logo

02

E   |     |  

2026-06-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අනුරාධපුර ළමා අපයෝජන සිදුවීමේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස් වෙයි

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව  සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේදී රැස් විය. 

එම සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි.

එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශනවලදී  අධිකරණ නියෝගවලට අනුවම කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදි. එමෙන්ම, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි. 

වින්දිත දැරිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුරයට අමතරව අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල ද අධිකරණ නඩු කටයුතු සිදු වන බැවින් එම නඩු කටයුතු අධීක්ෂණය සඳහා ද ජාතික ළමා  ආරක්ෂක අධිකාරියේ මැදිහත් වීමක් සිදු කරන ලෙස සංසදය විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙම නඩු කටයුතු ත්‍රිත්වයටම සම්බන්ධ වීම නිසා වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.

එමෙන්ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදු කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි. 

වින්දිත දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.

එසේම, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊට අදාළ මැදිහත් වීම ඉදිරියේදී සිදු කිරීමට ද එකඟතාව පළ කළේය.

තව ද, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මත මාධ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් සකස් කළ යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව මැදිහත් වීමටත් තීරණය විය.

ළමා අපයෝජන නඩු කටයුතුවලදි  මතු වන  නීතිමය සහ ප්‍රායෝගික බාධා මගහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි  කටයුතු සිදු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව කටයුතු කරනු ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතීඥ) හසාරා ලියනගේ, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර සහ (නීතීඥ) සාගරිකා අතාවුද යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතීඥ) තුෂාරි ජයසිංහ සහ (නීතීඥ) අනුෂ්කා තිලකරත්න  යන මහත්මීහු මාර්ගගත තාක්ෂණය ඔස්සේ (online) රැස්වීමට සම්බන්ධ වූහ. 




සම්බන්ධිත පුවත්

2026-08-07

විගණකාධිපතිවරියගේ වැටුප් අනුමත කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කළේය.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, තිලිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (04) රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති ධුරයේ වැටුප් සම්බන්ධයෙන් අදාළ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර තිබිණි.එහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වැටුප් මට්ටම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 170 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව  විගණකාධිපති රාජ්‍ය සේවකයකු නොවන බවත් පවත්නා රාජ්‍ය වැටුප් පරිමාණයෙන් බැහැරව විගණකාධිපතිවරයාගේ වැටුප සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාව පවසා සිටියේය.  යොජිත වැටුප, මීට පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් ද  සලකා බලමින් මෙම තිරණයට එළඹුණ බව නිලධාරීන් විසින්   පවසන ලදී. මිට පෙර, එය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් තිරණය කළ ද වර්තමානයේ එවැනි කොමිසමක් නොමැති බවත්  නිලධාරීහු  සදහන් කළහ.විගණකාධිපතිවරිය සඳහා යෝජිත වැටුප් මට්ටම අනුමත කළ ද, එම තනතුරට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස විය. ඒ අනුව, අදාළ වැටුප් මට්ටම සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් අවධානය යොමු කර අවශ්‍ය තීරණ ගැනීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී පෙන්වා දුන් අතර ස්ථිර සහ ස්වධින වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස කාරක සභාවේ සභාපති යෝජනා කළේය.


2026-08-07

මැතිවරණ ප්‍රතිසංස්කරණයට ලැබී ඇති යෝජනා 31ක් සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විශේෂඥ මණ්ඩලයක් පත් කරයි

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම සඳහා මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විශේෂඥ මණ්ඩලයක් පත් කරන ලදී.ඒ මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.එහිදී 2004, 2007 සහ 2022 වසරවල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා මෙන්ම පුද්ගලයන් හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් පදනම් කර ගනිමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම, සුළු පක්ෂ හා සුළුතර කණ්ඩායම්වල නියෝජනය තහවුරු කිරීම, කාන්තා නියෝජනය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු යෝජනා පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ද සලකා බැලුණු අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිපාදන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.කාරක සභාව විසින් පත් කළ විශේෂඥ මණ්ඩලය මඟින් ලැබී ඇති යෝජනා 31 සහ පූර්ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා විශ්ලේෂණය කර ප්‍රායෝගික නිර්දේශ සහිත වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, එම නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට කාරක සභාව තීරණය කළේය.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රුවන්තිලක ජයකොඩි සහ කදිරවේලු ෂන්මුගම් කුගදාසන් යන මහත්වරු සහභාගී වූහ.


2026-08-07

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා පවත්වනු ලබන වැඩමුළුව අගෝස්තු 16 වැනිදා

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය වැඩමුළු මාලාවේ පළමුවැන්න ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා අගෝස්තු 16 වැනිදා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සම සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.08.05 දින පැවති එම සංසදයේ රැස්වීමේදී මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.  තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරෙන අතර සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම ද අපේක්ෂා කෙරේ.මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු මාලාව සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ  එක්ව සිටියහ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට ලියාපදිංචි විය විය යුතුය.


2026-08-05

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අතරතුර දී නිලධාරීන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් දක්වනු ලබන ප්‍රතිචාරය

2025 ඔක්තෝබර් මස 08 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවල විගණනය කරන ලද වාර්ෂික වාර්තා සහ එකී ආයතනයේ වත්මන් කාර්යසාධනය පිළිබඳ විමර්ශනය කිරීමේදී, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ හැසිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු ව තිබේ.  මෙම රැස්වීම සඳහා සහභාගී වූ නිලධාරීන් අතරින් එක් අයෙකු, පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීමේ දී නිලධාරීන් විසින් තම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු වන නිර්නායකයන්ගෙන් බැහැරව, එකී අවස්ථාවට නුසුදුසු ආකාරයෙන් සැරසී රැස්වීමට සහභාගී වී සිටි බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. තවද, ඉහත කී නිලධාරීන් දෙදෙනාම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ක්‍රියාපටිපාටියට පටහැනි අයුරින් සභාපතිවරයාගේ පූර්ව අවසරයකින් තොරව කාරක සභා රැස්වීමෙන් බැහැර ගොස් ඇති බව ද කාරක සභාව විසින් සඳහන් කරන ලදී. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ගැටළුවට අනුව, පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනාව යටතේ එම නිලධාරීන් දෙදෙනා 2026 පෙබරවාරි මස 17 වැනි දින ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටිනු ලැබූ අතර, එහිදී, ඔවුන් විසින්  සිය හැසිරීම සම්බන්ධයෙන් අවංකවම සමාව අයැද සිටින බව සඳහන් කෙරිණි.  පාර්ලිමේන්තු කාරක සභාවල අධිකාරිය, ගෞරවය සහ ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ක්‍රියාවන්හි බරපතලකම නිලධාරීන් විසින් අවබෝධ කරගෙන ඇති බව නිරීක්ෂණය කළ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ පිළිබඳව නිසි පරිදි සලකා බැලීමෙන් අනතුරුව, ඉහත කී නිලධාරීන්ට සමාව ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිගන්නා ලදී. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා පෙනී සිටින සියලුම පුද්ගලයන් සෑම අවස්ථාවකදීම ඉහළම මට්ටමින් ආචාරධර්ම හා හැසිරීම් අනුගමනය කිරීමත්, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන්ට අනුකූලව කටයුතු කිරීම සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය හා අධිකාරිය ආරක්ෂා කරමින් කටයුතු කිරීමත් අපේක්ෂා කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තව දුරටත් අවධාරණය කරයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks