logo

03

E   |     |  

2026-07-01

පුවත් කාණ්ඩ : පුවත් 

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට සහ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (ජුනි 30) සිය සහතිකය සටහන් කළේය. 

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 2026 මැයි මස 19 වන දින පළමුවර කියවන ලද අතර 2026 ජුනි මස 23 වන දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

මෙකි පනත මගින් සාම්ප්‍රදායික මූල්‍ය අංශ මෙන්ම වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය ද ඉලක්ක කර ගනිමින් ජාතික බදු රාමුව නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ. නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම, බදු අය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විකුණුම් පර්යන්ත යන්ත්‍ර (point-of-sale machines) භාවිත කිරීම අනිවාර්ය කිරීම මෙම පනත මගින් හඳුන්වා දෙන ප්‍රතිපාදන අතර වේ.

තව ද, බදු පැහැර හැරීම් සහ වංචනික ලෙස බදු ප්‍රතිලාභ ලබා ගැනීමට එරෙහිව පවතින දඬුවම් විධිවිධාන දැඩි කිරීම මගින් බදු අනුකූලතාවය සහ රාජ්‍ය මූල්‍ය අඛණ්ඩතාව ඉහළ නැංවීමට මෙම පනත මගින් යෝජනා කර ඇත.

එසේම, සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්)  පනත් කෙටුම්පත 2025 ජුලි  මස 11 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා  විසින් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 ජුනි මස 11 වන දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.  

මෙම පනත මඟින් සිවිල් සහ වාණිජ ආරවුල් සමථකරණය සඳහා විධි විධාන සැලසීමත්, 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ  සමථ මධ්‍යස්ථානය පනත ඉවත් කිරීමත්, ඒ හා සම්බන්ධ  හා ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමත් අරමුණු කර ඇත.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත් ද්විත්වය  පිළිවෙලින්  2026 අංක 13 දරන සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත සහ 2026 අංක 14 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.



සම්බන්ධිත පුවත්

2026-07-01

හොඳ නායකයින් බිහි වෙන්නේ නීතිගරුක සහ ශිෂ්ට සම්පන්න සමාජයකින් පමණයි – නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා

හොඳ නායකයින් බිහි වෙන්නේ  නීතිගරුක සහ  ශිෂ්ට සම්පන්න සමාජයකින් පමණක් බව ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පෙන්වා දුන්නේය. ජනතාව විසින් විනයගරුක, නීතිගරුක සහ ශිෂ්ට සම්පන්න පුද්ගලයන් තමන්ගේ  නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත් කර එවීම වැදගත් බවත් ඒ මහතා සඳහන් කළේය.නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා  විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඊයේ (ජුනි 30) ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී  පැවති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේය.නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව  අවබෝධයක් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරෙයි.වැඩිදුරටත් සභාව ඇමතු ගරු  නියෝජ්‍ය  කථානායකවරයා,  “ගුරුවරු තමන්ගේ උපරීම ශක්තිය ශිෂ්‍ය ඔබගේ අනාගතය බැබළවීමට යොදන නිසා ඔවුන්ට ගෞරව කරන්න, ශිෂ්‍ය ඔබ අනාගතයේ කුමන තත්ත්වයකට පැමිණියත් තමන්ට සිප්සතර ඉගැන්නු ගුරුවරු ගැන සොයා බලන්න, ශිෂ්‍ය ඔබ කොතරම් ඉහළ තලයක වැජඹුනත් ඔබට ඉගැන්වූ ගුරුවරු තවමත් ගුරුවරුමයි.  තමන් කරන රැකියාව අගය කරන්න. කරන  රැකියාව ගැන සතුටු වන්න. රැකියාවේ නිරත වන විට අවංක වෙන්න. ශිෂ්‍ය ඔබ ඔබගේ ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වන්න.ළමුන් තම දෙමාපියන්ව අනුගමනය කරනවා. ඒ නිසා තමන්ගේ දරුවන් ඉදිරියේ යහපත් හැසිරීමක් පවත්වාගෙන යෑමේ වගකීම දෙමාපියන් සතු වගකීමක්.  ශිෂ්‍ය ඔබ අද මෙම ස්ථානයෙන් පිටත්ව යන විට නීතියට ගරු කරන පුරවැසියන් බවට පත් වන බවට ධාරණය කර ගන්න. මෙය ඔබගේ දෙමාපියන්ටත් පවසන්න. ශිෂ්‍ය ඔබටත් රටටත් වරදින්නේ නැහැ” යනුවෙන් සඳහන් කළේය.ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා  අදහස් දක්වමින්, ජනාධිපති අරමුදල මඟින් සිසුන් සහ මහජනතාව සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි  කළේය. අධ්‍යාපනික අවශ්‍යතා ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා ජනාධිපති අරමුදල හරහා සහාය ලබා ගත හැකි බවත්, කොළඹට නොපැමිණ තම තමන් පදිංචි පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් එම සේවාවන් ජනතාවට සමීප කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින්, කථානායකවරිය තෝරා පත් කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන ශිෂ්‍යාවෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ  (පරිපාලන) චින්තා  මධුභාෂිණි  බුලත්සිංහල මහත්මිය විසින් ශිෂ්‍යාවන්ව දැනුවත් කළාය.මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන් වෙත ගරු නියෝජ්‍ය කථානායකතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.වැඩසටහන අවසානයේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්.ආර්. සිල්වා මහත්මිය ස්තුති කතාව සිදු කළාය.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත්  එක්  පියවරක් ලෙස මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කෙරුණු අතර, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, මානව සම්පත් සංවර්ධන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා (පරිපාලන) චූලා හේරත් යන මහත්ම මහත්මීන්, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-06-24

ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ශ්‍රී ලංකා - බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වෙයි

දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - බහරේන්  පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා තේරී පත් විය.එම සංගමය පිහිටුවීම සඳහා වූ   රැස්වීම පාර්ලිමේන්තුවේ දී  ඊයේ  (ජුනි 23)   ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.ගරු පාර්ලිමේන්තුමන්ත්‍රී සුජීව සේනසිංහ  මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අනුෂ්කා තිලකරත්න  මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, අබූබකර් අතම්බාවා, ‍කේ. කාදර් මස්තාන් සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු තේරී පත් වූ අතර සහකාර ලේකම්වරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත්  සහ  ලාල් ප්‍රේමනාත් යන මහත්වරු තේරීපත් වුහ. 1992 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා,  දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව වර්ධනය වී ඇති බවත්   බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරට අතර සබඳතා ශක්තිමත් කරන වැදගත් පුරුකක් බවත් මෙහිදී අදහස් දක්වමින්  ගරු කථානායක  වෛද්‍ය  ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළේය.එමෙන්ම දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සංවාද හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම මිත්‍රත්ව සංගමය වැදගත් වේදිකාවක් වනු ඇති බව සඳහන් කළ ගරු කථානායකවරයා, ගෝලීය අභියෝග හමුවේ හුදකලා වීම නොව අඛණ්ඩ සංවාදය සහ සම්බන්ධතාව අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය  කළ සංගමයේ  අභිනව  සභාපතිවරයා වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සක්‍රීය මැදිහත්වීම් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය සහ දෙරටේ ආර්ථික දියුණුව උදෙසා මෙම මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව සඳහන් කළ සභාපතිවරයා, මෙම පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.තවද  දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ශ්‍රී ලංකා - බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා මෙවැනි හමුවීම් දෙරට අතර මිත්‍රත්වය සහ අවබෝධය වර්ධනය කිරීමට මහඟු අවස්ථාවක් සලසා දෙන බව ද  පෙන්වා දුන්නේය.මෙම රැස්වීම සඳහා ගරු  අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-06-24

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්වාධීනව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් උපරිම සහය ලබා දෙනවා - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන්සභාව ස්වාධීනව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව එහි සභාපතිනි ග්‍රේස් ආශිර්වාදම් (Ms. Grace Asirwatham) මහත්මිය ඇතුළු කොමිසමේ සමාජිකයින් ඊයේ (ජුනි 23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමුවූ අවස්ථාවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.එහිදි දසවෙනි පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ මෙම ස්වාධීන කොමිෂන් සභාවේ අභිනව  සාමාජිකයින් වෙත ගරු කථානායකවරයා සිය උණුසුම් සුබ පැතුම් එක් කර සිටියේය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන් වෙනුවෙන් සුවිසල් භාරදූර කාර්‍යභාරයක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට පැව‍රී ඇති බව මෙම අවස්ථාවේ දී කථානායකවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළේ ශ්‍රී ලංකාව බවත් දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව අප රටේ කාන්තාව සමාජයේ ඉදිරියට පැමිණ ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය. එම නිසා තවදුරටත් ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් නිවැරදි සහ ස්වාධීන තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවේදී අවධාරණය කළේය.දැනට කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ පවතින පරිපාලන සහ අනෙකුත් යටිතල පහසුකම් ගැටලු  සහ ඉදිරි කටයුතු පිළිබඳව දෙපාර්ශවය අතර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ  සමාජිකයින් වන ශ්‍රීන් සරූර්, ජනහා සෙල්වරාස්, ජයන්ති කුරු-උතුම්පාල, වෛද්‍ය පද්මා ගුණරත්න, ආචාර්ය කලණ සේනාරත්න සහ කොමිෂන් සභාවේ විධායක අධ්‍යක්ෂ, කේ.ඩී.ආර්. ඔල්ගා යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


2026-06-24

දරුවන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනයට ශිෂ්‍ය පාර්ලිමේන්තුව සුවිශේෂී වේදිකාවක් - නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි

හුදෙක් විෂය කරුණුවලට පමණක් සීමා නොවී, නායකත්ව ගුණාංග, සාමූහිකත්වය සහ තීරණ ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට සහ ඒවා වර්ධනය කර ගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුව සුවිශේෂී වේදිකාවක් වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු  නියෝජ්‍ය කාරක සභා සභාපතිනි  හේමාලි වීරසේකර මහත්මිය අවධාරණය කළාය.කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවැති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ගරු  නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මෙම අදහස් පළ කළාය.තාක්ෂණික දියුණුව හමුවේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ යහපත් ආකල්ප සහිත සමාජයක් ගොඩනැගීමට දරුවන් සතු වගකීම පිළිබඳව සිහිපත් කළ නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය දරිද්‍රතාවය පිටුදැකීම, බලශක්ති සංරක්ෂණය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ජාතික මට්ටමේ අභියෝග ජය ගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තු හරහා නව අදහස් ඉදිරිපත්  කළ හැකි බව ද පෙන්වා දුන්නාය.මෙහිදී අදහස් දැක්වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, දැනුම, අවබෝධය දක්වා වර්ධනය කර ගැනීමේ වැදගත්කම ප්‍රකාශ කළේය. පර්යේෂණ යනු එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීමට උපකාරී වන ක්‍රියාවලියක් බව පෙන්වා දෙමින්, දරුවන්ගේ කුතුහලය හා විශ්ලේෂණාත්මක චින්තනය වර්ධනය කරගනිමින් දැනුම ප්‍රායෝගිකව භාවිතයට ගැනීමේ වැදගත්කම ද  ඒ මහතා  සඳහන් කළේය.තවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂණ ගමගේ මහතා, ජනාධිපති අරමුදල මගින් සිසුන් සහ මහජනතාව සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු  කළ අතර ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් අමතමින් විනය, නායකත්වය සහ මානව දයාවෙන් පිරිපුන් පුරවැසියන් බවට පත් වීමේ වැදගත්කම අවධාරණය කළේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ  (පරිපාලන) චින්තා  මධුභාෂිණි  බුලත්සිංහල මත්මිය  විසින් සිසුවියන්ව  දැනුවත් කළාය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින්, කථානායකවරිය තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරියන්  දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුවියෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට සහභාගී වූ  ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභික සාමාජිකාවන් වෙත ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමිය  ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම  සිදු විය. මෙහිදී ආරාධිත පාසල් නියෝජනය කරමින් පැමිණි කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම් ලාල් දිසානායක මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුවියන් හට සිය සුබපැතුම් එක් කළේය. වැඩසටහන අවසානයේ කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේදා ජයවීර  මහත්මිය  ස්තූති කතාව සිදු කළාය.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක  විද්‍යාලයේ  සිසුවියන්ට අවබෝධයක් ලබා දීමේ අරමුණින් එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කෙරුණු අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ,  සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිම්නේතුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය  ගුරු මණ්ඩලය, දෙමාපියෝ සහ සිසුහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks