පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-06-11
මහජන චීන සමූහාණ්ඩුවේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවකට සහභාගී වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස, සිය නිල වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 2026 ජුනි 05 වන දින ආපසු දිවයිනට පැමිණියහ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස, 2026 මැයි 26 සිට ජුනි 04 වන දින දක්වා චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය විසින් පවත්වන ලද වැඩසටහනට සහභාගී වූහ.
මෙම සංචාරය අතරතුර, චීනයේ රාජ්‍ය පාලන ව්‍යුහය, සංවර්ධන උපායමාර්ග, ප්රජාතන්ත්රවාදී උපදේශන යාන්ත්‍රණයන් සහ ජාතික ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳව චීන ජ්‍යෙෂ්ඨ විද්වතුන්, පර්යේෂකයන් සහ නිලධාරීන් විසින් මෙහෙයවූ සැසිවලට නියෝජිත පිරිස සහභාගී වූහ.
නියෝජිත පිරිස විසින් ජාතික මහජන කොංග්රස් (NPC) සම්මන්ත්රණ ශාලාව සහ මහජන මහා ශාලාව ඇතුළු ප්‍රධාන ජාතික ආයතන වෙත ද නිල සංචාර සිදු කරන ලදී. ඊට අමතරව, ජාත්‍යන්තර තේ දිනය සැමරීම සඳහා 2026 මැයි 29 වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකටද ඔවුන් සහභාගී වූ අතර, එමගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී තේ උරුමය සහ සංස්කෘතික හා ආර්ථික සබඳතා සඳහා එහි දායකත්වයද පිළිබිඹු කරන ලදී.
ඉන් අනතුරුව, ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂු (Guangzhou) නගරවල සිදුකළ සංචාර අතරතුර, නියෝජිත පිරිස සුහුරු යටිතල පහසුකම්, උසස් තාක්ෂණය, සන්නිවේදනය, කෘෂිකර්මාන්තය සහ නව බලශක්ති කර්මාන්ත යන ක්ෂේත්රවලට අදාළ ආයතන සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය කරන ලදී.
මෙම වැඩමුළුව ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආයතනික සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය දැනුම හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු පිටුවහලක් වූ අතර, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ද දායක විය.
2026-11-20
පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2023 වසරේ සිදු කරන ලද සංගණනය අනුව 29.47% ක් බැවින් පැරිස් ගිවිසුම අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 32% දක්වා ඉහළ දැමිය යුතුව ඇත. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ලෙස පියවර ගණනාවක් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් වැඩිම වන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයට හිමි අතර එය 62.20% කි. අඩුම වන ඝනත්වය වන 2.05% ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. මෙලෙස, පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව, රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ 'වනස්පති' වැඩසටහන යටතේ පසුගිය වසර දෙකක කාලයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර 113 ට හෙක්ටයාර 71990.26 ක් ඇතුළත් වෙයි. මීට අමතරව, රට තුළ සිදුවන වන විනාශය ඇතුළු වන අපරාධ වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් 2025 නොවැම්බර් මාසයේ සිට 'වන සුරැකුම' නමින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. එම විශේෂ මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් 03 සිට 2026 ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ සිදුවීම් 701 ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුවීම් 216 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් වෙයි.වන ආවරණය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අතර, වනාන්තර ආශ්‍රිතව සිදු වන සතුන්ගේ තණ උලාකෑම හා කොළ අතු ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් මෙන්ම ගිනි තර්ජන පාලනය කරමින් ස්වාභාවික පුනර්ජනනයට අවස්ථාව සැලසීම, දේශීය ශාක විශේෂ රෝපණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට හා පාලනය කිරීමට කටයුතු කෙරෙයි.ජාතික වන ආවරණ සිතියම යාවත්කාලීන කිරීම මඟින් වන ආවරණයේ සිදුවන වෙනස්කම් හඳුනාගෙන අධීක්ෂණය කිරීම, වන විනාශය හා අනවසරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම හඳුනා ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිත කොට වන විනාශය පාලනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, චන්ද්‍රිකා ඡායාරූප හා භූමි සමීක්ෂණ මඟින් වන ආවරණයේ වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වන ආවරණය අඩුවන ප්‍රදේශ හඳුනාගෙන අදාළ බලධාරීන් දැනුවත් කිරීම සහ වනාන්තරමය ඉඩම්, රක්ෂිත වනාන්තර හා සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කොට අයිතිය නීත්‍යානුකූල කිරීම ද සිදු කෙරේ.හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම හා නැවත වන වගා කටයුතු සිදු කිරීම මෙන්ම, වන ආවරණය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වෙයි.තවද, වන ඉඩම් අනවසරයෙන් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, වන ආවරණය හා පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ වන ව්‍යාප්ති කටයුතු ද ක්‍රියාත්මක කරනු ලබයි.මීට අමතරව, ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ගොවි වන වගා හා ප්‍රජාමූලික වන වගා වැඩසටහන් පුද්ගලික අංශය සමඟ සහභාගීත්වයෙන් වන වගා සිදු කරන බව සභාගත කළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වෙයි.
2026-11-18
දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සේවා සැපයීම, ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ මෙම ඒකාබද්ධ සත්කාර සේවාව, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මාංශපේශී හා අස්ථි සන්ධි ආශ්රිත වේදනා කළමනාකරණය (Musculoskeletal Pain Management) සඳහා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කළ ප්‍රතිකාර වැඩසටහන පසුගිය මාස 08 කට ආසන්න කාලයක් මෙලෙස ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව (2023-2033) මඟින් බෝ නොවන රෝග සේවා සැපයීමේ ඒකාබද්ධ ප්රවේශයේ කොටසක් ලෙස දේශීය වෛද්‍ය අංශය පැහැදිලිව හඳුනාගෙන ඇති බව කියා සිටි අමාත්‍යවරයා රෝගී සත්කාරක සේවාවන් පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ පළාත් පාලන දෙපාර්තමේන්තු මඟින් සිදු කරන බව අවධාරණය කළේය. එහිදී දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථූලතාවය සහ ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන බවද පැවසීය.එසේම පාකින්සනිස්ම (Parkinsonism) සඳහා සාමාන්‍ය උපදෙස් ගැනීම් සහ ආධාරක සිද්ධ වෛද්‍ය සේවා ලබා ගත හැකි අතර මොළයේ අංශභාගය (Cerebral palsy) සහ ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome) සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ආයතන මඟින් ආධාරක පුනරුත්ථාපන වැඩසටහන් ලබා ගත හැකි බවත් පිළිකා සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් පෝෂණ උපදෙස්, ආධාරක සත්කාර සහ පුනරුත්ථාපනය ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.වැඩිහිටි රෝගීන් දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීම අවම කිරීම සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම සෞඛ්‍ය ආයතන මඟින්, ඇතැම් පළාත් තුළ වැඩිහිටි නිවාස මට්ටමින්, ප්‍රජා මූලික වෛද්‍ය සේවා මඟින්, ප්‍රජා වෛද්‍ය නිලධාරීන් (CMOs) මඟින් ග්‍රාමීය මට්ටමින්, ප්‍රජා සෞඛ්‍ය සත්කාර සේවා මඟින්, පළාත් මට්ටමින් ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍ය ක්‍රම මඟින් වැඩිහිටි සත්කාර සේවා සැපයීම, වෛද්‍ය සභාව මඟින් ලියාපදිංචි වන පාරම්පරික වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහ පළාත් සභා මඟින් සේවා සැපයීම සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය මඟින් පළාත් මට්ටමින්, පළාත් 06 ක වැඩිහිටි සත්කාර සේවා පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී ක්‍රමවේද මඟින් වැඩිහිටි රෝගී සේවා සපයනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026-11-16
කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවූහ.පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ගරු ලී යැං-සු (Lee Yang-soo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණියහ. එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ගරු ක්වාක් සෑං-ඊඔන් (Kwak Sang-eon) මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ගරු කිම් සෝ-හී (Kim So-hee) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ගරු යූන්-ජුං කිම් (Youn-Jung Kim) මහත්මිය ද ඇතුළත් වූහ. 1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කළේය. විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළේය.එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය. මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.කොරියානු ජනරජය තුළ පහළ යන උපත් අනුපාතයට මුහුණදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු නියෝජිතයෝ අලුත විවාහ වූ යුවළ සඳහා දැරිය හැකි කුලී නිවාස යෝජනා ක්‍රම, අඩු පොලී ණය සහ නිවාස දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් පැහැදිලි කළහ.විශ්‍රාම වැටුප් ආවරණයේ පවතින හිඩැස් අවම කිරීම සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳව ද දූත පිරිස අදහස් පළ කළහ. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තරුණ පරපුරට ප්‍රමාණවත් රැකියා අවස්ථා සහතික කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.ආර්ථික සංවර්ධනය සමඟ පරිසර ආරක්ෂාවට ද ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. ස්වාභාවික ආපදා හේතුවෙන් වසර ගණනාවක් පුරා අත්කරගත් ආර්ථික ප්‍රගතියට හානි සිදුවිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.ශ්‍රී ලංකාව තුළ කොරියානු සංස්කෘතිය, විශේෂයෙන්ම කොරියානු පොප් සංගීතය ජනප්‍රිය වීම සහ දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගත හැකි තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථාවල ප්රතිලාභ පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ. එම පුහුණු අවස්ථා මඟින් වෘත්තීය කුසලතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට ද ආර්ථික ප්රතිලාභ හිමිවන බව මෙහිදී සඳහන් විය.ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත පරිසරය හා සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවට (APPCED) සහභාගී වන ලෙස කොරියානු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආරාධනා කළහ. එම සමුළුවේදී කොරියාව රටවල් කිහිපයක් වෙනුවෙන් සභාපතිත්වය දරනු ඇත.එසේම, ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා කොරියානු ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
2026-11-16
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත්, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රීරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks