logo

03

E   |     |  

2026-07-02

පුවත් කාණ්ඩ : පුවත් 

පොසොන් උත්සවය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ “දියවන්නා බොදු බැති ගී සරණිය”, දන්සැල සහ ධර්ම දේශනය

ජාතික පොසොන් සතිය නිමිති කොටගෙන පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් ඒකාබද්ධව සංවිධානය කළ “දියවන්නා බොදු බැති ගී සරණිය” බැති ගී ප්‍රසංගය පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 30 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

 පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩල නියෝජනය කරන සේවක  මහත්ම මහත්මීන්ගේ ගයන හා  වාදන දායකත්වයෙන් මෙම පොසෙන් බැති ගී සරණිය පැවැත්විණි.

මෙම අවස්ථාවට ඒක් වූ  නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය අදහස් දක්වමින්, ශ්‍රී ලාංකීය සංස්කෘතිය මූලික වශයෙන්  බෞද්ධ දර්ශනය මත  නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් ශිෂ්ට සම්පන්න මිනිසුන් බවට පත් වීමට බෞද්ධ දර්ශනය මහත් පිටිවහලක් වී ඇති බවත් පැවසුවාය. එමෙන්ම යහපත් මිනිසුන් ගොඩනැගීම සඳහා භෞතික සංවර්ධනය මෙන්ම සිතිවිලි සහ ආකල්ප සංවර්ධනය ද ඉතා  වැදගත් බව ද ඒ මහත්මිය කීවාය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියත්  මෙහිදී අදහස් ප්‍රකාශ කරමින්,  මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විවිධ ජාතීන් හා ආගම්වලට අයත් සේවක පිරිස් දායක වූ බවත්,  ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත මෙම අවස්ථාව සංවිධානය කළ බවත්  ඇය සඳහන් කළාය. 

මෙම වැඩසටහනට විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා,  සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්වරුන්  මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන්  පිරිසක් ද, පාර්ලිමේන්තුවට අනුබද්ධිත කාර්යාලවල නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. 

මෙම වැඩසටහනට සමගාමීව පොදු මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සුහද එකමුතුව විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සැලක් ද  පැවැත්විණි. පාර්ලිමේන්තුවට යාබද නුගසෙවන පරිශ්‍රයේදී පැවති  එය  පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. 

මේ අතර, මෙවර පොසොන් පොහොය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ ධර්ම දේශනයක් පසුගියදා පාර්මේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍යාමෝපාලි වනවාසසී  සංඝ සභාවේ කුරුණෑගල මහ දිශාවේ ප්‍රධාන සංඝ නායක, මීගලෑව ශ්‍රී සුබෝධ ආරණ්‍ය සේනාසනාධිපති,  විචිත්‍ර ධර්ම කථික,  පූජ්‍යපාද රාජාංගනේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනය පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු කාරය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-07-03

ජූලි 07 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත ය.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදින ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය.අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ජූලි 07 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා (188 අධිකාරිය වූ) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ දූෂණ විරෝධි පනත යටතේ අංක 2482/03 සහ 2482/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත.ජූලි 08 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 සිට  පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 දක්වා ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ  අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති  නියෝග සහ  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 සහ 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව. 3.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.ජූලි 09 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ(සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.ජූලි 10 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර මහතාඉන්ධන පිරිවුම්හල් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමඋපුල් කිත්සිරි මහතාරත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ධාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා“ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදල” නමින් අරමුදලක් ආරම්භ කිරීමනීතීඥ හිරුනි විජේසිංහ මහත්මියපාසැල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තිය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුව ලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) කිරීමරෝහිණි කුමාරි විජේරත්න මහත්මියවිදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීමරුවන්තිලක ජයකොඩි මහතාශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පිහිටි ආපන ශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමරජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතායාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධන කිරීමඅනතුරුව ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. 


2026-07-02

රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු කාන්තාවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කාන්තා තානාපතිවරියන් සමඟ විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී

රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු කාන්තාවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරියන් හා කාන්තා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තුවේදී පසුගියදා පවත්වන ලදි.ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය සඳහා කාන්තාවන් ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීම මෙන්ම ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ගේ සමාන නියෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ විය.මෙම අවස්ථාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පිළිගැනීමේ දේශනය සිදු කළාය. අනතුරුව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනිය සහ රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය අදහස් දක්වමින් ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලංකාවෙන් බිහි වීම මෙරට කාන්තා නායකත්වය සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් බව පැවසුවාය. එසේම වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන්ද ඇය සිය සතුට පළ කළාය.ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරුන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු විය. එහිදී කාන්තා නායකත්වය, රාජ්‍යතාන්ත්‍රික සේවය, දේශපාලනය සහ රාජ්‍ය පාලනය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, අනාගත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.ආරාධිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක ද නිරත වූ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ නිවේදනයක් ද සිදු කරමින් මෙම කාන්තා තානාපතිවරියන් පිළිගත් අතර පාර්ලිමේන්තු සැසිවාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.මෙම විශේෂ හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, පාර්ලිමේන්තුවේ මහ‍ලේකම් සහ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.


2026-07-02

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (United Nations Population Fund - UNFPA) අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමකට පාර්ලිමේන්තුවේදී පසුගියදා අත්සන් තැබිණි.අදාළ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩබලන නියෝජිත Phuntsho Wangyel මහතා අත්සන් තැබූහ. මේ අවස්ථාව සඳහා  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ  ආසියා හා පැසිෆික් කලාපය සඳහා  අධ්‍යක්ෂ ආචාර්ය Aleksandar Sasha Bodiroza මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව  සිටියහ.මෙම අවබෝධතා ගිවිසුම මඟින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම, පාර්ලිමේන්තුවේ ධාරිතාව වර්ධනය කිරීම සහ ජනගහන හා සමාජ සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සැකසීම සඳහා දෙපාර්ශ්වය අතර පවතින සහයෝගීතාව නව මට්ටමකට රැගෙන යාම අපේක්ෂා කෙරේ.ඒ අනුව, ජනගහන ප්‍රතිරෝධීතාව (Demographic Resilience), ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය සහ අහිතකර සමාජ භාවිතයන් සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම් වූ ව්‍යවස්ථාදායක තීරණ ගැනීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම, නවතම ජන සංගණන දත්ත සහ ජනගහන පර්යේෂණ මත පදනම් වූ විශ්ලේෂණාත්මක තොරතුරු පාර්ලිමේන්තුව වෙත ලබා දීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් යටතේ දෙපාර්ශ්වය එක්ව කටයුතු කිරීමට නියමිතය.එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් දැනුම හුවමාරු වැඩසටහන් සහ ඉහළ මට්ටමේ සංවාද සංවිධානය කිරීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සාක්ෂි මත පදනම් වූ උපදේශන සහ සාරාංශ වාර්තා ලබා දීමට, පුහුණු වැඩසටහන්, වැඩමුළු සහ අත්දැකීම් හුවමාරු සැසි පැවැත්වීමට මෙම අවබෝධතා ගිවිසුම මගින් අවස්ථාව සැලසෙයි.මීට අමතරව, ජනගහන ගතිකත්වය, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය රාමු, අන්තර්  රාජ්‍ය ක්‍රියාවලීන් සහ ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇති ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එකඟ වී ඇත.අනතුරුව,  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිත පිරිස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සහභාගි  වූහ.මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා,  රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජනගහන ගැටලු පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍ය බව සඳහන් කළේය. තරුණ පරපුරේ වෘත්තීය අභිලාෂයන් සහ පවුල් ජීවිතය අතර පවතින අසමතුලිතතාව, අඩු උපත් අනුපාතය සහ සමාජ සත්කාරක සේවාවල පවතින අසමතුලිතතා, ප්‍රතිපත්තිමය මට්ටමින් විසඳිය යුතු කරුණු ලෙස ඔහු අවධාරණය කළේය. එමෙන්ම, දීර්ඝකාලීන දැක්මක් යටතේ ජනගහන ගතිකත්වය සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තිමය මග පෙන්වීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.වැඩකරන කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ දරුවන් රැකබලා ගැනීම සඳහා ශක්තිමත් සමාජ ප්‍රතිපත්තිවල වැදගත්කම, ජනගහන සංක්‍රාන්තිය කළමනාකරණය කිරීම, පවුල් සහ වෘත්තීය ජීවිතය අතර සමතුලිතතාව ඇති කිරීම සහ අනාගත පරපුරේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් රජය, පාර්ලිමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.


2026-07-01

හොඳ නායකයින් බිහි වෙන්නේ නීතිගරුක සහ ශිෂ්ට සම්පන්න සමාජයකින් පමණයි – නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා

හොඳ නායකයින් බිහි වෙන්නේ  නීතිගරුක සහ  ශිෂ්ට සම්පන්න සමාජයකින් පමණක් බව ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පෙන්වා දුන්නේය. ජනතාව විසින් විනයගරුක, නීතිගරුක සහ ශිෂ්ට සම්පන්න පුද්ගලයන් තමන්ගේ  නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත් කර එවීම වැදගත් බවත් ඒ මහතා සඳහන් කළේය.නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා  විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඊයේ (ජුනි 30) ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී  පැවති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේය.නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව  අවබෝධයක් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරෙයි.වැඩිදුරටත් සභාව ඇමතු ගරු  නියෝජ්‍ය  කථානායකවරයා,  “ගුරුවරු තමන්ගේ උපරීම ශක්තිය ශිෂ්‍ය ඔබගේ අනාගතය බැබළවීමට යොදන නිසා ඔවුන්ට ගෞරව කරන්න, ශිෂ්‍ය ඔබ අනාගතයේ කුමන තත්ත්වයකට පැමිණියත් තමන්ට සිප්සතර ඉගැන්නු ගුරුවරු ගැන සොයා බලන්න, ශිෂ්‍ය ඔබ කොතරම් ඉහළ තලයක වැජඹුනත් ඔබට ඉගැන්වූ ගුරුවරු තවමත් ගුරුවරුමයි.  තමන් කරන රැකියාව අගය කරන්න. කරන  රැකියාව ගැන සතුටු වන්න. රැකියාවේ නිරත වන විට අවංක වෙන්න. ශිෂ්‍ය ඔබ ඔබගේ ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වන්න.ළමුන් තම දෙමාපියන්ව අනුගමනය කරනවා. ඒ නිසා තමන්ගේ දරුවන් ඉදිරියේ යහපත් හැසිරීමක් පවත්වාගෙන යෑමේ වගකීම දෙමාපියන් සතු වගකීමක්.  ශිෂ්‍ය ඔබ අද මෙම ස්ථානයෙන් පිටත්ව යන විට නීතියට ගරු කරන පුරවැසියන් බවට පත් වන බවට ධාරණය කර ගන්න. මෙය ඔබගේ දෙමාපියන්ටත් පවසන්න. ශිෂ්‍ය ඔබටත් රටටත් වරදින්නේ නැහැ” යනුවෙන් සඳහන් කළේය.ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා  අදහස් දක්වමින්, ජනාධිපති අරමුදල මඟින් සිසුන් සහ මහජනතාව සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි  කළේය. අධ්‍යාපනික අවශ්‍යතා ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා ජනාධිපති අරමුදල හරහා සහාය ලබා ගත හැකි බවත්, කොළඹට නොපැමිණ තම තමන් පදිංචි පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් එම සේවාවන් ජනතාවට සමීප කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින්, කථානායකවරිය තෝරා පත් කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන ශිෂ්‍යාවෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ  (පරිපාලන) චින්තා  මධුභාෂිණි  බුලත්සිංහල මහත්මිය විසින් ශිෂ්‍යාවන්ව දැනුවත් කළාය.මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන් වෙත ගරු නියෝජ්‍ය කථානායකතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.වැඩසටහන අවසානයේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්.ආර්. සිල්වා මහත්මිය ස්තුති කතාව සිදු කළාය.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත්  එක්  පියවරක් ලෙස මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කෙරුණු අතර, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, මානව සම්පත් සංවර්ධන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා (පරිපාලන) චූලා හේරත් යන මහත්ම මහත්මීන්, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks