logo

E   |     |  

2026-07-30

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත ය.

එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය.

අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අගෝස්තු 05 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අගෝස්තු 04 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිගේ වැටුප නිශ්චය කිරීම, පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.  

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇත. 

අගෝස්තු 05 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.  පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ඔස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත. 

අගෝස්තු 06 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ (මෙම පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභායෝගයට ලක් නොවුවහොත්) දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. 

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  ඇත.

අගෝස්තු 07 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නම
කන්දසාමි ප්‍රභූ මහතාකිරි නිෂ්පාදන අංශයෙන් ස්වයංපෝෂිත්වය ප්‍රවර්ධනය කිරීම
හෙක්ටර් අප්පුහාමි මහතාකඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට වැඩසටහනක් සකස් කිරීම
එම්.එස්. උදුමාලෙබ්බේ මහතාමඩකලපුව සිට පොතුවිල් දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම
ඉම්රාන් මහරූෆ් මහතාකොරෝනා වසංගතය පැවති කාලය තුළ, ඒකපාර්ශ්විකව හා බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම
දයාසිරි ජයසේකර මහතාරසායන ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
සුසන්ත කුමාර නවරත්න මහතාශ්‍රී ලංකාවේ වන සතුන් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කිරීම
ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාසංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා වෙන් වූ විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීම


ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  ඇත.




සම්බන්ධිත පුවත්

2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


2026-08-20

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks