logo

බලන්න

02

E   |     |  

2026-07-20

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන්  අයැදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇත. 

ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට  නිර්දේශ කිරීම ’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 ජුලි 31 දින හෝ එදිනට පෙර,යොමුකළ යුතුය.

අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව -  කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.



සම්බන්ධිත පුවත්

2026-07-21

ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 21) සිය සහතිකය සටහන් කළේය.1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත් මඟින් පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද, වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන පනත හඳුන්වා දෙන ලදී.මෙම පනත මඟින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යාන්ත්‍රණ නවීකරණය කිරීම අරමුණු කර ඇත.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.


2026-07-20

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ඉල්ලීමකට අනුව, ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් සඳහා වූ සිව්දින ධාරිතා සංවර්ධන වැඩසටහන (Capacity Building Programme) මේ මස 13 සිට 17 දක්වා නවදිල්ලියේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සාර්ථකව පැවැත්විණි. මෙම ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා එක් විය.මෙම වැඩසටහනේදී ඉන්දීය පාර්ලිමේන්තුවේ සංවිධාන ව්‍යුහය, පරිපාලන ක්‍රමවේද සහ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා සහ සුබසාධන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද දැනුම හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාව හිමි විය.එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලයේ බලතල සහ කාර්යයන්, කාරක සභාවල කාර්යභාරය, කාරක සභා ලේකම් කාර්යාලවල කළමනාකරණය, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ඉන්දීය පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු සම්බන්ධ ස්ථාවර කාරක සභා පද්ධතිය, කථානායකවරයා ඇතුළු සභාපති මණ්ඩලයේ බලතල හා වගකීම් මෙන්ම පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ අයවැය සැකසීම ඇතුළු විෂයයන් පිළිබඳව විශේෂඥ දේශන සහ සාකච්ඡා පැවැත්විණි. තවද “Sansad TV” නාලිකාවේ වැඩසටහන් සකස්කිරීම සහ ලෝක් සභා සහ රාජ්‍ය සභා රැස්වීම් එම නාලිකාව විසින් ආවරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලබාදීමද මෙම වැඩසටහනේදී සිදු විය. ඊට අමතරව, ඉන්දීය පාර්ලිමේන්තු පුස්තකාලය, ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ (Lok Sabha, Rajya Sabha) සභා ගර්භ, ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ස්ථාන නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාව හිමි විය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා සහ ඉන්දියානු පාර්ලිමේන්තු අතර ආයතනික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් ලෙසද සැලකේ. 


2026-07-20

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු  පිරවීමට නිර්දේශ  කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන්  අයැදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 ජුලි  31 දින හෝ එදිනට පෙර, යොමුකළ යුතුය.අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව -  කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන්  ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.


2026-07-16

අසාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල්වල වෙළඳුන් වැටලීම සඳහා විමර්ශන නිලධාරීන් 272 ක් දිවයින පුරා

සාධාරණ පදනමකින් තොරව තමන්ට රිසි පරිදි මිල තීරණය කරන වෙළඳසැල්වල වෙළඳුන් වැටලීම සඳහා විමර්ශන  නිලධාරීන් 272 දෙනෙකු  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා  යොදවා ඇති බව අනාවරණය වෙයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය  යටතේ  මෙම විමර්ශන  නිලධාරීන්  තම මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත. පාරිභෝගික ජනතාව අසාධාරණයට ලක් කරන වෙළඳසැල්වල වෙළඳුන්ට එරෙහිව   පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිරන්තරයෙන් නීතිමය පියවර ගනිමින් සිටී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා විසින්  ඉදිරිපත් කරන ලද  ප්‍රශ්නවලට වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්‍ය අමාත්‍ය  ආර්.එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ලබා  දුන්  පිළිතුරෙන් මේ බැව් කියැවිණි.නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරු කථාවට අනුව, අසාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම පාලනය කිරීමට අධිකාරිය සතුව වැඩපිළිවෙළක් පවතියි. පාලන මිලට භාණ්ඩ සුළු ප්‍රමාණයක් ඇත. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම දඩයකට යටත් වන අතර  මේ දක්වා විශාල දඩ මුදලක් අය කරගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දෛනිකව සහ විශේෂ උත්සව සමයන්හිදී දිවයින පුරා වෙළඳපොළ වැටලීම් සහ පරීක්ෂාවන් සිදු කරනු ලබයි. මීට අමතරව, පාලන මිලක් නියම කර ඇති භාණ්ඩ සඳහා එම මිල ගණන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමට ද  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks