02

E   |   த   |  

2026-06-10

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්තිය පිළිබඳව ගරු මන්ත්‍රීවරුන්ව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දැනුවත් කරති

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී  අද  (ජුනි 10)  පැවැත්විණි.

ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන්  විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-10-09

ආසියා පදනමේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යවරිය හමුවෙති

ආසියා පදනමේ නියෝජිත පිරිසක් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී හමු වූහ.ආසියා පදනමේ නියෝජිත පිරිස පිළිගනිමින් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සමඟ එම පදනම දිගු කලක් පවත්වාගෙන එන සහයෝගීතාව සහ මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව ලබා දෙන සහාය අගය කළාය.ශ්‍රී ලංකා රජය මෑතකදී ගත් පියවර පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නියෝජිත පිරිස, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ද ඇගයීමට ලක් කළහ.මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආසියා පදනම ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කළ අතර, ඩිජිටල්කරණය සහ ඩිජිටල් පරිවර්තනය, කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම, රැකවරණ ආර්ථිකය, දරිද්‍රතාව අවම කිරීම, සමාජ ආරක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව, සමාජ සවිබල ගැන්වීම සහ සියලු දෙනාටම සමාන සංවර්ධනයක් අත්කර දීම යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් විය.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සියලු දෙනාට සාධාරණ හා සමාන අවස්ථා සලසන ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළාය. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව මඟින් සහය දක්වන වැඩසටහන් හා රජයේ කැපවීම් සමඟ මෙම කටයුතු අනුකූලව සිදු කරන බවද සඳහන් කළාය.එමෙන්ම යහපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම, ඒවායේ වගවීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම, දූෂණය මැඩලීම සහ රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.රටේ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන ශ්‍රම බලකායක් බිහිකිරීම සහ ආර්ථික පරිවර්තනයට සහාය වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය හා කුසලතා පදනම් කරගත් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතා අතර වන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම රාජ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු විය.මෙම අවස්ථාවට ආසියා පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනි සහ තානාපති කැත්ලීන් ස්ටීවන්ස් මහත්මිය, තානාපති රොබට් ඕ. බ්ලේක් (කනිෂ්ඨ) මහතා ඇතුළු ආසියා පදනමේ නියෝජිතයෝ සහභාගී වූහ.අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.


2026-10-09

උපයන විට ගෙවීමේ බද්දෙන් 2022 සිට 2025 දක්වා රුපියල් මිලියන 569,193ක අදායමක්

රුපියල් මිලියන 569,193ක අදායමක්, උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) මගින් 2022 වසරේ සිට 2025 වසර දක්වා රජය උපයා  ඇතැයි ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත ජයවීර මහතා පැවසීය. රුපියල් මිලියන 25,546 ක් 2022 වසරේදී ද, රුපියල් මිලියන 144,955ක්  2023 වසරේදී ද,  රුපියල් මිලියන 197,572ක් 2024 වසරේදී ද සහ රුපියල් මිලියන  201,120ක්  2025 වසරේදී ද මෙලෙස උපාය ඇතැයි ඒ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දේශීය ආදායම් පනත යටතේ, මාසිකව රු. 150,000 ඉක්මවන ආදායමක් උපයන සියලුම සේවකයින් මූලාශ්‍රයේදී අත්තිකාරම්, පුද්ගලික ආදායම් බද්දට (APIT – Advance Personal Income Tax) යටත් වෙන බවත්, වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් ආදායම් ලබන පුද්ගලයින්ගේ බදු අය කළ හැකි ආදායම, නීතියෙන් නියම කර ඇති සීමාව ඉක්මවන්නේ නම්, එම පුද්ගලයින් ද පුද්ගලික ආදායම් බද්දට යටත් වෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.රජයේ මූල්‍ය අවශ්‍යතා සහ ආර්ථික තත්ත්වයන් මත PAYE වාර්ෂික බදු නිදහස් සීමාව විවිධ අවස්ථාවලදී සංශෝධනය කළ බවත්,   2019 දක්වා රු. 1,200,000 ක් වූ බදු නිදහස් සීමාව, 2020 දී රු. 3,000,000 දක්වා වැඩි කළ බවත්,  නැවතත් 2022/2023 දී රු. 1,200,000 දක්වා බදු නිදහස් සීමාව අඩු කළ බවත් ඔහු කිවේය. ඒවගේම, බදු නිදහස් සීමාව 2025 දී රු. 1,800,000 දක්වා වැඩි කළ බවත්,  අනාගතයේ දී PAYE බදු නිදහස් සීමාව සහ බදු අනුපාතවල වෙනස්කම් සිදු කරන්නේනම් එය රජයේ ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතා (Fiscal Consolidation) ක්‍රියාවලියේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් තීරණය කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.


2026-10-09

රු.10,000 බැගින් වකු ගඩු රෝගීන් 53,604 දෙනෙකුට මාසික දීමනාවක්

වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික  දීමනාවක්  ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු  බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ  වාචික පිළිතුරු අපේක්ෂා කරන  ප්‍රශ්නවලට  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක්  නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව  මාසික  දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.


2026-10-09

දායක විශ්‍රාම වැටුප් ක්‍රම යෝජනා ක්‍රම ද්විත්වය සඳහා 658,081ක්

සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රම යෝජනා ක්‍රම ද්විත්වය  සඳහා 658,081ක් දායක වී ඇති බවත්, මේ වන විට  විශ්‍රාම වැටුප්  ලබන  37,474 දෙනෙකුට  රු. 39,000,500ක් විශ්‍රාම වැටුප් ලෙස 2026 ජුලි මාසය වන විට ගෙවා ඇතැයි  ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පෙන්වා දුන්නේය. “ආරක්ෂාව” පූර්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 551,549 දෙනෙකු ද,  “සුරුකුම්” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 106,532 දෙනෙකු ද මෙලෙස දායක වී ඇති බව හෙතෙම කිවේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා  විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන  ප්‍රශ්නවලට  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.“ආරක්ෂාව” පූර්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, වයස අවුරුදු 17 දක්වා වන දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් බවත්,  මේ යටතේ දෙමව්පිය/භාරකරවකුගේ භාරකාරත්වය යටතේ දරුවන් සාමාජික කළ හැකි නිසා , වයස අවුරුදු 18 වන විට ගිණුම කල්පිරෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. “සුරුකුම්” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, වයස අවුරුදු 18 – 59 අතර තැනැත්තන් සඳහා ක්‍රියාත්මක වන බව ද , අවිධිමත් අංශයේ සේවයේ නියුතු රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන සියලු  ප්‍රජාව වෙත ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියේය. විශේෂ ඉලක්කගත කණ්ඩායම් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව කලාකරු විශ්‍රාම වැටුප, නාවිකයා විශ්‍රාම වැටුප සහ විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප ලෙස විශ්‍රාම වැටුප් ක්‍රම හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks