පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-07-06
පුවත් කාණ්ඩ : පුවත්
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන ලද “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්” පාර්ලිමේන්තු සංකීර්ණයේදී නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, “තැනැත්තන් වෙළඳාම” සහ "මිනිස් ජාවාරම" සම්බන්ධ නව ප්‍රවණතා, නීතිමය, සංවර්ධන සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමත්, නීති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගෙන පැවැත්විණි.
මෙම වැඩසටහන නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂඥ සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ හරිප්‍රිය ජයසුන්දර මහත්මිය සහ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සම්පත් දායකත්වය ලබා දුන්හ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මෙහිදී අදහස් දක්වමින්, තැනැත්තන් වෙළඳාම කාලයත් සමඟ වෙනස් වෙමින්, සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ ජාල සමඟ සම්බන්ධ වෙමින් පවතින කියා සිටියේය.
රැවටිලිකාර විදේශ රැකියා අවස්ථා, වංචනික බඳවා ගැනීම්, සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කරන බඳවා ගැනීම්, බලහත්කාරී ශ්‍රමය, ලිංගික සූරාකෑම් සහ ඇතැම් අවස්ථාවලදී බලහත්කාරී අපරාධ කටයුතු සඳහා යොදා ගැනීම වැනි තත්ත්වයන්, සංවිධානාත්මක ජාතික ප්‍රතික්‍රියාවන් අවශ්‍ය වන්නා වූ ප්‍රධාන ගැටලු බවට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ 2026–2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එය තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, ගොදුරු වූවන් හඳුනාගෙන ආරක්ෂා කිරීම, අපරාධ නීතිමය ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන ප්‍රධාන අංශ හතර මත පදනම් වේ.
තැනැත්තන් වෙළඳාම සම්බන්ධ නව ප්‍රවණතා, විශේෂයෙන් තාක්ෂණය මත පදනම් වූ බඳවාගැනීම්, රැවටිලිකාර සංක්‍රමණ ක්‍රම, ශ්‍රම සූරාකෑම් සහ බලහත්කාරී අපරාධ කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති සම්පත් තුයියකොන්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධකබලකායේ ලේකම් (වැඩබලන) නීතිඥ ප්‍රියංගනී හේවාරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා බුලත්සිංහල, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) පී.එච්. කුමාරසිංහ යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ හා පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-07-07
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ මෙම සුහද හමුවේදී ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු ගැනිණි.මෙහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සිය සුබාශිංසන ද එක් කළේය.එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, කථානායකවරයාගේ සුබපැතුම් සඳහා සිය කෘතඥතාව පළ කරමින්, ජාතික ආරක්ෂාව හා සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාවට පැවරී ඇති වගකීම් උපරිම කැපවීමෙන් ඉටු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.ඉන්දියන් සාගර කලාපය තුළ පවතින භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ අනෙකුත් රටවල් සමඟ සමබර හා මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව වාණිජමය වශයෙන් බෝට්ටු නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ හරහා රටට ආදායම් උත්පාදනය කිරීම සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ත් සාකච්ඡා කෙරිණි.උතුරු ප්‍රදේශයේ දූපත් ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා රජය සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සමීපව කටයුතු කරන බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
2026-07-03
පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත ය.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදින ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය.අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ජූලි 07 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා (188 අධිකාරිය වූ) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ දූෂණ විරෝධි පනත යටතේ අංක 2482/03 සහ 2482/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත.ජූලි 08 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 දක්වා ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 සහ 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව. 3.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.ජූලි 09 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ(සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.ජූලි 10 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර මහතාඉන්ධන පිරිවුම්හල් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමඋපුල් කිත්සිරි මහතාරත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ධාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා“ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදල” නමින් අරමුදලක් ආරම්භ කිරීමනීතීඥ හිරුනි විජේසිංහ මහත්මියපාසැල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තිය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුව ලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) කිරීමරෝහිණි කුමාරි විජේරත්න මහත්මියවිදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීමරුවන්තිලක ජයකොඩි මහතාශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පිහිටි ආපන ශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමරජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතායාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධන කිරීමඅනතුරුව ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-07-02
ජාතික පොසොන් සතිය නිමිති කොටගෙන පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් ඒකාබද්ධව සංවිධානය කළ “දියවන්නා බොදු බැති ගී සරණිය” බැති ගී ප්‍රසංගය පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 30 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩල නියෝජනය කරන සේවක මහත්ම මහත්මීන්ගේ ගයන හා වාදන දායකත්වයෙන් මෙම පොසෙන් බැති ගී සරණිය පැවැත්විණි.මෙම අවස්ථාවට ඒක් වූ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය අදහස් දක්වමින්, ශ්‍රී ලාංකීය සංස්කෘතිය මූලික වශයෙන් බෞද්ධ දර්ශනය මත නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් ශිෂ්ට සම්පන්න මිනිසුන් බවට පත් වීමට බෞද්ධ දර්ශනය මහත් පිටිවහලක් වී ඇති බවත් පැවසුවාය. එමෙන්ම යහපත් මිනිසුන් ගොඩනැගීම සඳහා භෞතික සංවර්ධනය මෙන්ම සිතිවිලි සහ ආකල්ප සංවර්ධනය ද ඉතා වැදගත් බව ද ඒ මහත්මිය කීවාය.පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියත් මෙහිදී අදහස් ප්‍රකාශ කරමින්, මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විවිධ ජාතීන් හා ආගම්වලට අයත් සේවක පිරිස් දායක වූ බවත්, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත මෙම අවස්ථාව සංවිධානය කළ බවත් ඇය සඳහන් කළාය. මෙම වැඩසටහනට විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද, පාර්ලිමේන්තුවට අනුබද්ධිත කාර්යාලවල නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම වැඩසටහනට සමගාමීව පොදු මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සුහද එකමුතුව විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සැලක් ද පැවැත්විණි. පාර්ලිමේන්තුවට යාබද නුගසෙවන පරිශ්‍රයේදී පැවති එය පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. මේ අතර, මෙවර පොසොන් පොහොය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ ධර්ම දේශනයක් පසුගියදා පාර්මේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍යාමෝපාලි වනවාසසී සංඝ සභාවේ කුරුණෑගල මහ දිශාවේ ප්‍රධාන සංඝ නායක, මීගලෑව ශ්‍රී සුබෝධ ආරණ්‍ය සේනාසනාධිපති, විචිත්‍ර ධර්ම කථික, පූජ්‍යපාද රාජාංගනේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනය පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු කාරය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-07-02
රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු කාන්තාවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරියන් හා කාන්තා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තුවේදී පසුගියදා පවත්වන ලදි.ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය සඳහා කාන්තාවන් ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීම මෙන්ම ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ගේ සමාන නියෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ විය.මෙම අවස්ථාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පිළිගැනීමේ දේශනය සිදු කළාය. අනතුරුව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනිය සහ රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය අදහස් දක්වමින් ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලංකාවෙන් බිහි වීම මෙරට කාන්තා නායකත්වය සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් බව පැවසුවාය. එසේම වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන්ද ඇය සිය සතුට පළ කළාය.ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරුන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු විය. එහිදී කාන්තා නායකත්වය, රාජ්‍යතාන්ත්‍රික සේවය, දේශපාලනය සහ රාජ්‍ය පාලනය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, අනාගත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.ආරාධිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක ද නිරත වූ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ නිවේදනයක් ද සිදු කරමින් මෙම කාන්තා තානාපතිවරියන් පිළිගත් අතර පාර්ලිමේන්තු සැසිවාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.මෙම විශේෂ හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks