පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ.
ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.
අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
2026-08-07
කථානායකවරයා සහ මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක්කථානායක නිල නිවස පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස පරිවර්තනය කිරීමට සැලසුම්ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මැක්ස් ප්ලැන්ක් පදනම (Max Planck Foundation for International Peace and the Rule of Law) අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (අගෝ. 06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන සම්බන්ධීකාරක ලෙස සහයෝගය ලබා දෙන මැක්ස් ප්ලැන්ක් පදනම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ජොහෑන්ස් කෘස්මාර්ක් (Johannes Krusemark) මහතා, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී හේලී නිකෝල් එවන්ස් (Hayley Nicole Evans) මහත්මිය සහ නීති උපදේශක රුවිනි පෙරේරා මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වූහ.එහිදී යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා මැක්ස් ප්ලැන්ක් පදනම විසින් සකස් කර ඇති ව්‍යාපෘති යෝජනාවලිය ගරු කථානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. කථානායක නිල නිවස යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය බවට පරිවර්තනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සාකච්ඡාවේදී අදහස් දැක් වූ කථානායකවරයා සඳහන් කළේය.මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස,• පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පුහුණු කිරීම,• ප්‍රතිපත්ති පර්යේෂණය සහ විශ්ලේෂණ සඳහා අධ්‍යයන අවස්ථා ලබා දීම,• පාර්ලිමේන්තුව මඟින් සම්පාදනය කරන නීති සහ පෙර සම්මත කරන ලද පනත් පිළිබඳ මහජන අදහස් ලබාගෙන ඒවායේ ප්‍රයෝජනවත්භාවය නැවත ඇගයීම (Post-Legislative Scrutiny),• ඒ සම්බන්ධයෙන් පර්යේෂකයන්ට සහ විද්වත් පාර්ශ්වයන්ට දායක වීමට අවස්ථාව සැලසීම යන කරුණු කථානායකවරයා අවධාරණය කළේය.මෙම යෝජනාවලිය සකස් කිරීමේදී ඉන්දියාවේ ලෝක් සභාවේ සහ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු පර්යේෂණ ආයතන පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, යෝජිත ආයතනය ස්ථාපිත කිරීම සඳහා සම්පත් දායකයෙකු ලෙස මැක්ස් ප්ලැන්ක් පදනම ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තම ආයතනය සූදානම් බව මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළේය.මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කමිටුව විසින් සකස් කරමින් පවතින ව්‍යාපෘති යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත අවසන් කර භාර දීමට අපේක්ෂා කරන බවයි. මැක්ස් ප්ලැන්ක් පදනම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ ද එම ක්‍රියාවලියේදී සලකා බලන බවත්, ඒ සඳහා පදනම වෙත ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය. එම කමිටුවේ අනෙකුත් කමිටු සමාජීකයින් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක කාන්ති පිරීස් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ සරත් කුමාර මහතායි. මෙම සාකච්ඡාවට ගරු කථානායකවරයාගේ පුද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ජනක මහේෂ් අතපත්තු මහතා ද සහභාගී වූහ.
2026-08-06
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (ජූලි 06) සම්මත විය.මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය අද පෙරවරු 11.45 සිට පස්වරු 5.40 දක්වා පැවැත්විණි.සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් 2026.07. 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදී.මෙම පනත් කෙටුම්පත මගින් මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය සඳහා පමණක් අදාළ වූ නීතිමය විධිවිධාන තවත් සත්ව වර්ග කිහිපයක් සඳහා ද පුළුල් කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, ඉදිරියේදී ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී අදාළ නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වන අතර, සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.0. 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදී.මෙම පනත් කෙටුම්පත මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල සම්පාදන සේවා කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සහ මණ්ඩලයේ වගකීම් පුළුල් කිරීම අරමුණු කර ඇත.
2026-08-06
දරුවන් අනාගත නායකයින් ලෙස ගොඩනැගීමේදී නීතියට ගරු කරන පුරවැසියන් බවට පත්වීම අත්‍යවශ්‍ය බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අවධාරණය කළේය. එමෙන්ම ජනතා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේදී ද නීතියට ගරු කරන පුද්ගලයන් තෝරා ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවති බොගවන්තලාව ටියෙන්සින් දමිල මහා විදයාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ අදහස් පළ කළේය.බොගවන්තලාව ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා දරුවන් සිසු අවධියේ සිටම විනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ට ගරු කරමින් ජීවිතයේ දුෂ්කරතා හඳුනාගෙන ඉදිරියට යාම සඳහා කැපවිය යුතු බවත් අවධාරණය කළේය.මෙම අවස්ථාවට එක්වූ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, වතුකර ප්‍රජාව නියෝජනය කරන සිසුන් විවිධ අභියෝග මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් රටේ සංවර්ධනයට දායක වන බවත්, විෂය නිර්දේශයට පමණක් සීමා නොවී නායකත්වය, කණ්ඩායම් හැකියාව සහ තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කර ගැනීම තුළින් සිසුන්ගේ අනාගතය තවදුරටත් සාර්ථක කරගත හැකි බවත් සිසුන් අමතමින් සඳහන් සඳහන් කළාය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ජනාධිපති අරමුදල) සුභාෂ් රෝෂන් මහතා ජනාධිපති අරමුදල මගින් සිසුන් සහ මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පිළිබඳව පැහැදිලි කළේය. එසේම ජනාධිපති ලේකම් කාර්යාලවේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අමතමින් දරුවන් විනයගරුක, නායකත්වයෙන් හෙබි මානව හිතවාදී පුරවැසියන් බවට පත්වීමේ වැදගත්කම අවධාරණය කළේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුස්තකාලයාධිපති සියාද් අහමඩ් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය, පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කළේය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරයන් දිවුරුම් දීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ සිසුහු තම අමාත්‍යාංශ මගින් පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධ යෝජනා සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට සහභාගි වූ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ගරු නියෝජ්‍ය කථානායකවරයා, ගරු කාරක සභා නියෝජ්‍ය සභාපතිනි ඇතුළු විශේෂ ආරාධිතයන් විසින් සහතිකපත් ප්‍රදානය කරන ලදී. ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති පී. ප්‍රභාකරන් මහතා ස්තුති කථාව සිදු කළේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල මහතා, බොගවන්තලාව ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2026-08-06
"අධ්‍යාපන සාර්ථකත්වය සඳහා ධනාත්මක මානසිකත්වයක් වර්ධනය කර ගනිමින්, හෙට දින නායකයින් බිහි කිරීම" යන තේමාව යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සංවිධානය කළ ශිෂ්‍ය නායකත්වය හා පෞද්ගලික සංවර්ධන වැඩසටහනක් පසුගියදා කොළඹ 10, අල් හිදාය විද්‍යාලයේදී පැවැත්විණි.නවය, දහය සහ එකොළහ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී අධ්‍යාපන විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ධනාත්මක මානසිකත්වය, ආත්ම විශ්වාසය සහ ජීවන කුසලතා වර්ධනය කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.එමෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව හරහා නායකත්වය, නියෝජනය, වගකීම, නවීන අදහස්, එකමුතුකම සහ සහයෝගීතාව වර්ධනය කර ගනිමින් "අද ශිෂ්‍යාව – හෙට නායිකාව" දක්වා ගමන් කළ හැකි ආකාරය පිළිබඳව ද ශිෂ්‍යාවන් දැනුවත් කරන ලදී.රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කළ හැකි අනාගත නායකයින් ලෙස ගොඩනැගීමට අවශ්‍ය නායකත්ව ගුණාංග, වගකීම්, සදාචාරාත්මක වටිනාකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම වැඩසටහනේ සම්පත්දායකයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි මහතා සහභාගි වූ අතර, සිසුන් සමඟ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවකට ද එක් විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks