පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුව අප්‍රේල් 7, 9 සහ 10 දිනවල රැස්වීමට නියමිත ය.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.03.19 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
ඒ අනුව 2026 අප්‍රේල් 7 වැනි අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 4.45 දක්වා ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය.
තවද, 2026.03.17 දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් මෙදින දෙවනවර කියවීමට තීරණය වී ඇත.
අනතුරුව ප.ව. 4.45 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ. එසේම ප.ව. 5.30 ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.
අප්‍රේල් 8 වැනි බදාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ.
2026 අප්‍රේල් 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 දක්වා (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග විවාදයට ගැනේ. තවද මහජන ආරක්ෂක ආඥා පනත යටතේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතුමා විසින් ප්‍රකාශන පළ කරනු ලැබුවහොත් ඊට අදාළ වූ යෝජනා සම්මත ද්විත්වය ද මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇත.
ඉන්පසු ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.
2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර තිබේ.
2026-03-20
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (මාර්තු 20) සිය සහතිකය සටහන් කළේය. ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් ණයට දීමේ හා ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා නව නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සළසනු ලැබේ. මෙම අධිකාරියේ අරමුණ වන්නේ බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ බලපත්‍රලාභී ක්ෂුද්‍රමුල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීම , එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව සහ අනෙකුත් නියාමන අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමයි. එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළින් 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත පරිච්චින්න කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම ද සිදුවේ.ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2025 නොවැම්බර් මස 26 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 මාර්තු 4 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ අනුව ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2026 අංක 9 දරන ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස අද (20) සිට බලාත්මක වේ.
2026-03-20
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (House Democracy Partnership / HDP) එක්ව සංවිධානය කිරීමට යෝජිත පුහුණු වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අතර 2026. 03.17 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.ව්‍යවස්ථාදායක කාර්යයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් යෝජිත පුහුණු වැඩසටහන් මාලාවක් පිළිබඳව ගරු කථානායකවරයා දැනුවත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ මග පෙන්වීම සහ අනුමැතිය ලබා ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය. 2025 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership / HDP) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබිණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී ව්‍යවස්ථාදායක අධීක්ෂණ කටයුතු සහ රාජ්‍ය මූල්‍ය වැනි ක්ෂේත්‍රවල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් තුළ විශාල උනන්දුවක් පැවති බවත් මෙහිදී සාකච්ඡා විය.ඒ අනුව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා පුහුණු වැඩසටහන් සහ විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන සංවාද සදහා අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කර ඇත. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනපද දේශපාලන ආර්ථික උපදේශක ඇන්තනි පර්නොට් මහතා (Anthony Pirnot) පැවසුවේ, අයවැය සහ මූල්‍ය අධීක්ෂණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සමඟ එක්ව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ එක්සත් ජනපද විශේෂඥයින් විසින් පවත්වනු ලබන වැඩමුළු සංවිධානය කිරීමේ හැකියාව ඇති බවයි. එසේම ශ්‍රී ලංකා - එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා පහසුකම් සලසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුළුල් සහභාගීත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔවුහු සඳහන් කළහ.එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (House Democracy Partnership / HDP) සහ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගරු කථානායකතුමා සිය කෘතඥතාව පළ කළේය. එසේම යෝජිත වැඩසටහන් සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදුකරමින් සිය සහයෝගය හිමිවන බව ද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රගතිශීලී පියවර පිළිබඳ සඳහන් කරමින් ගරු කථානායකවරයා පෙන්වා දුන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් ලබා දෙන නිර්දේශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකි වන පරිදි ස්ථාවර නියෝග සඳහා සංශෝධන හඳුන්වා දුන් බවයි.තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ගරු කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය. එක්සත් ජනපද තානාපති කාර්යාල නියෝජිත පිරිසට දේශපාලන ආර්ථික උපදේශක ඇන්තනි පර්නොට්, දේශපාලන නිලධාරී ඇඩම් මිචෙලෝ සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් යන මහත්ම මහත්මීහු ඇතුළත්ව සිටියහ.
2026-03-17
පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට අද (මාර්තු 17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය විය. ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය වී තිබේ.ඒ අනුව 2026 මාර්තු 19 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට මෙහි දී තීරණය වී ඇත. එසේම, ප.ව. 2.00 - ප.ව. 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් ගෙනෙනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.2026 මාර්තු 20 වැනි සිකුරාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් 2026.03.19 දින ඉදිරිපත් කරන ලද “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-03-12
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2026.03.06 දින සිය සහතිකය සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත් දෙක 2026 පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු වේ.ඒ අනුව විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත් කෙටුම්පත, 2026 අංක 7 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත ලෙස සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 8 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks