පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා මාලදිවයින් ජනාධිපති ගරු (ආචාර්ය) මොහොමඩ් මුයිසු මහතා හමුවිය.
මාලදිවයින් ජනාධිපති (ආචාර්ය) මොහොමඩ් මුයිසු මහතා සහ ඔහු සමඟ පැමිණි දූත පිරිස කොළඹ හිල්ටන් හෝටලයේදී උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව මෙම හමුව සිදුවිය.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සමීප හා දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන බව ගරු කථානායකතුමා සඳහන් කළ අතර අඛණ්ඩ සහයෝගීතාවය තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වන සංවත්සරය සිහිපත් කරමින්, දෙපාර්ශ්වයම ඔවුන්ගේ ශක්තිමත් ඓතිහාසික, සංස්කෘතික සහ ජනතාව අතර සබඳතා නැවත තහවුරු කළහ.
පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර, ව්‍යවස්ථාදායක ද්විත්වය අතර සමීප සබඳතාවක් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ කාර්යභාරය ගරු කථානායකතුමා විසින් පෙන්වාදෙන ලදී.
යහපාලනය, විනිවිදභාවය, දූෂණ විරෝධී පියවර, කාර්යක්ෂමතාව සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ඩිජිටල් පරිවර්තනය ඇතුළු ආර්ථික සහයෝගීතාව සහ ජාතික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡාවලදී අවධානය යොමු විය.
මාලදිවයින් සිසුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීම සහ මාලදිවයින් හෝටල් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව දක්වන දායකත්වය මෙන්ම මාලදිවයිනේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාවට දක්වන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරමින් දෙරට ජනතාව අතර ශක්තිමත් සබඳතා කථානායකවරයා අවධාරණය කළේය. එසේම ශ්‍රී ලාංකික ධීවරයින්ගේ සමුද්‍රීය කටයුතුවලට අදාළව ලබා දෙන අඛණ්ඩව සහයෝගීතාවය පිළිබඳව ද ඔහු සිය කෘතවේදීත්වය පළ කළේය.
මාලදිවයින් ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කළ අතර ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කළේය.
මෙම හමුවට මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු රිස්වි හසන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ පාර්ලිමේන්තු ලේකම් මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
2026-05-30
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලෝකවාසී බෞද්ධ ජනතාවට වගේම අද දිනය ශ්‍රී ලාංකිකයින් ලෙස අපට අතිශයින්ම වැදගත් වන්නේ අප රටේ සමාජීය සංස්කෘතික මූල පද්ධතියේ උරුමය රඳා පවතින්නේ බුදු දහම මත නිසා ය.මෙවර වෙසක් දින තේමාව වන්නේ ද " අභිත්ථරෙථ කල්‍යාණේ" වේ. එනම් "පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු" යන්නයි. පොදු ජන හිත සුව පිණිස සියල්ල හැර දා තම ජීවීත කාලය කැප කළ අප ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වන ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අප වෙත ගත හැකි උතුම්ම ආදර්ශයක් වන්නේ ද එය යි. ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දුන් පසුගිය ස්වභාවික විපත් හමුවේ අපගේ ශ්‍රී ලාංකික ජාතිය පීඩාවට පත් අනෙකාගේ යහපත වෙනුවෙන් පෙනී සිටි ආකාරය මගින් අප සමාජය තුළ ඇති මෙම බෞද්ධ ආගමික හරයන් මැනවින් පිළිබිඹු කළ බව ද මම විශ්වාස කරමි.ඒ නිසා බුදුරදුන් අනු දැන වදාළ ප්‍රෞඪ ආධ්‍යාත්මික පණිවිඩයට අනුව ජීවිතය ගත කිරීමේදී සෑම විටම පොදු ජන හිත සුව පිණිස ක්‍රියා කළ යුතු වන්නෙමු. පීඩාවට පත්වන අනෙකා වෙනුවෙන්, වගේම පොදු සමාජයක යහපත වෙනුවෙන් ක්‍රියාකළ හැකි සමාජයක් බිහිකිරිමේ අත්තිවාරමේ එක් කුළුණක් දරා සිටින්නේ ආගමයි. ඒ සදහා ආගම තුළ ද නව පුනර්ජීවනයක් උදා කරගත යුතුය. එවැනි ආගමික ප්‍රබෝධයක් මගින් සමාජ ප්‍රබෝධයක් බිහි කර ගත හැකි බවත් ඒ ඔස්සේ වඩාත් සුවපත් සමාජයක් උරුම කරගත හැකි බවටත් මම විශ්වාස කරමි.ඒ අනුව මේ උතුම් වූ තෙමඟුල් දින මුළු මහත් සමාජයක් ලෙස පොදු යහපත වෙනුවෙන් සෑම විටම කැප වීමට, ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමට ආරාධනා කරමින් අද දින වෙසක් උත්සවය සමරන ශ්‍රී ලාංකික සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යක් වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ සැමට තෙරුවන් සරණයි...!වෛද්‍ය ජගත් වික්‍රමරත්නකථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2026-05-27
මහජන චීන සමූහාණ්ඩුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන වැඩමුළුවකට සහභාගී වීම සඳහා, ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්නගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිසක් පසුගිය 25 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙතින් පිටත්ව ගියහ. මන්ත්‍රීවරයන් විසිදෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් සිව්දෙනෙකුගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වේ.2026 මැයි 25 සිට ජූනි 05 දක්වා බීජිං සහ ගුවැන්ඩොං පළාතේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගීතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබයි.මෙම නියෝජිත පිරිස 2026 මැයි 25 වැනි දින බීජිං නුවරට පැමිණි අතර, 2026 මැයි 26 වන දින බීජිං හි ෆෙන්හුයි (Fenghui Centre) මධ්‍යස්ථානයේදී පැවැති වැඩමුළුවේ නිල සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් සමාරම්භක උත්සවය අමතමින්, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශයක් සිදු කළාය. බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියූ අයිජුන් (Qiu Aijun) මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.දේශන, සාකච්ඡා, ආයතනික සංචාර සහ ක්ෂේත්‍ර සහභාගිත්ව කටයුතු සමග බීජිං, ෂෙන්සෙන් සහ ගුවැන්ඩොං පළාතේදී පැවැත්වෙන මෙම වැඩසටහන තුළදී පාලනය, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් නවීකරණය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.ශ්‍රී ලංකාව මෙම වැඩමුළුවට සහභාගී වීම මගින්, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වය වැඩිදියුණු කිරීමට සහ ආයතනික සහයෝගීතාව මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට දෙරටෙහිම ඇති කැපවීම අවධාරණය කෙරේ.නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චාමර සම්පත් දසනායක, රෝහණ බණ්ඩාර, ඩබ්.එච්.එම්. ධර්මසේන, උපුල් කිත්සිරි, තාහීර් මරික්කාර්, චන්දන තෙන්නකෝන්, ධර්මප්‍රිය දිසානායක, සුසන්ත කුමාර නවරත්න, නන්දන පද්මකුමාර, ස්ටෙෆනි ප්‍රනාන්දු, (වෛද්‍ය) ශ්‍රී භවානන්දරාජා, ඊ.එම්. බස්නායක, මොහොමඩ් ෂරීෆ් ෆස්මින්, (වෛද්‍ය) පද්මනාදන් සත්‍යලිංගම්, දිනේෂ් හේමන්ත පෙරේරා, සමන්ත රණසිංහ, අබ්දුල් වසීත් සහ රොෂාන් අක්මීමන යන මහත්වරුන්ගෙන් මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමන්විත වේ.තවද මෙම නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (මුදල්) ගමගේ සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ලාල් කුමාරසිරි සහ ප්‍රධාන සන්ධාන නිලධාරිනී අමා විතානගේ යන මහත්ම මහත්මීහු ද ඇතුළත් වෙති.
2026-05-22
ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, තරුණ කටයුතු හා ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) අතර සාකච්ඡාවක් පසුගියදා (මැයි 20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙහිදී, ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු විය.ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීමේ සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී පැහැදිළි කළේය.මෙහිදී අදහස් දැක්වූ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය, සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළාය. ශක්තිමත් අන්තර් -පාර්ලිමේන්තු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා කියුබානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ද කැපවන බව ඇය සඳහන් කළාය.සමීප සබඳතා සහ සාකච්ඡා වර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයින් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය. කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම දින ශත සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන අනුස්මරණ උත්සව වලට සහභාගී වන ලෙස ද ඇය ගරු මන්ත්‍රීවරයන්ට ආරාධනා කළාය.ශ්‍රී ලංකාවෙන් කියුබාවට ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ මෙහිදී අදහස් පළ කළහ.තානාපතිවරිය කියුබාවේ වත්මන් තත්ත්වය සහ අභියෝග පිළිබඳව ද ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් දැනුවත් කළාය.
2026-05-19
“ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (මැයි 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මෙම පනත් කෙටුම්පත හෝ එහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය. “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු 22 වන වගන්තිය සහ 39 වන වගන්තිය හැර, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. කෙසේ වෙතත්, අධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 22 වන වගන්තිය සහ 39 වන වගන්තිය සංශෝධනය කළහොත්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද කථානායකවරයා සඳහන් කළේය.උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අද දින (19) කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද කථානායකවරයා නියෝග කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks