පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-07-14
පුවත් කාණ්ඩ : පුවත්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අපේක්ෂාවෙන් බලා සිටි අන්තර්-දෙපාර්තමේන්තු ක්‍රිකට් තරගාවලිය වන "2026 පාර්ලිමේන්තු ප්‍රිමියර් ලීග්" තරගාවලිය පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය විසින් කටයුතු සූදානම් කර ඇත.
මෙම වාර්ෂික තරගාවලිය 2026 ජූලි 25 වන සෙනසුරාදා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කර ඇති මෙම තරගාවලිය, විවිධ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු සහ අනෙකුත් අනුබද්ධ දෙපාර්තමේන්තු අතර ක්‍රීඩාශීලිත්වය සහ සුහදත්වය පිරි උද්වේගකර දිනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උත්කර්ෂවත් සමාප්ති උළෙලක් සමඟින් තරගාවලිය සවස් කාලයේ දී නිමාවට පත්වීමට නියමිතය. මෙම වර්ණවත් අවස්ථාව සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කිරීම, ගෞරවනීය අමුත්තා වන පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ පස්වරු 5:30 ට ආරම්භ වේ.
මෙම උළෙලට සහභාගී වන ලෙසත් එය නැරඹීමට පැමිණෙන ලෙසත් සංවිධායකයින් විසින් කාර්ය මණ්ඩලයේ සහෘදයින්ට සහ විශේෂ ආරාධිතයින්ට ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටී.
2026-07-14
ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. 2026.07.10 දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. ඒ අනුව, ජූලි 21 අඟහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී ඇත.විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022.05.01 සිට 2023.09.15 දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025.10.24 වන දින සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අදාළ තීරණය මෙසේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. තවද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කාරක සභා රැස්වීම්වලදී සිදු කරන ලද විමර්ශනවලට අදාළව සභාගත කරන ලද වාර්තා මගින් හඳුනාගත් සිද්ධි පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ගත් තීරණය ද මෙසේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. (මෙම තීරණ දෙක 2026.07.10 දිනැති අංක 164 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක *87 සහ *88 වශයෙන් ඇතුළත් කර ඇත.)අනතුරුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැඩ කටයුතු සහ කාර්ය සාධනය පිළිබඳව කාරක සභා සභාපතිවරයා විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.ජූලි 22 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පනහක් සඳහා වෙන් කිරීමට තීරණය කර ඇති අතර ප.ව. 4.30 සිට ප.ව. 5.00 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.ජූලි 23 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ඉන්පසු පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2493/03 සහ 2493/39 දරන අති විශේෂ ගැසට්පත්රවල පළ කරන ලද රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද තීරණය වී ඇත.ජූලි 24 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමකන්දසාමි ප්‍රභු මහතාකිරි නිෂ්පාදන අංශයෙන් ස්වයංපෝෂිත බව ප්‍රවර්ධනය කිරීමහෙක්ටර් අප්පුහාමි මහතාකඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට වැඩසටහනක් සකස් කිරීමඑම්.එස්. උදුමාලෙබ්බේ මහතාමඩකලපුව සිට පොතුවිල් දක්වා හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීමඉම්රාන් මහරූෆ් මහතාකොරෝනා වසංගතය පැවති කාලය තුළ, ඒකපාර්ශ්විකව හා බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීමනීතිඥ දයාසිරි ජයසේකර මහතාරසායන ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමසුසන්ත කුමාර නවරත්න මහතාශ්‍රී ලංකාවේ වන සතුන් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාසංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා වෙන් වූ විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීමඅනතුරුව ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-07-10
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂඨාධිකරණ නියෝගයට අනුව ( 14 වැනි වගන්තියට) විශේෂ බහුතරයකින් ද , මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද (ජූලි 09) සම්මත විය.මෙම පනත් කෙටුම්පත් මඟින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් ශක්තිමත් කිරීම, මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ නියාමන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා කෙරේ.
2026-07-08
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.මෙහිදී ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ලේකම්වරයා ලෙසත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සාමිවෙල් මෙනවිය භාණ්ඩාගාරිකවරිය ලෙසත් තේරී පත් වූහ.පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් යාන්ත්‍රණයක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමටත් වටිනා වේදිකාවක් බවත් රැස්වීම අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතාව, අන්‍යෝන්‍ය ගෞරවය, මිත්‍රත්වය සහ සහයෝගීතාව මත ගොඩනැගී ඇති බව සඳහන් කළ ගරු කථානායකවරයා, මෙම මිත්‍රත්ව සංගමය දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා අවස්ථා විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව පැවසීය.මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද අදහස් දක්වමින් දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද සඳහන් කළේය. එසේම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා අතර කථානායකවරයාගේ නිල කාර්යාලයේදී සුහද හමුවක් ද පැවැත්වුණු අතර, එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගනු ලැබීය.මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
2026-07-07
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ මෙම සුහද හමුවේදී ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු ගැනිණි.මෙහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සිය සුබාශිංසන ද එක් කළේය.එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, කථානායකවරයාගේ සුබපැතුම් සඳහා සිය කෘතඥතාව පළ කරමින්, ජාතික ආරක්ෂාව හා සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාවට පැවරී ඇති වගකීම් උපරිම කැපවීමෙන් ඉටු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.ඉන්දියන් සාගර කලාපය තුළ පවතින භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ අනෙකුත් රටවල් සමඟ සමබර හා මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව වාණිජමය වශයෙන් බෝට්ටු නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ හරහා රටට ආදායම් උත්පාදනය කිරීම සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ත් සාකච්ඡා කෙරිණි.උතුරු ප්‍රදේශයේ දූපත් ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා රජය සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සමීපව කටයුතු කරන බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks