පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-04-10
පුවත් කාණ්ඩ : පුවත්
ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය.
විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 6.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 49 ක් පමණි.
2026-05-14
පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මැයි 19 අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව. 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.මැයි 20 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය විී ඇත.මැයි 21 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇති) විවාදයට ගැනීමට නියමිතය. මැයි 22 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
2026-05-14
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පසුගියදා සිදු විය. මේ අනුව රු. 20.00 සහ රු.70.00 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරිණි.ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කළ අතර මේ මගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය උදා වනු ඇත.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගී වුහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පි. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026-05-13
ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සඳහා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, පිළියන්දල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ කුමුදු හේමමාලි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදය මගින් අනාගත ක්‍රියාකාරී නායකයන් බිහිකරගැනීමට අවස්ථාව සැලසෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය. එසේම ශිෂ්‍ය අවධියේදීම නිපුණතා සහ දක්ෂතා වැඩිදියණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය අදහස් දැක්වූ අතර සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. ආර්. හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි සංයුතිය සහ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.වැඩසටහන අවසන් කරමින් ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්.කේ.කේ.එම්. ප්‍රනාන්දු මහත්මිය විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
2026-05-12
නියෝජිත පිරිස ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ සාකච්ඡා පවත්වතිඅධිකරණ කටයුතුවලට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට චීන නියෝජිත පිරිස සහභාගී වෙතිමහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජික සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනි ගරු (මහාචාර්ය) ෂින් චුන්යිං (Xin Chunying) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. නියෝජිත පිරිසට මහජන චීන සමූහාණ්ඩුවේ ස්ථාවර කමිටු සාමාජික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ උප සභාපති ගරු කොන්ග් බින් (Cong Bin) , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සාමාජික ගාඕ සිචෙන්ග් (Gao Zicheng) ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් ද ඇතුළත් වූහ.පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.නියෝජිත පිරිස පිළිගනිමින්, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර දෙදහසකට අධික කාලයක් පුරා පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කළේය. එසේම දෙරට අතර ආරම්භ වූ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරේදී සැමරීමට නියමිත බවත් ඔහු පැවසීය.දිගුකාලීන මිතුරෙකු ලෙස දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගයට ගරු කථානායකතුමා චීන රජයට සිය කෘතඥතාව පළ කළේය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු අවස්ථාව, මෑත කාලීන ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ඇතුළු මෙරට දුෂ්කර කාලවලදී චීනය දැක්වූ සහාය ඔහු විශේෂයෙන් සිහිපත් කළේය.ගරු (මහාචාර්ය) ෂින් චුන්යිං මහත්මිය ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් සහ කල් පවතින සබඳතා නැවත අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සංවර්ධන උත්සාහයන් පිළිබඳ ප්‍රශංසා කළාය. දෙරටේ ව්‍යවස්ථාදායක අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළ අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩි කිරීම සඳහා චීනය අඛණ්ඩව සහය දක්වන බව පැවසුවාය.අනතුරුව, දූත පිරිස ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ගරු සභාපති, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූහ. අභියෝගාත්මක කාලවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳව ගරු අමාත්‍යවරයා චීනයට සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් වැඩි දියුණු කිරීම, ප්‍රතිපත්ති සම්පාදනයේ සහයෝගීතාව සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තනුර දිසානායක සහ නීතිඥ අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.ඉන්පසුව, දූත පිරිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට සහභාගී වූහ.මෙම රැස්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික යන මහත්වරුන් ඇතුළු මෙම කාරක සභා ද්විත්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති අංශ සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳව සභාපතිවරු දෙදෙනාම කෘතඥතාව පළ කළහ. එසේම මෙහිදී දෙරටේ නීතිමය සහ අධිකරණ භාවිතයන්, පාලනය සහ ආයතනික සහයෝගීතාව පිළිබඳව අදහස් හා අත්දැකීම් ද හුවමාරු කර ගැනීම සිදු විය.අනතුරුව ගරු කථානායකතුමා විසින් දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks