logo

01

E   |     |  

2026-08-03

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

බොරළු සහ කළුගල් ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහයක්

කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් මෑතකදී රැස් වූ අවස්ථාවේදී මේ බව පැවසීය.

ජනාධිපති කාර්ය සාධක බලකායක් විසින් 2021 වර්ෂයේදී නිකුත් කරන ලද කාර්ය සංග්‍රහයක් ද ඇතුළත් කරමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි වැනි ඛනිජ සම්පත් සඳහා අය කෙරෙන ගාස්තු නියාමනය කර ඒකාකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, අදාළ සියලු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර විවිධ ගාස්තු ඒකාබද්ධ කර පොදු ඒකාකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා වී තිබේ. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් නොවන පොදු ගාස්තු ක්‍රමයක් සකස් කර එය ජනතාවට විවෘතව ප්‍රකාශයට පත් කිරීමට ද අපේක්ෂා කෙරේ.

මෙම ඒකාකාරී ගාස්තු ක්‍රමය 2026 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර, බලපත්‍ර ලබාගන්නා පුද්ගලයාට විවිධ ආයතන වෙත වෙන වෙනම ගාස්තු ගෙවීම වෙනුවට එක් ස්ථානයකදී සියලු ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වාදීම මෙහි අරමුණයි. එමඟින් අදාළ ආයතන අතර ගාස්තු බෙදාහැරීමේ ක්‍රියාවලිය ද විධිමත් කිරීමට හැකි  බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන ගාස්තු ඇතුළු ඇතැම් ගාස්තු මධ්‍යම රජය හරහා ඒකාබද්ධව අය කළ හැකිද යන්න සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන සීමාවන් පිළිබඳව ද අවධානය යොමු කරමින් අදාළ ක්‍රමවේදය තවදුරටත් සමාලෝචනය කිරීමට නියමිත බව ද මෙහිදී සඳහන් විය. තවද, කාර්මික අංශයේ නියැලෙන්නන් මුහුණ දෙන විවිධ ගැටළු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරු සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  සහභාගි වූහ. 



සම්බන්ධිත පුවත්

2026-08-03

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් තරුණ ප්‍රජාව සඳහා වැඩමුළු 03 ක්

තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු තුනක් සංවිධානය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය  එහි සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය .ඒ අනුව, පළමු වැඩමුළුව 2026 අගෝස්තු 08 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේදී ද , දෙවන වැඩමුළුව අගෝස්තු 29 වැනිදා නැගෙනහිර පළාතේදී ද තෙවන වැඩමුළුව සැප්තැම්බර් 05 වැනිදා මහනුවරදී ද පැවැත්වීමට සංසදය එකඟ විය. මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.එසේම, සංසදයේ සාමාජිකයන් සඳහා ඉන්දියාවේ විවෘත පාර්ලිමේන්තු භාවිතයන් සහ මහජන සහභාගීත්වය පිළිබඳ අත්දැකීම් අධ්‍යයනය කිරීමේ අරමුණින් අධ්‍යයන චාරිකාවක් සංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ  එක්ව සිටියහ.


2026-08-03

අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක සමාලෝචනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය

අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වත්මන් නිර්ණායක සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට ක්‍රියාත්මක වන තේරීම් නිර්ණායකවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමේ අරමුණින් එම නිර්ණායක සමාලෝචනය කරන ලෙස කාරක සභාව මීට පෙර උපදෙස් ලබා දී තිබිණි.ඒ අනුව පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇති නව ක්‍රමවේදයට අදාළ නියමු අධ්‍යයනය (Pilot Study) සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක වෙනුවට, සමාජ-ආර්ථික අවදානම් තත්ත්වයන් පදනම් කරගත් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එම යෝජිත නව ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක නියමු අධ්‍යයනයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.මෙම නව ක්‍රමවේදය යටතේ එක් පවුලක රැකියා හා ජීවනෝපාය සුරක්ෂිතභාවය, පවුල් සංයුතිය, වයස්ගතභාවය, ආබාධිතභාවය, දිගුකාලීන රෝගී තත්ත්වයන්, නිවාස සහ මූලික සේවා සඳහා ප්‍රවේශය මෙන්ම ණය බර ඇතුළු සමාජ-ආර්ථික අවදානම් සාධක සලකා බැලීමට යෝජනා කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.යෝජිත නව ක්‍රමවේදය සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව නියමු අධ්‍යයනය ක්‍රියාත්මක කිරීම සඳහා කාරක සභාවේ අනුමැතිය ලබා දෙන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, එරංග වීරරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය නන්දන මිල්ලගල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි, චතුර ගලප්පත්ති යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ. 


2026-08-03

බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙරට බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරිම, බන්ධනාගාර ආශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරිම, නව නීතිමය සංශෝධන හඳුන්වා දීම, යටිතල පහසුකම් පුළුල් කිරීම , නඩු කටයුතු කඩිනම් කිරීම සහ ප්‍රජා විශෝධනය ප්‍රවර්ධනය කිරීම වැනි රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රධාන පියවරයන් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එහිදී විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත (Poisons, Opium and Dangerous Drugs Ordinance, - No. 17 of 1929) සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය කාරක සභාවේදී මතුවිය. මත් ද්‍රව්‍ය වෙළෙන්ඳන් (Drug Peddlers) සහ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වන්නන් අතර වෙනස පැහැදිලිව හඳුනා ගැනීම පිළිබඳව ද අදහස් පළ කෙරිණි. එමෙන්ම චෝදනාවලට ලක් වන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියක තැබීම (House Arrest) සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරිහු පෙන්වා දුන්හ. ඇප ලබාදීමේ ක්‍රමවේද කාර්යක්ෂම කිරීම, නඩු විභාග ප්‍රමාදයන් අවම කිරීම, සුළු වැරදි සඳහා බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම භාවිතය දිරිමත් කිරීම, බන්ධනාගාර කළමනාකරණය නවීකරණය කිරීම, නිලධාරීන් බඳවා ගැනීම සහ මානව සම්පත් හිඟය පියවීම, ආරක්ෂක සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සහ අනෙකුත් සුළු අපරාධ සඳහා සිරදඬුවම් වෙනුවට ප්‍රජා සේවය, වැනි විකල්ප ක්‍රම සලකා බැලීම ආදී කරුණු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.මෙරට බන්ධාගාරගතව සිටින කාන්තා රැඳවියන් සහ ඔවුන් සමග සිටින වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳව ද මෙහිදී කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, උක්ත දරුවන් වසර 5න් පසු පරිවාස ගත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.  එයට අමතරව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනයට සහ ප්‍රජා විශෝධනයට යොමු කිරීම මෙන්ම ඇප ගෙවා ගත නොහැකිව බන්ධාගාර ගතව සිටින පුද්ගලයන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.උක්ත කරුණ සම්බන්ධයෙන් කාරක සභාවේ අවසන් වාර්තාව සැකසීමට පෙර බන්ධනාගාර නිලධාරින් හමුවී අදහස් ලබා ගැනීමටත්, බන්ධනාගාර කිහිපයකට ගොස් නිරීක්ෂණ සිදු කිරීමටත් කාරක සභාව එකඟ විය. මෙම කාරක සභා රැස්වීමට කාරක සභාවේ ගරු සාමාජික මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර සහ සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන කේ. සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ හසාරා ලියනගේ යන මහත්ම මහත්මිහු සහභාගී වූහ. එමෙන්ම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


2026-07-31

2027 වන විට පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු හඳුනාගත් ආයතන කිහිපයක් ඒකාබද්ධ කර හස්ත කර්මාන්ත අධිකාරියක් පිහිටුවීමට සැළසුම්

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (National Design Centre) සහ ලක්සල ඒකාබද්ධ කර 2027 වන විට “ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.මෙම හරහා සාම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන Fashion, Design සහ තාක්ෂණික ක්ෂේත්‍ර සමඟ ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.2021–2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපතිගේ ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව සහ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පදනම් කරගනිමින් එහි ප්‍රගතිය, අභියෝග සහ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ එම රැස්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.පේෂකර්ම ක්ෂේත්‍රය සංස්කෘතික උරුමයක් ලෙස පමණක් නොව, නවීන නිර්මාණකරණය, තාක්ෂණය සහ වෙළඳපොළ අවශ්‍යතා සමඟ සම්බන්ධ වූ ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.එමෙන්ම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා උසස් අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු අවස්ථා පුළුල් කරමින් තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ.දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය, අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන්ගේ පුරප්පාඩු, පළාත් මට්ටමින් පේෂකර්ම උපදේශකවරුන් බඳවා ගැනීම නතර වී තිබීම සහ ඒ හේතුවෙන් පුහුණු වැඩසටහන්වලට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.2021 සිට 2025 දක්වා කාලය තුළ පුහුණු පාඨමාලා සඳහා සිසුන් 720 දෙනෙකු ඇතුළත් වී ඇති අතර, ඉන් 456 දෙනෙකු පමණක් පාඨමාලා සාර්ථකව අවසන් කර ඇති බව අනාවරණය විය. ඒ අනුව පාඨමාලා අතරමග හැරයාමේ ප්‍රතිශතය 40% ඉක්මවා ඇති බවත්, ඇතැම් අවස්ථාවල එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 11 දක්වා මුදලක් වැය කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.තවද, කොවිඩ් සමයේ මිලදී ගත් පේෂකර්ම යන්ත්‍ර භාවිතයට නොගෙන පැවතීම, කටුබැද්ද පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් ලෙස උපයෝගී කර නොගැනීම සහ දෙපාර්තමේන්තුව සතු සංචාරක නිවාස ආදායම් උත්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස යොදා නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලිනි.කාරක සභාව අවධාරණය කළේ පේෂ කර්මාන්තය සංස්කෘතික උරුමය ආරක්ෂා කරගනිමින් නවීන තාක්ෂණය, නිර්මාණකරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ බද්ධ වූ තරඟකාරී කර්මාන්තයක් බවට පත් කළ යුතු බවයි. ඒ සඳහා රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නියමිත කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, රුවන්තිලක ජයකොඩි, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, අජන්ත ගම්මැද්දෙගේ, චන්දන සූරියආරච්චි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks