතරව, ලියන්හුවා හිල් උද්‍යානය, Great Tides Surge Along the Pearl River ප්‍රදර්ශන ශාලාව, ගුවැන්ඩොං කෞතුකාගාරය සහ ගුවැන්ෂෝ මෙට්‍රෝ කෞතුකාගාරය ඇතුළු සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන කිහිපයක ද නියෝජිත පිරිස සංචාරය කළහ.
මෙම නිල සංචාරය ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු සංවාද, ආයතනික සහයෝගිතාව සහ දැනුම හුවමාරුව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ද දායක විය.
සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ රජයට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට, ගුවැන්ඩොං පළාත් බලධාරීන්ට සහ සංචාරය සංවිධානය කළ සියලුම ආයතන වෙත නියෝජිත පිරිස සිය කෘතඥතාව පළ කළහ.
2026-08-03
ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජය යටතේ විවිධ අංශ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ එම මුදල් භාවිත කරන ආකාරය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.ඒ එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්ම මහත්මීන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහභාගි වූහ. එසේම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන් සහ විරේසිරි බස්නායක යන මහත්වරු මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම කාරක සභාවට සම්බන්ධ වූහ.රුපියල් බිලියන 71.7 ක සහන පැකේජය යටතේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් එනම් රුපියල් බිලියන 52.8 ක් ඛනිජ තෙල් අංශය සඳහා වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. ඉන්ධන සමාගම්වල ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවියේදී ඇතිවිය හැකි පාඩු සහ ඒ හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සහනය ලබා දුන් බව නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.රුපියල් බිලියන 71.7 ක මුදල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර ඒ 2026 මැයි සහ ජූනි මාසවලදී ලබා දෙන ලද ඉන්ධන සහනාධාර ඇතුළු සහන සඳහා වන ගෙවීම් පියවීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් බිලියන 52.8 ක මුදල සහ අප්‍රේල් මාසයේ ඉන්ධන සහනාධාරය (සිපෙට්කෝ සහ අනෙකුත් ඉන්ධන සැපයුම්කරුවන් සඳහා), කුඩා තේ වතු හිමියන්ගේ පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාර සඳහා ලබා ගැනීම හේතුවෙන් අඩුවී තිබූ වාර්ෂික අයවැය සංචිතය නැවත පූරණය කිරීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් බිලියන 18.9 ක මුදල වේ.2026 ජූනි 11 වන දින මෙම කාරක සභාව විසින් සමාලෝචනය කරන ලද රුපියල් බිලියන 20 ක අතිරේක ඇස්තමේන්තුව මෙන්ම, මෙම ඉල්ලීම මගින් ද 2026 වසරේ වියදම් සීමාව හෝ ණය ගැනීමේ සීමාව හෝ ඉහළ නොයන බව ද මෙහිදී අනාවරණය විය. මෙය පවතින වෙන් කිරීම් නැවත ප්‍රති-වෙන්කිරීමක් (reallocation) පමණි.සමස්ත රුපියල් බිලියන 71.7 ක මුදලම පියවනු ලබන්නේ 'දිට්වා' (Cyclone Ditwah) වෙනුවෙන් වෙන් කරන ලද 2026 අංක 01 දරන රුපියල් බිලියන 500 ක අතිරේක ඇස්තමේන්තුවෙන් භාවිත නොකළ ශේෂයන් ලබා ගැනීමෙනි. (2026 ජූනි 30 වන විට ඉන් නිකුත් කර තිබුණේ රුපියල් බිලියන 243.9 ක් පමණි).ඒ අනුව මෙම සහනය ඉන්ධන සමාගම් සඳහා ලබාදෙන සහනාධාරයකට වඩා පාරිභෝගික සහනාධාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය පැවති තත්ත්වය මත ලබා දුන් තාවකාලික සහනයක් පමණක් බවත් මෙහිදී පැහැදිලි කෙරිණි.2026 අප්‍රේල් මාසය සඳහා පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 20,507ක පමණ සහනාධාරයක් ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. එම මුදලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා රුපියල් මිලියන 15000ක් ද , ලංකා IOC සමාගම සඳහා රුපියල් මිලියන 2,340ක් ද, සයිනොපෙක් සමාගම සඳහා රුපියල් මිලියන 1,501ක් ද, RM Parks සමාගම සඳහා රුපියල් මිලියන 1,666ක් ද ගෙවා ඇති බව සඳහන් විය.එමෙන්ම, රුපියල් බිලියන 71.7ක සමස්ත සහන පැකේජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 15ක්, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.2ක් ද, යළ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක්, කුඩා වැවිලි කරුවන් සඳහා රුපියල් බිලියන 2.2ක් ද සහ ධීවර කර්මාන්තය සඳහා රුපියල් බිලියන 1.2ක් ද වෙන් කර ඇති බව කාරක සභාවේදී සාකච්ඡා විය.ඒවගේම, දිට්වා හේතුවෙන් සිදු වූ හානියෙන් පසු එහි ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව මාර්ග සංවර්ධනය අධිකාරිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. හානියට පත් වූ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියානු සහ චීන රජයන් විසින් ආධාර ලබා දෙන බව මෙහිදී එම නිලධාරීහු පවසා සිටියහ. තවද, මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන පිවිසුම්වල වැඩකටයුතු 2028 වසර අවසානය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී ප්‍රකාශ විය. අධිවේගී මාර්ගවල විදුලි සැපයුම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත්, ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීහු පැවසුහ.තවද,'එල්නිනෝ' තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා වූ අතර, මෙවැනි දේශගුණික විපර්යාසයන් ඉදිරියේදී ද ඇති විය හැකි බැවින්, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා 'ආපදා කළමනාකරණ ව්‍යවස්ථාපිත අරමුදල' බලගැන්වීමේ වැදගත්කම කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.තවද, විගණකාධිපතිතුමියගේ වැටුප් නිර්ණය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය හා අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා ඉදිරි දිනයකදී නැවත සාකච්ඡා කිරීමට කාරක සභාව තීරණය කළේය.
2026-08-03
තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු තුනක් සංවිධානය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය .ඒ අනුව, පළමු වැඩමුළුව 2026 අගෝස්තු 08 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේදී ද , දෙවන වැඩමුළුව අගෝස්තු 29 වැනිදා නැගෙනහිර පළාතේදී ද තෙවන වැඩමුළුව සැප්තැම්බර් 05 වැනිදා මහනුවරදී ද පැවැත්වීමට සංසදය එකඟ විය. මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.එසේම, සංසදයේ සාමාජිකයන් සඳහා ඉන්දියාවේ විවෘත පාර්ලිමේන්තු භාවිතයන් සහ මහජන සහභාගීත්වය පිළිබඳ අත්දැකීම් අධ්‍යයනය කිරීමේ අරමුණින් අධ්‍යයන චාරිකාවක් සංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ එක්ව සිටියහ.
2026-08-03
කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් මෑතකදී රැස් වූ අවස්ථාවේදී මේ බව පැවසීය.ජනාධිපති කාර්ය සාධක බලකායක් විසින් 2021 වර්ෂයේදී නිකුත් කරන ලද කාර්ය සංග්‍රහයක් ද ඇතුළත් කරමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි වැනි ඛනිජ සම්පත් සඳහා අය කෙරෙන ගාස්තු නියාමනය කර ඒකාකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.ඒ අනුව, අදාළ සියලු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර විවිධ ගාස්තු ඒකාබද්ධ කර පොදු ඒකාකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා වී තිබේ. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් නොවන පොදු ගාස්තු ක්‍රමයක් සකස් කර එය ජනතාවට විවෘතව ප්‍රකාශයට පත් කිරීමට ද අපේක්ෂා කෙරේ.මෙම ඒකාකාරී ගාස්තු ක්‍රමය 2026 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර, බලපත්‍ර ලබාගන්නා පුද්ගලයාට විවිධ ආයතන වෙත වෙන වෙනම ගාස්තු ගෙවීම වෙනුවට එක් ස්ථානයකදී සියලු ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වාදීම මෙහි අරමුණයි. එමඟින් අදාළ ආයතන අතර ගාස්තු බෙදාහැරීමේ ක්‍රියාවලිය ද විධිමත් කිරීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන ගාස්තු ඇතුළු ඇතැම් ගාස්තු මධ්‍යම රජය හරහා ඒකාබද්ධව අය කළ හැකිද යන්න සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන සීමාවන් පිළිබඳව ද අවධානය යොමු කරමින් අදාළ ක්‍රමවේදය තවදුරටත් සමාලෝචනය කිරීමට නියමිත බව ද මෙහිදී සඳහන් විය. තවද, කාර්මික අංශයේ නියැලෙන්නන් මුහුණ දෙන විවිධ ගැටළු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරු සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.
2026-08-03
අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වත්මන් නිර්ණායක සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට ක්‍රියාත්මක වන තේරීම් නිර්ණායකවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමේ අරමුණින් එම නිර්ණායක සමාලෝචනය කරන ලෙස කාරක සභාව මීට පෙර උපදෙස් ලබා දී තිබිණි.ඒ අනුව පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇති නව ක්‍රමවේදයට අදාළ නියමු අධ්‍යයනය (Pilot Study) සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක වෙනුවට, සමාජ-ආර්ථික අවදානම් තත්ත්වයන් පදනම් කරගත් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එම යෝජිත නව ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක නියමු අධ්‍යයනයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.මෙම නව ක්‍රමවේදය යටතේ එක් පවුලක රැකියා හා ජීවනෝපාය සුරක්ෂිතභාවය, පවුල් සංයුතිය, වයස්ගතභාවය, ආබාධිතභාවය, දිගුකාලීන රෝගී තත්ත්වයන්, නිවාස සහ මූලික සේවා සඳහා ප්‍රවේශය මෙන්ම ණය බර ඇතුළු සමාජ-ආර්ථික අවදානම් සාධක සලකා බැලීමට යෝජනා කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.යෝජිත නව ක්‍රමවේදය සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව නියමු අධ්‍යයනය ක්‍රියාත්මක කිරීම සඳහා කාරක සභාවේ අනුමැතිය ලබා දෙන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, එරංග වීරරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය නන්දන මිල්ලගල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි, චතුර ගලප්පත්ති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks