පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-07-24
පුවත් කාණ්ඩ : පුවත්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා විවාදය ගැණිනි. අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ද විපක්ෂව ඡන්ද 152ක් හිමිවූ අතර, මේ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වන දින ගරු කථානායකවරයා වෙත භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව මෙසේ අද දින විවාදයට ගැනීම සිදුවිය.
2026-07-24
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය නිමා කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චී ජෙන්හොං (H.E. Qi Zhenhong) මහතා, 2026.07.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.තානාපතිවරයා පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය තුළ කැපවීමෙන් ඉටු කළ සේවාව වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළේය. එතුමාගේ සේවාව ශ්‍රී ලංකාව හා චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇති බව ද කථානායකවරයා සඳහන් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා තානාපතිවරයා දැක්වූ කැපවීම අගය කළ ගරු කථානායකවරයා, ඔහුගේ සේවාව ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින නොබිඳෙන මිත්‍රත්වයේ සංකේතයක් බවද පැවසීය.තවද, ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා චීන රජය සහ චීන ජනතාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. තානාපති චී ජෙන්හොං මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරන්තරයෙන් දැක්වූ මිත්‍රශීලීත්වය සහ සහයෝගය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ඇතුළු සමාජයේ සෑම ස්ථරයකම ජනතාවගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ බවද එතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් තානාපතිවරයාගේ වටිනා සේවාව සහ ශ්‍රී ලංකා–චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කළ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර පවතින සමීප සබඳතා ඉදිරියටත් වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළේය.එමෙන්ම, රජය ක්‍රියාත්මක කරමින් සිටින ජාතික සංහිදියා වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළ අතර, ජාතිවාදයට හෝ කිසිදු ආකාරයක වෙනස් කොට සැලකීමකට ඉඩ නොතබමින්, සියලු පුරවැසියන්ට සමානාත්මතාව, ගෞරවය සහ අභිමානය හිමිවන සමාජයක් ගොඩනැගීම සඳහා රජය කැපවී සිටින බවද අවධාරණය කළේය.ගරු කථානායකවරයාට සිය කෘතඥතාව පළ කළ තානාපති චී ජෙන්හොං මහතා, තම ධුර කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ගරු කථානායකතුමා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කළේය. චීනය ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බව යළිත් අවධාරණය කළ එතුමා, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය. තවද, ශ්‍රී ලාංකික ජනතාව තමා වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම, කරුණාව සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පළ කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සැමවිටම තම "දෙවැනි නිවහන" ලෙස හැගුණ බවද සඳහන් කළේය.මෙම සුහද හමුවේදී, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය සහ වර්ධනය වෙමින් පවතින විද්‍යුත් වාහන (EV) වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සිදුවිය. තවද, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදෙන ලෙස ද ගරු කථානායකවරයා ඉල්ලීමක් කළේය.හමුවෙන් අනතුරුව, ගරු කථානායකවරයා විසින් තානාපති චී ජෙන්හොං මහතාට දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව, තානාපතිවරයා සහ එතුමාගේ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී, මූලාසනය හෙබවූ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තානාපති චී ජෙන්හොං මහතා සහ එතුමාගේ දූත පිරිසගේ පැමිණීම සභාවට නිල වශයෙන් දැනුම් දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, තානාපතිවරයාගේ ආර්යාව වන ජින් ක්වින් (Madam Jin Quin) මහත්මිය, චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක සහ නියෝජ්‍ය ප්‍රධානී ෂු යැන්වෙයි (Mr. Zhu Yanwei) මහතා සහ දෙවැනි ලේකම් ෂැං ලුටින් (Ms. Zhang Luting) මහත්මිය ද මෙම හමුවට එක්ව සිටියහ.
2026-07-23
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව ඇරඹුණු , විශේෂ මහජන සේවා වැඩසටහන් මාලාවෙහි තවත් පියවරක් පසුගියදා එනම් 2026 ජූලි 22 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නීතිවේදී විද්‍යාර්ථීන් 250 කට අධික කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම් නිරීක්ෂණය කළහ. මීට අමතරව, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම සම්බන්ධව මහජන සේවා අංශය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධව නව දැනුම හුවමාරු කරගැනීමටද මෙම විද්‍යාර්ථීන්ට අවස්ථාව සැලසිණ. එම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා කාර්යාලය හරහා සංවිධානය කෙරුණේ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගෙන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨාධිපති ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.
2026-07-22
පරිපූර්ණ මනුෂ්‍යත්වයක් කරා ගමන් කිරීමට නම් තමන් පිළිබඳවත්, අනෙකා පිළිබඳවත් සහ ස්වභාව ධර්මය පිළිබඳවත් තීරණ ගැනීමේදී බුද්ධිය පමණක් නොව හදවතත් අවදිව තිබිය යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවාය. 'මම' යන සංකල්පයට වඩා 'අපි' යන සංකල්පය තුළ සහයෝගිතාව, ආදරය, කරුණාව සහ සහකම්පනය පවතින බව ද ඇය පෙන්වා දුන්නාය.කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබාදීමයි.වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය සඳහන් කළේ, අධ්‍යාපනය මඟින් දරුවන්ට සමාජය සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමේ හැකියාව, වටිනාකම් හඳුනා ගැනීම සහ වගකීම් සහිත පුරවැසියන් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය නිපුණතා ලබාදිය යුතු බවයි. බර්ට්‍රම් රසල්ගේ අදහස් උපුටා දක්වමින්, මිනිසාගේ පරිපූර්ණත්වය සඳහා තමන් සමඟ, අනෙකා සමඟ සහ ස්වභාව ධර්මය සමඟ ඇති සම්බන්ධතා යහපත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.මෙම සම්බන්ධතා බිඳවැටීමෙන් පුද්ගලයා තුළ ආත්ම විශ්වාසය පිරිහීම, සමාජය තුළ අවිශ්වාසය, වෛරය සහ ගැටුම් වර්ධනය වීම මෙන්ම පරිසර විනාශය හා දේශගුණික අර්බුද උග්‍ර වීම වැනි ප්‍රතිවිපාක ඇතිවන බව ද ඇය පෙන්වා දුන්නාය.එමෙන්ම, රටේ ජනගහනයෙන් සහ ඡන්දදායකයන්ගෙන් බහුතරය කාන්තාවන් වන බැවින්, පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව වෙත නායකත්වය සඳහා ඉදිරිපත් වීමට ශිෂ්‍යාවන් සූදානම් විය යුතු බවත්, ශිෂ්‍ය පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රායෝගිකව අත්විඳීමට ලැබෙන වැදගත් අවස්ථාවක් බවත් ඇය සඳහන් කළාය.මෙහිදී "අනාගත නායකත්වය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව" යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, පාර්ලිමේන්තුවේ කාර්යභාරය, නීති සම්පාදන ක්‍රියාවලිය, කාරක සභා, පාර්ලිමේන්තු සංසද, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ මහජන සහභාගිත්වය ඇතුළු කරුණු පිළිබඳ සවිස්තරාත්මක දේශනයක් පැවැත්වුවාය.ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා ජනාධිපති අරමුදල මඟින් සිසුන් සහ මහජනතාව සඳහා සපයන සේවාවන් පිළිබඳ දැනුවත් කළ අතර, අධ්‍යාපනික අවශ්‍යතා ඇතුළු විවිධ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබාගත හැකි බව සඳහන් කළේය.වැඩසටහනේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය තෝරා පත් කර ගැනීම, මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සහ ශිෂ්‍ය අමාත්‍යවරුන් විසින් පාසලේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීම සිදු විය. අනතුරුව සහභාගි වූ ශිෂ්‍යාවන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබූ අතර, විදුහල්පතිනි එම්. එල්. එන්. එම්. දමයන්ති මහත්මියගේ ස්තුති කතාවෙන් වැඩසටහන නිමාවට පත් විය.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කෙරුණු අතර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-07-21
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සහ එය ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹ – 10, අල් හිදායා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අල් හිදායා විද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව, විද්‍යාලයේ විදුහල්පතිනි ඒ.එෆ්. සරූක් මහත්මිය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුස්තකාලයාධිපති එස්.එල්. සියාද් අහමඩ් මහතා විසින් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිසුන් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.එමෙන්ම, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නිලධාරී ඒ.එස්.එම්. යස්රි මහතා විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි ක්‍රියාකාරිත්වය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික උදාහරණ සහිතව සිසුන් දැනුවත් කරන ලදී.මෙම වැඩමුළුව සඳහා ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඔවුන්ට පැවති ගැටලු හා සැකසංකා පිළිබඳව ද මෙහිදී පැහැදිලි කර ගැනීමට අවස්ථාව හිමි විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks