පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-03-24
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති ගරු අමාත්ය (වෛද්ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පළමුවරට 2026.03.19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආ පදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානය සහ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.
එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින් අවශ්ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.
මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්රණයක් සකසා ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.
මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික ගරු මන්ත්රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්රභු, රුවන් මාපලගම, (වෛද්ය) පත්මනාදන් සත්යලිංගම් යන මහත්ම මහත්මීන් මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව ගරු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාද සහභාගී වූහ.
2026-10-16
අධ්යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස ගරු අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. ගරු අග්රාමාත්යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. සාමාන්ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සඳහා Wi-Fi පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්ය ක්රමයකින් අන්තර්ජාලය සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා මෙරට ආරම්භ වූ චන්ද්රිකා අන්තර්ජාල පහසුකම් සපයන නව සමාගමක් මගින් අන්තර්ජාලය ලබා දීමට ව්යාපෘති යෝජනාවක් මගින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව නිලධාරිහු සඳහන් කළහ.පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්රික් හා ප්රාදේශීය මට්ටමින් ප්රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.තෝරාගත් ප්රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ ප්රගතිය විමසා බැලූ අතර, ප්රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්රාථමික අංශවල එක් ශ්රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්රාමාත්යවරිය උපදෙස් ලබා දුන්නාය. තවද අලුතින් සැලසුම් කෙරෙන ප්රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බව අවධාරණය කෙරිණි.පරිවාස භාරයේ පසුවන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අධිකරණ නියෝග මත පදනම්ව කටයුතු කිරීමටත්, එම දරුවන්ට අනවශ්ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්රලේඛ ක්රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්රියාවලියේදී අනුප්රාප්තිකයින් නොමැති වීම හේතුවෙන් විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන් මුදා නොහැරීම නිසා ඇතැම් ගුරු ස්ථාන මාරු සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට සිදු වූ බව අනාවරණය විය. අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අවශ්ය ගුරුවරුන් ප්රමාණය බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට කාරක සභාවෙන් උපදේශ ලැබිණි. තවද, පාසල් වෙත පත් කර සිටින ක්රීඩා පුහුණුකරුවන්ගේ රාජකාරි නිරීක්ෂණය විධිමත් කිරීම, රාජකාරි වේලාවන් නියම කිරීම සහ පළාත් හා ජාතික මට්ටමින් ස්ථාන මාරු ප්රතිපත්තියක් සැකසීම පිළිබඳව ද සාකච්ඡා විය.විශේෂ අවශ්යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්රවේශ පහසුකම්වල (Accessibility) දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එම පාසල් සඳහා පවතින අවශ්යතා පිළිබඳව ජාතික විගණනයක් (Audit) සිදු කිරීමටත් විශේෂ ප්රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.පෙර පාසල් අධ්යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්රමිතියකින් තොරව සහතික පත්ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්රතිපත්තියක් සැකසීමේ අවශ්යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මේ අතර, උසස් අධ්යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්රගතිය, එම අනුකාරක සභාවේ සභාපති, ගරු නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්රගතිය එම අනු කාරක සභා සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ද කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ගරු නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා ද ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ද අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය නියෝජනය කරන නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-10-15
වතු හා ප්රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, ගරු වතු හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස්විය.මෙහිදී වතුකරයේ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරු අමාත්යවරයාගේ අවධානය යොමු කළහ. වතු ඉඩම්වල භාවිතයට නොගන්නා කොටස් ප්රයෝජනයට ගැනීම, වතුකරයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සහ ඔවුන්ට නිවාස පහසුකම් සලසා දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.වතු හා ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය ගරු සුන්දරලිංගම් ප්රදීප් මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරු රැසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-10-15
කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ ව්යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 08) පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ අදාළ නීතිමය හා පරිපාලනමය කරුණු පිළිබඳව අවධානය යොමු විය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්ය අමාත්යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්මවරු සහභාගී වූහ.මෙහිදී මූලෝපායික වැදගත්කමක් සහිත ව්යාපාර (BSI) ලෙස මෑතකදී ගැසට් කර ඇති ව්යාපාර සහ ඉදිරි ආයෝජන සැලසුම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙන්ම වරාය නගරයේ මහල් නිවාස සංකීර්ණ ව්යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඒවා අලෙවි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.කොළඹ ප්රධාන වාණිජ කලාපයට ආසන්න ප්රදේශයේ ආයෝජන ප්රවර්ධනය කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දී ඇති බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 6ක් බදු දීම සඳහා අවශ්ය සැලසුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ.තවද, රජයට අයත් ඉඩම් කොටස් 4ක්, (මුළු ඉඩම් වෙන් කිරීමෙන් 1/7 ක ප්රමාණයක්), වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව නිලධාරීහු පැවසූහ. මේ දක්වා බදු දී ඇත්තේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගමට අයත් ඉඩම් කොටස් පමණක් බව ද ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කළහ.මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර, එහි සාමාන්ය වටිනාකම වර්ග මීටරයකට ඇමරිකානු ඩොලර් 3,000ක් වන බව නිලධාරීහු සඳහන් කළහ. එසේම, (මුළු කල්බදු මුදලින් 1% කට සමාන) රුපියල් මිලියන 398ක මුදලක් මේ වන විට කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මූල්ය විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්රියාත්මක කර ඇති නියාමන ක්රමවේද පිළිබඳව ද කාරක සභාව විමසා බැලීය. එමෙන්ම, විදේශීය ශ්රමිකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගනිමින් අධීක්ෂණය කිරීමේ ප්රායෝගික හැකියාව පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. වරාය නගරය තුළ නීතිවිරෝධී ක්රියාකාරකම් වැළැක්වීම සහ රටේ ජාත්යන්තර ප්රතිරූපය ආරක්ෂා කිරීම සඳහා අදාළ නියාමන කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.මහල් නිවාස සංකීර්ණ සහ නේවාසික ව්යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් විසින් සිදුකරනු ලබන පූර්ව ගෙවීම් වල (Pre-Sale Deposits) ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී ප්රශ්න කෙරිණි. එහිදී, විදේශීය ආයෝජකයන්ගෙන් ලබා ගන්නා එම මුදල් අදාළ ව්යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්රියාත්මක වන එස්ක්රෝ (Escrow) ගිණුම් ක්රමවේදය පිළිබඳව අවධානය යොමු විය.එමෙන්ම වරාය නගරයට ලැබී ඇති සැබෑ විදේශීය ආයෝජන ප්රමාණය, අනුමත ව්යාපාරවල වත්මන් ක්රියාකාරීත්වය සහ ඒවා මඟින් අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කර තිබේද යන්න පිළිබඳව ද තොරතුරුද කාරක සභාවේ සාකච්ඡා විය.
2026-10-14
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දෙන ලදී.ඒ,මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. මැතිවරණ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මින් පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන් ද ඇතුළත්ව ඒවා සම්බන්ධයෙන් ගැඹුරින් සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා උක්ත විද්වත් කමිටුව පත් කෙරිණි. වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්රී රත්නායක, කැලණිය විශ්වවිද්යාලයේ සමාජ විද්යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සාමාජිකයන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති ගරු අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා , යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාර දී ඇති බව පැවසුවේය.මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද, රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබේ.එමෙන්ම, මහජන අදහස් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්ය නම් සිය පෞද්ගලික යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.මෙම රැස්වීමෙන් අනතුරුව, කාරක සභාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ගරු සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ ප්රධානත්වයෙන් මාධ්ය සාකච්ඡාවක් ද පවත්වන ලදී.මෙම කාරක සභා රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන ගරු අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ, ගරු නියෝජ්ය අමාත්යවරුන් වන නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks