පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-04-10
පුවත් කාණ්ඩ : පුවත්
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (අප්‍රේල් 09) සිය සහතිකය සටහන් කළේය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 2026.04.07 දින පැවති අතර පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත විය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ව්‍යාපාර පිරිවැටුම් සීමාව අඩු කිරීම සහ මෝටර් වාහන සම්බන්ධයෙන් අදාළ ඇතැම් නිදහස් කිරීම් සංශෝධනය කිරීමේ අපේක්ෂා කර ඇත.
මෙම පනත මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ බදු පදනම පුළුල් කරමින්, වාර්ෂිකව පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කෙරේ. එමෙන්ම සංශෝධිත සීමාවට අනුකූලව නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ විධිවිධාන ද හඳුන්වා දෙන අතර මෝටර් වාහන සම්බන්ධ නිදහස් කිරීම් සංශෝධනය කර ඇත.
ඒ අනුව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක10 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-04-14
සොබාදහමේ වසන්ත උදානයත්, සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයට අනුව සූර්යා මීන රාශියෙන් මේශ රාශියට පැමිණීමත් සනිටුහන් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනට යෙදී තිබේ. එමනිසා ප්‍රථමයෙන්ම දේශීය ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම ගතින් මව්බිමෙන් දුරස් වුවත් මේ මොහොතේ හෘදයාංගමව මව්බිම සමග බැඳෙන විදේශයන්හී වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවටත් සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය හුදෙක් නව වසරක උදාවක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමයක් අනාගත පරපුරට පවරමින් මහත් උද්‍යෝගයෙන් යුතුව සමරන්නා වූ ජාතික උත්සවයකි. ඒ වගේම නව වසරක උදාවත් සමඟ සාමය, සතුට, සෞභාග්‍ය වගේම එක් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් එකට එක්ව, එක් වේලාවකින් තම දෛනික වැඩ ඇරඹීමත් මගින් ජාතියක් ලෙස අපගේ එකමුතුකම ලොව හමුවේ පිළිඹිබු කරයි. අලුත් අවුරුද්දේ සැබෑ සංකේතයන් වන්නේ ද පැරණි අමනාපකම් වාද-බේද දුරැර, නව අරමුණුවලින් සන්නද්ධව සහයෝගීත්වය-සහෝදරත්වය වර්ධනය කරගෙන නව වසරේ දී තම ජිවිතවලට නව ආරම්භයක් ගැනීමයි.ආර්ථීක වශයෙන් රටේ පැවති අර්බුදකාරි අභාග්‍යමත් සමයෙන් ටිකෙන් ටික මිදෙන මොහොතක් මේ වන විට අප පසුකරමින් සිටියි. ඒත් සමග ගෙවුනු වසරේ දී රටක් වශයෙන් “දිත්වා” වැනි විශාල ස්වභාවික විපතකට අභියෝගාත්මකව මුහුණ දීමට ද සිදු විය. නමුත් ඉන් නොවැටී ඉතා ඉක්මනින්ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස යළි නැගී සිටීමට අපට හැකි විය. එම ධෛර්‍යසම්පන්න ශක්තිය මේ මොහොතේ අත්දකිමින් ඉන්නා වූ මැද පෙරදිග යුධමය අභියෝගයට මුහුණ දීමට ද අපට උපකාරී වනු ඇත. ඒ නිසා මේ වසරේ උදා වූ අලුත් අවුරුද්ද, සහයෝගීත්වය, එකමුතුකම වැනි අලුත් අවුරුද්දේ සැබෑ අර්ථයන් ප්‍රායෝගික කරන්නා වූ වසරක් බවට මම විශ්වාස කරමි. එනයින් පැමිණෙන සියලු බාධක අභියෝගයන් නොබියව ජයග්‍රහණය කරගනිමින් සෞභාග්‍යමත් අනාගතයක් සහිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් අත්වැල් බැඳගනිමු’යි යන්න ඔබට ආරාධනා කරමි. අප සැමගේ එම පොදු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අප ඉදිරියටත් ඔබ අප වෙත තැබූ විශ්වාසය රකිමින් ඒ වෙනුවෙන් කැපවෙන්නෙමු. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගරු කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2026-04-10
ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය.විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 6.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 49 ක් පමණි.
2026-04-07
ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ එක්දින විවාදයක් පාර්ලිමේන්තුව හෙට (අප්‍රේල් 08) රැස්වීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළේය.පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් හෙට (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි. ඒ අනුව අද දින එළැඹි තීරණයට අනුව හෙට පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 10.30 - පෙ.ව. 11.00 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත.තවද ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ. මේ අතර එළඹෙන සිංහල - දමිල අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය විය.
2026-04-02
2026 මාර්තු 26 සිට අප්‍රේල් 8 දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පස්වන සහ සයවන සමාලෝචනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ගරු කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හමුවූහ. මෙම නියෝජිත පිරිසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අංශ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා (Evan Papageorgiou) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයන් පිරිසක් ඇතුළත් වූහ.නියෝජිත පිරිස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සමඟ පැවති සාකච්ඡාවේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. දසවන පාර්ලිමේන්තුව, තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් දරන සහ ආබාධ සහිත ප්‍රජාව සඳහා නියෝජනයක් ඇතුළුව මෙරට විවිධත්වය පිළිබිඹු කරන ශක්තිමත් සහ සියලු පාර්ශ්වවලට අවස්ථාව හිමිවී ඇති (Inclusive) ව්‍යවස්ථාදායකයක් නියෝජනය කරන බව ඔහු පෙන්වා දුන්නේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ කැපවීම කථානායකතුමා නැවත තහවුරු කළ අතර ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ දූෂණ විරෝධී පනත වැනි ප්‍රධාන නීති සම්පාදන පියවර, මූල්‍ය විනය සහ යහපාලනය සහතික කිරීම සඳහා වැදගත් බව ඒ් මහතා සඳහන් කළේය.රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ශක්තිමත් කිරීම සහ අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම සඳහා ශක්තිමත් පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන නියෝජිතයින්ගේ ධාරිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සැලසුම් පිළිබඳව ද කථානායකවරයා කරුණු දක්වන ලදී. මීට අදාළව ධාරිතා වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද ඔහු විමසා සිටියේය.මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අංශ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතින බව බැවින් ඒ අනුව රට ධනාත්මක ආර්ථික ගමනක නිරත වන බවයි. නීති සම්පාදනයේ සහ ප්‍රතිපත්ති අධීක්ෂණයේ ආරක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවේ තීරණාත්මක කාර්යභාරය ඔහු අවධාරණය කළ අතර, ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.මෙරට ආර්ථික දැක්ම කෙරෙහි මැදපෙරදිග ගැටුම්වල බලපෑම මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසු සහන ලබා දීම, ඇතුළු කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.අනතුරුව නියෝජිත පිරිස පක්ෂ නායකයින් හමුවූ අතර ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, දිලිත් ජයවීර, ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා යන මහත්වරු ඊට සහභාගී වූහ.මෙම රැස්වීමේදී, දිට්වා සුළි කුණාවෙන් පසු පවතින ප්‍රතිසංස්කරණ අභියෝග සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඇතුළු වත්මන් ආර්ථිකය පිළිබඳව පක්ෂ නායකයින් අදහස් හුවමාරු කර ගත්හ. ගාස්තු ඉහළ දැමීම, උද්ධමන කළමනාකරණය, බාහිරින් එල්ලවන පීඩනයන් සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තිරසාර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය වැනි ප්‍රධාන කරුණු කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු විය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ සංචාරයකට ද සහභාගී වූහ.පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් (නීතිඥ) හංස අබේරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීම්වලට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks