logo

E   |     |  

2026-07-31

පුවත් කාණ්ඩ : පුවත් 

දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ද ප්‍රකාශයට පත් කෙරේ

දේශීය සහල් සඳහා රජය විසින් නියම කර ඇති නව පාලන මිල ගණන් අනුව,  සහල් වර්ග කිහිපයක උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, දේශීය සුදු / රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 215/- ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 220/- කි. වාෂ්පයෙන් තැම්බූ දේශීය සුදු /රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 225/- ක උපරිම තොග මිලක් සහ රුපියල් 230/- ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. එමෙන්ම, වාෂ්පයෙන් තැම්බූ දේශීය සම්බා (සුදු හෝ රතු) සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 235/- ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 240/- ක් ලෙස දැක්වේ. මීට අමතරව, දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 255/- ක උපරිම තොග මිලක් සහ රුපියල් 260/- ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා  විසින් ඉදිරිපත් කරන ලද  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  පසුගියදා  (23) ලබා  දුන්  පිළිතුරෙන් මේ බැව්  අනාවරණය විය.

ආනයනික සහල් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 210කට, නාඩු සහල් රුපියල් 220කට, සම්බා සහල් රුපියල් 230කට, පොන්නි සම්බා (GR 11) රුපියල් 240කට සහ කීරි පොන්නි හෝ පාල් පොන්නි (GR 11) රුපියල් 255කට අලෙවි කළ යුතුය. උත්සව සමයේ පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ප්‍රකාශ විණි. 

වර්තමානයේ ආනයනික පොන්නි සම්බා (GR 11) කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 220ක් වන අතර, කීරි පොන්නි හෝ පාල් පොන්නි (GR 11) තොග මිල රුපියල් 250 සිට 252 දක්වා පවතින බව ද වාර්තා වේ.

ගරු අමාත්‍යවරයාගේ සවිස්තරාත්මක පිළිතුරට  අනුව, වී අලෙවි මණ්ඩලය සතු වී තොග සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත ලබාදී සහල් බවට පත් කිරීමෙන් අනතුරුව, සීමාසහිත ලංකා සතොස මඟින් වෙළෙඳපොළට නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. සතොස ආයතනය සතිපතා ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සහල් මිලදී ගෙන, පවතින උපරිම සිල්ලර මිල සැලකිල්ලට ගනිමින් සාධාරණ සහ තරඟකාරී මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරන බව ද සඳහන් වේ.

සහල්, අර්තාපල්, ලොකු ළූණු, පරිප්පු, සීනි සහ තිරිඟු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි රට තුළ ප්‍රමාණවත් තොග වශයෙන් ගබඩා කර ඇත.  තිරිඟු  පිටි සහ පරිප්පු සම්පූර්ණයෙන්ම ආනයනය මත රඳා පවතින අතර, අර්තාපල්, සීනි සහ ළූණු වැනි භාණ්ඩ දේශීය සහ ආනයනික නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට සැපයෙන බව ද සඳහන් වේ. රට තුළ හිඟයක් ඇති වන විශේෂ අවස්ථාවලදී පමණක් රජය සහ පෞද්ගලික අංශය මඟින් සහල් ආනයනය සිදු කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහොමයක් ද්‍රව්‍ය පෞද්ගලික අංශය විසින් ආනයනය කර අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළ හිඟයක් හෝ අසාමාන්‍ය මිල ඉහළ යාමක් හෝ පවතින අවස්ථාවල දී ඒ සඳහා රජය මැදිහත් වීම සිදු කරන අතර, රජයේ ආනයනික ආයතනය වන රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙයි.

එසේම, යම් භාණ්ඩයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපරිම සිල්ලර මිල නියම කිරීමේ බලතල පවතියි. උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සිදුකර අධිකරණය හරහා දඩ නියම කිරීමට හැකියාව පවතියි. මිල පාලනයට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන්, වැටලීම් වැනි  ක්‍රියාමාර්ග මඟින් වෙළෙඳපොළේ සාධාරණ මිල පවත්වාගෙන යාම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව මැදිහත් වන බව ද වැඩිදුරටත් සඳහන් වේ.




සම්බන්ධිත පුවත්

2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


2026-08-20

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks