E   |     |  

2026-05-25

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අනුරාධපුර දැරිය අපයෝජන සිද්ධියේ ඉදිරි නීතිමය පියවර සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ සාකච්ඡාවක

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි.

මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (මැයි 25) රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් 2026-06-05 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.

සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්මලි ගුණසිංහ සහ ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ මුලිකත්වයෙන්  යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස, ගරු හේමාලි වීරසේකර මහත්මිය, ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න  මෙනෙවිය, ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය සහ ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය කටයුතු කරනු ඇත.




සම්බන්ධිත පුවත්

2026-09-23

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට අනුකාරක සභාවක්

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළේය.අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි. 2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම හේතුවෙන් ඇති වී තිබෙන වැටුප් විෂමතාව පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේය.ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව මෙහිදී නිලධාරීහු පැවසුහ. එසේම 03/2014 චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයට පත් වන අවස්ථාවේ ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් නැවතත් වැටුප් පරතරයක් ඇතිවන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ 1 වන සහ 2-I ශ්‍රේණිවල සිටින ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් පවතින බවද සාකච්ඡා විය. එබැවින් ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට “උසස්වීමක්” ලෙස සැලකෙන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු විය.ගුරු සේවයේ උසස්වීම් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයකින් පත්වීමක් ලබා පැමිණෙන නව ගුරුවරයෙකුට ගුරු සේවයේ 1 වන ශ්‍රේණිය දක්වා පැමිණීමට වසර 19ක පමණ සේවා කාලයක් ගතවන බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවා ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.මේ අතර, 2030 වසර දක්වා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට පෙර පැවැති ක්‍රමවේදයට අනුව ගුරු පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ වාචිකව එකඟතාවකට පැමිණ ඇති බව ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව, මෙම වසර තුළ B.Ed උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් විය.මෙම බඳවා ගැනීම් දැනට පැවැත්වෙන 23,000ක ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොකර, පළාත් මට්ටමින් පවතින විෂයානුබද්ධ පුරප්පාඩු පදනම් කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡා විය.පාසල් පද්ධතියේ පවතින සැබෑ විෂය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි B.Ed උපාධි පාඨමාලා යාවත්කාලීන කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට 2030 දක්වා කාලය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් විද්‍යාව, ගණිතය සහ ප්‍රාථමික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත B.Ed පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙන ලදී.මේ අතර, දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර 2008-2009 වර්ෂවලදී අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වෙනුවට 12 වන වැටුප් පියවරේ පිහිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 50.8ක පමණ වැඩිපුර වැටුප් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය.2016 වසරේදී මෙම කරුණ අනාවරණය වී ඇති අතර, 2022 වසරේදී ඒ පිළිබඳ  විගණන විමසුමක් මගින් විමසා ඇති බවත්, මේ වන විට වැටුප් වර්ධක අත්හිටුවීම සහ වැටුපෙන් අයකර ගැනීම මගින් රුපියල් මිලියන 15.1ක මුදලක් අයකරගෙන ඇති බවත් සඳහන් විය.මෙම පරිපාලනමය දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බවත්, ඔවුන් වෙත නිකුත් කළ පත්වීම් ලිපිවල නිශ්චිත වැටුප් තලයක් සඳහන් කර තිබූ බවත් මෙහිදී පැමිණි පිරිස විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව, සේවකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සාධනීය මැදිහත්වීම ලබාගැනීම සඳහා ඔහුගේ අවධානයට ලිපියක් යොමු කිරීමටද කාරක සභාව තීරණය කළේය.


2026-09-21

SLIATE ආයතනවල ගැටලු හා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුකාරක සභාව රැස්වෙයි

දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට  අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11)  රැස් විය.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්‍රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්‍ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමග  පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් මෙම අනුකාරක සභාව පත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පැවති රැස්වීමේදී ATI ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ ඉදිරි සංවර්ධනය සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙහිදී SLIATE පද්ධතිය සතු සම්පත් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම, යල් පැන ගිය යටිතල පහසුකම් හා තාක්ෂණික උපකරණ, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු මෙන්ම වැටුප් හා දීමනා විෂමතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී .එමෙන්ම ඇතැම් ATI ආයතනවල පරිපාලන ගැටලු සහ ශිෂ්‍ය දේශක අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, නේවාසික පහසුකම් හිඟය, ජීවන වියදම සහ ශිෂ්‍ය සුබසාධන ගැටලු හේතුවෙන් සිසුන් පාඨමාලා අතහැර යාම ආදී  ගැටලු  පිලිබදව එම ආයතනවල සිසුන් සහ නිලධාරීන්  කාරක සභාවට කරුණු දැක්වුහ.රැකියා වෙළඳපොළ තුළ HND සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද එම ආයතන කාරක සභාවේ අවධානයට  යොමු කල අතර, HND පාඨමාලා උපාධි මට්ටම දක්වා උසස් කිරීම, විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු යෝජනා ද එම ආයතන  විසින් ඉදිරිපත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


2026-09-18

පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වා මහතාට

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය  සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (CPA New Parliamentarian Award 2026) හිමි කර ගත්තේය.දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී ඊයේ (සැප්. 17) පැවති 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී මෙම සම්මානය ඒ මහතා වෙත නිල වශයෙන් පිරිනැමිණි.2024 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දායක වී තිබේ. විවිධ ආයතන සමඟ සහයෝගයෙන් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද ඒ මහතා කටයුතු කර ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සහභාගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සහභාගිත්ව අයවැය උපදේශනය මෙහෙයවීම ඒ අතර ප්‍රධාන වේ.


2026-09-18

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට විශේෂ කාරක සභාව තීරණය කරයි

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10)  රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks