බලන්න

01

E   |   த   |  

2026-05-26

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරයි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන්  සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීය. 

ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

 මෙහිදී පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී. 

කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම  අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන්  සභාව විසින් දන්වා සිටින ලදී.

මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් ද, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මාර්ගගතවද  සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-11-03

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී

සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු  අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්‍රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. 6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවල දී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය. සාකච්ඡාවට එක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.‍මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-11-03

බන්ධනාගාර තදබදය අවම කිරීමට නීතිමය සංශෝධන සහ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ඔක්. 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය. බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක්, මෙම කාරක සභාව සඳහා ඒ ඒ අංශ සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණු අතර එහි තවත් පියවරක් ලෙස මේ සාකච්ඡාවද සිදු කෙරිණි. බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා යෝජිත නීති සංශෝධන, විවෘත බන්ධනාගාර හා වැඩ කඳවුරු ක්‍රමවේද, කොන්දේසි පිට මුදාහැරීම සහ යහපත් හැසිරීමක් ඇති රැඳවියන් සේවා නියුක්ති වැඩසටහන් සඳහා යොමු කිරීම ඇතුළු යෝජනා මෙහිදී සමාලෝචනය කෙරිණි.එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ප්‍රවාහන පහසුකම් සහ අතිකාල සේවා වැඩිදියුණු කිරීම මඟින් ගොඩගැසී ඇති වාර්තා ප්‍රමාණය අඩු කර ගැනීමට ගෙන ඇති පියවර ද මෙහිදී අවධානයට ලක් විය.බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අදාළ නීතිමය හා පරිපාලනමය සංශෝධන ඉදිරියට ගෙන යාමටත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයෙන් යුතුව යෝජිත ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමටත් අවශ්‍ය පියවර පිළිබඳව කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.


2026-10-30

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ගරු මැතිව් ජෝන් ඩක්වර්ත් (H.E. Matthew John Duckworth) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems - IFES) නියෝජිතයෝ ද සහභාගී වූහ.මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ සංසදය විසින් ඉටුකරන ලද කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.දිස්ත්‍රික් මට්ටමින් ආබාධ සහිත තැනැත්තන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බවත්, උතුරු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් සාර්ථකව නිම කර ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක 6 ක මෙම වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරයා පැවසීය.ලබන වසරේ අයවැය වෙනුවෙන් ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 50 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යෝජනා රැස් කර ඇති අතර, සෑම අමාත්‍යාංශයකම අයවැය ලේඛනය තුළ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ වැය ශීර්ෂයක් (Disability inclusive budget line) ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත (Disability Bill) සම්මත කිරීමටත්, සංඥා භාෂා පනතක් (Sign Language Act) හඳුන්වා දීමටත්, විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමටත් සංසදය පියවර ගනිමින් සිටී.ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හදිසි අවස්ථාවකදී 119 පොලිස් හදිසි ඇමතුම් සේවාවන් සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි සංඥා භාෂාව පුහුණු කළ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ‘වට්ස්ඇප්’ වීඩියෝ ඇමතුම් සේවාවක් සංසදයේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ආරම්භ කර ඇත.සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ඉටුකරන ලද විශිෂ්ට සේවය උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් පිරිනමනු ලබන 2026 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය නව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (2026 Commonwealth New Parliamentarian Award) හිමිවීම සහ මෙරට ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් ඒ මහතා 10 වැනි පාර්ලිමේන්තුවට පත්වීම ජයග්‍රහණයක් බවත් වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා පෙන්වා දුන්නේය.   සාකච්ඡාවට එක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාව අනෙකුත් ප්‍රජාවට සමගාමීව ඉදිරියට ගෙනයාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සහ ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථයක් බවයි. දත්ත පද්ධති ගොඩනැගීම, සංඥා භාෂා ශබ්දකෝෂ නිර්මාණය ඇතුළු ප්‍රතිපත්තිමය නීති සංශෝධන සඳහා දිගු කාලීනව සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.සංසදයේ ඉදිරි කටයුතු සඳහා සියලු අවශ්‍යතා ආවරණය වන පරිදි පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සියලු පාර්ශවවල සහයෝගයෙන් මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සංසදයේ සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-10-29

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් මිලියන 8 කට අධික අලාභයක් – ‘COPE’ කමිටුවේදී අනාවරණය වෙයි

රෝහලේ ආරක්ෂක හා අභ්‍යන්තර පාලන දුර්වලතා, මූල්‍ය කළමනාකරණ ගැටලු සහ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කාරක සභාවේ අවධානයජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091 ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (ඔක්. 21) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබිණි.2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව විසින් කරුණු විමසන ලදී. එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත භාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්‍රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේ ද යන්න පිළිබඳව කරුණු විමසීය.ඇඳන් 800 කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේ ද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේ ද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා,  ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදා පතිවරුන්  ඇතුළු  ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks