logo

E   |     |  

2026-07-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.

වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.
අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.

අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.

නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.

එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.
ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.



සම්බන්ධිත පුවත්

2026-08-18

අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල  පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පත් කිරීම, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස එස්.ඒ.එම්. පීරිස් මහතාගේ පත් කිරීම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස එච්.එම්.පී. රත්නායක මහතා පත් කිරීම සහ  ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය ලෙස (ආචාර්ය)  ඩබ්ලිව්.එම්.වී. වනසිංහ මහත්මිය පත් කිරීම  කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට, ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර ජයකොඩි සහ නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරු ද  සහභාගී වූහ.


2026-08-18

ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා “Voice to Policy” සංවාදයේදී සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ට

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 16) මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්විණි. තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල, එස්. එම්. මරික්කාර්, විශ්‍රාමික ලුතිනන් කමාණ්ඩර් එන්. ආර්. ප්‍රගීත් මධුරංග, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, දේශපාලන සහභාගීත්වය, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා පවතින අවස්ථා හා තොරතුරු වෙත ප්‍රවේශය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේය. වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, වැඩසටහනේදී මතු වූ නිර්දේශ සහ යෝජනා ලේඛනගත කර විවෘත පාර්ලිමේන්තු සංසදය වෙත ඉදිරිපත් කිරීම සඳහා තරුණ වාර්තාකරුවන් (Youth Rapporteur) පත් කිරීම ද මෙහිදී සිදු විය.මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය. 


2026-08-14

එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍යයි - ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරේ

එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.ගරු විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ  උපාය මාර්ගික රාමුවක් (Strategic Climate Resilience Framework) යෝජනා කර ඇත.වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය. සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා Differential Pricing ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින්  සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය.


2026-08-13

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ   යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට  දැනුම් දෙන ලදී.මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ '301 වගන්තිය' (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද  අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට  තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ  නිලධාරීහු පැහැදිලි කළහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks