බලන්න

01

E   |     |  

2026-02-26

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තුව මාර්තු 3 සිට 6 දක්වා රැස්වෙයි

  • ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 4 වැනිදා
  • ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් මාර්තු 5 වැනිදා



පාර්ලිමේන්තුව මාර්තු 3 සිට 6 දක්වා රැස්වීම‍ට නියමිත ය. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2026.02.18 වැනිදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය වී තිබේ. 

ඒ අනුව 2026 මාර්තු 3 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය. 

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව විපක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

2026 මාර්තු 4 වැනි බදාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත් පෙ.ව. 10.30 - පෙ.ව. 11.00කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.  

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවැත්වෙනු ඇත. එසේම  ප.ව. 5.00 - ප.ව. 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

2026 මාර්තු 5 වැනි බ්‍රහස්පතින්දා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටත් තීරණය වී ඇත.

2026 මාර්තු 6 වැනි සිකුරාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව පහත සඳහන්  පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.



ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නම
ගරු හේෂා විතානගේ මහතාජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.
ගරු චමින්ද විජේසිරි මහතාවෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම.
ගරු රවී කරුණානායක මහතාසංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම.
ගරු ලාල් ප්‍රේමනාත් මහතාබිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.
ගරු රෝහණ බණ්ඩාර මහතාමහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතාෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම.


අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ. 





සම්බන්ධිත පුවත්

2026-03-03

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් - පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

2026 මාර්තු 6 වැනි සිකුරාදා දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය. ඒ අනුව එදිනට නියමිතව තිබූ  පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනත් දිනකදී විවාදයට ගැනීමටත් ඒ වෙනුවට 2026.02.28 දිනැති අංක 2477/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ගරු ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති ප්‍රකාශනය ඇතුළු යෝජනා සම්මතය පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය. අනතුරුව ප.ව. 5.00ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටත් නියමිතව ඇත.මේ අතර පෙර තීරණය කර තිබූ පරිදි එදින පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. එසේම  පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. එසේම  බදාදා (04)  සහ බ්‍රහස්පතින්දා (05) දිනවල පාර්ලිමේන්තු කටයුතු පෙර තීරණය කර තිබූ පරිදිම සිදු කෙරෙනු ඇත.


2026-02-25

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා හංගේරියානු නියෝජ්‍ය කථානායකවරයා මෙරට කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාපාර්ලිමේන්තු කාරක සභා සමග කෘතීම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳවත් ද්විපාර්ශ්වික සාකච්ඡා හංගේරියානු ජාතික සභාවේ ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය ලජොස් ඕලා මහතා (Dr. Lajos Oláh) ශ්‍රී ලංකාවේ සිය දෙදින නිල සංචාරය අතරතුර 2026.02.23 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.හංගේරියානු නියෝජ්‍ය කථානායකවරයා පිළිගනිමින්, මෙරට කථානායකවරයා හංගේරියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරට ජනතාව අතර පවතින ශක්තිමත් සම්බන්ධතාවය සහිපත් කළේය. විශේෂයෙන් මෙරට මාර්ග සංවර්ධනය සහ ජල පිරිපහදු ව්‍යාපෘති සඳහා මෙන්ම GSP සහන ඇතුළුව යුරෝපීය සංගමය සහ අනෙකුත් ජාත්‍යන්තර තලයේ ලබා දෙන සහාය සඳහා හංගේරියාවේ අඛණ්ඩ සහයෝගයට ඔහු කෘතඥතාව පළ කළේය.දූෂණය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා නව රජයේ කැපවීම පෙන්වා දුන් කථානායකවරයා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව අවධාරණය කළේය. එසේම ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ අවස්ථා සඳහා හංගේරියානු ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයන්ට කථානායකවරයා ආරාධනයක්ද කළේය. සංචාරක කර්මාන්තයෙහි අභිවෘද්ධිය කෙරෙහි රජයේ උත්සහය ද ඔහු පෙන්වාදුන් අතර, පෙර වසරවලට සාපේක්ෂව හංගේරියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළයාම සතුටට කරුණක් බව පෙන්වා දුන් ඒ මහතා දෙරට අතර සංචාරක සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයත් අවධාරණය කළේය. දෙරට අතර සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා-හංගේරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට අපේක්ෂා කරන බවද ගරු කථානායකවරයා ද ප්‍රකාශ කළේය.මෙහිදී අදහස් දැක්වූ  හංගේරියාවේ ගරු නියෝජ්‍ය කථානායකවරයා දෙරට අතර දිගුකල් පවත්නා මිත්‍රත්වය අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ පරිසරය, ස්වාභාවික සුන්දරත්වය, පොහොසත් සංස්කෘතිය සහ උණුසුම් ආගන්තුක සත්කාරය එහිදී ඔහුගේ ඇගයීමට ලක්විය.විවෘත පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම, මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම හා අත්දැකීම් මෙන්ම යහභාවිතයන් හුවමාරු කර ගැනීම සහ පාර්ලිමේන්තු පර්යේෂණ හැකියාවන් වර්ධනය කිරීම සඳහා යුරෝපීය සංගමයේ “INTER PARES” ගෝලීය ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට හංගේරියාව අපේක්ෂා කරන බවද ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය ඕලා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. දෙරට අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර සෘජු ගුවන් ගමන් හඳුන්වාදීමේ හැකියාව සහ සංචාරක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමේ අපේක්ෂාව ද ඔහ අවධාරණය කළේය.හංගේරියාවේ නිල සංචාරයක් සඳහා එක්වන ලෙස ඔහු ගරු කථානායකතුමාට ආරාධනයක් ද කළේය.මෙම සංචාරය අතරතුර, හංගේරියානු ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය ඕලා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ද හමුවිය. මෙම සුහද සාකච්ඡාවලදී කෘත්‍රිම බුද්ධියේ (AI) නැගී එන ගෝලීය ප්‍රවණතා සහ අභියෝග, දෙරටේ දේශපාලන ක්‍රමවේදයන්, ශිෂ්‍ය පාර්ලිමේන්තු වැනි මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සහ සංචාරක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු විය.හංගේරියානු දූත පිරිස ඊට අමතරව විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූහ. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ (AI) ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා සහ කාරක සභා දෙකම නියෝජනය කරන සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන්හි සහයෝගීතාවය ඉදිරියට ගෙන යාම සහ නැගී එන ගෝලීය අභියෝග ඵලදායී ලෙස ග්‍රහණය කර ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ යෙදවීම සහතික කිරීම සඳහා ශක්තිමත් නියාමන රාමු, සදාචාරාත්මක ප්‍රමිතීන් සහ පාලන යාන්ත්‍රණ ස්ථාපිත කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. දෙරට අතර වැඩිදියුණු කළ සහයෝගීතාව සහ දැනුම හුවමාරුව සඳහා  කෘත්‍රිම බුද්ධිය පිළිබඳ  පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පිහිටුවීමට ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය ලාජොස් ඕලා මහතා මෙහිදී යෝජනා කළේය.කෘතිම බුද්ධිය ආශ්‍රිත ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම සාකච්ඡාවලදී අවධාරණය කෙරුණු අතර, විනිවිදභාවය, වගවීම සහ තිරසාර තාක්ෂණික ප්‍රගතිය සහතික කරන අතරම නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා හංගේරියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී නැවත තහවුරු කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, හංගේරියාවේ කොන්සල් ෂෙවන්ත හරීන්ද්‍ර සුධාරක මෙන්ඩිස් මහතා සහ නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීම්වලට සහභාගී වූහ.මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය සහ සම්ප්‍රදායන් පිළිබඳ කරුණු සොයාබලමින් හංගේරියානු ජාතික සභාවේ ගරු  නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ චාරිකාවකට ද එක්විය.


2026-02-20

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.02.20

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකත්වය නම් කෙරේ. •    “ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පතට ගරු කථානායකවරයාගේ  සහතිකය.   පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස පත් කළ සභාපතිවරයා සහ සමාජික මන්ත්‍රීවරයන්ගේ නම් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (පෙබ. 20) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.ඒ අනුව ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිතිවයෙන්  යුක්ත මෙම විශේෂ කාරක සභාවේ  අනෙකුත් සාමාජික ගරු මන්ත්‍රීවරයන් ලෙස මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, ආර්. එම්.රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි,  ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් නම් කළ බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.මේ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව,  2026 පෙබරවාරි 19 දින “ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පතෙහි  සහතිකය සටහන්  කල බව   ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.2025 දෙසැම්බර් මස 05 වන දින ගරු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් පළමු වර කියවීම සඳහා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 පෙබරවාරි 05 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම පනත් කෙටුම්පත  මගින්  ආයතනයේ සාමාජිකයන්ගේ වෘත්තීය ප්‍රමිතීන් සහ විනය පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා තථ්‍යය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමටත්, තථ්‍යය දේපළ වෘත්තිය සම්බන්ධයෙන් වන ජනතාවගේ උනන්දුව ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය නමැති පනත් කෙටුම්පත 2026 අංක 6 දරන ශ්‍රී ලංකා තථ්‍යය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත  ලෙස  බලාත්මක වේ.


2026-02-19

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.02.18

පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකය“නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන)” පනත් කෙටුම්පතට සහ කන්ටේනර් මෙහෙයුම් කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පතට සිය සහතිකය 2026.02.17දින සටහන් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (පෙබ. 18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.1972 2ංන 10 දරන නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත මේ මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව, මේ වනවිට විශේෂිත ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන කන්ටේනර් මෙහෙයුම්කරුවන් උක්ත පනත යටතේ තවදුරටත් නියාමනය නොවන අතර, ඔවුන් කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත මගින් නියාමනය වීමට නියමිතය. එමෙන්ම අනෙකුත් සියළු නැව් සේවා සපයන්නන් පාලනය කිරීම පවතින පනත මගින් දිගටම සිදු කරනු ඇත.කන්ටෙනර් බහාලුම් ක්‍රියාකරුවන් සඳහා දැනට පවතින සියලුම බලපත්‍ර මෙන්ම සලකා බැලීමට නියමිත අයදුම්පත්ද ස්වයංක්‍රීයව නව රාමුවක් යටතට පත්වන අතර,  එමගින් ක්ෂේත්‍රයේ මෙහෙයුම් සහ වාණිජ්‍ය කටයුතුවල  අඛණ්ඩතාවය සහතික කෙරේ.මේ අනුව, 2026 පෙබරවාරි 05 දින සම්මත කරන ලද උක්ත පනත් කෙටුම්පත  2026 අංක 4 දරන නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත ලෙස බලාත්මක වේ.එමෙන්ම, 2026.02.05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද කන්ටේනර් ක්‍රියාකරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ කන්ටේනර් ක්‍රියාකරුවන්ගේ ව්‍යාපාර නියාමනය කිරීම සහ පාලනය කිරීම සිදු කරනු ලබයි. එවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ඕනෑම පුද්ගලයෙකු වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් තිබිය යුතු බව එමගින් නියමය කෙරේ. එය 2026 අංක 03 දරන කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට  බලපත්‍ර ලබා දීමේ පනත, ලෙස බලාත්මක වේ. බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට (ආචාර්ය) උපාලි පන්නිලගේ නම් කෙරේ.කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන ප්‍රකාරව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks