පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-02-20
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බව ද එතුමිය සඳහන් කළාය. ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවාගැනීමට පියවර ගන්නා බව එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
පසුගියදා (පෙබ. 18) පාර්ලිමේන්තුවේදී ගරු අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී එතුමිය මේ බව සඳහන් කළාය. මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
තවද, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ’ සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් පත් කළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම වාර්තාව සකස් කරන ලදී. ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ දැන්වීම් මගින් එම වාර්තාව පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මාසයක කාලයක් ලබා දීමට මෙහිදී තීරණය විය.
මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා විසින් ද පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් ද ඉදිරිපත් කරන ලදී. එසේම, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.
තවද ජාතික හා පළාත් මට්ටමින් මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව, ඒවා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදීම සිදුවිය.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.
2026-02-20
ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකෙහි වාර්තා ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.(203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2463/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්‍ර අයභාර නියෝග සංශෝධනය කිරීමට අදාළ නියෝග සහ අංක 2467/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්‍රවලංගු කාලය දීර්ඝ කිරීමට අදාළ නියෝග සඳහා මෙසේ අනුමතිය හිමිවිය.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරු ද සහභාගි වූහ.තවද, ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකක වාර්තා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදුවිය.අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවේ වාර්තාව එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. දිනිඳු සමන් හෙන්නායක මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් (App Base Workers) වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ.ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවන ලද අනුකාරක සභාවේ වාර්තාව, එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පරීක්ෂා කර ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.තවද රටේ විවිධ ප්‍රදේශවල ප්‍රවාහන අංශයේ සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඇති අඩුපාඩු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
2026-02-20
තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 2026 වසර සඳහා වූ ඉදිරි වැඩසටහන් පිළිබඳව එම සංසදයේ රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. ඒ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මෙරට තාරුණ්‍යට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සහ සංකල්පීය කරුණු සංසදය හරහා වර්ධනය කර ඒවා රාජ්‍ය අංශයේ යාන්ත්‍රණයන් හරහා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සංසදයේ ක්‍රියාකාරකම් සකස් විය යුතු බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැනට සකස් කරමින් පවතින යෝජිත ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව, යෝජිත ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.තවද, තාරුණ්‍යට අදාළවන නීතිවලට ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම, දත්ත මත පදනම් වූ වැඩසටහන් සකස් කිරීම සහ තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබා ගැනීම මෙන්ම තාරුණ්‍ය සඳහා ස්ථාපිත ජාත්‍යන්තර සංසද සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා විය.තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ සහ තනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-02-19
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.17 වැනි දින කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (Industrial Technology Institute) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය. මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ උක්ත ආයතනයෙන් සමාජයට සිදුවන කාර්යභාරය සහ එහි සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හා රජයේ වැඩ පිළිවෙලට මෙම ආයතනය මගින් ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වන අතර මෙය සංවර්ධනීය අපේක්ෂාවෙන් කරනු ලබනන්නක් බව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.මෙම ආයතනය මෙරට ඇති ඉහළම මට්ටමේ පර්යේෂණාගාර සහ පරීක්ෂණාගාර පහසුකම් සහිත පර්යේෂණ (Research) හා පරීක්ෂණ (Testing) යන දෙක සඳහාම පහසුකම් ඇති ලංකාවේ පවතින එකම ආයතනය වේ. කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම, ආයතනය සතු සුවිශේෂී තාක්ෂණික හැකියාවන් විශේෂ පරීක්ෂණ සේවා සහ පහසුකම්, ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සහ ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම ආදී කරුණු පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.කාර්මික තාක්ෂණ ආයතනය තුළ පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශ 6ක් සහ පරීක්ෂණ සේවා සපයන අංශ 7ක් ක්‍රියාත්මක වන අතර එහි ඖෂධ (pharmaceutical), ද්‍රව්‍ය (material), රසායන ද්‍රව්‍ය (chemical), ක්ෂුද්‍රජීව විද්‍යා (microbiology) පරීක්ෂණ , ක්‍රමාංකනය (calibration), විද්‍යුත් තාක්ෂණය (Electrotechnology) අවශේෂ (Residue) සම්බන්ධ පරීක්ෂණ සිදු කරනු ලබන බව එහිදී අනාවරණය විය.පරිසර ආරක්ෂණ බලපත්‍ර (Environmental Protection License) සඳහා පහසුකම් සැලසීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය කර්මාන්තශාලා සැලසුම් (Factory Layout) සහ යන්ත්‍රෝපකරණ උපදෙස් ලබා දීමද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර ආයතනයේ විශ්වසනීයත්වය තහවුරු කරන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රතීතනය වන බවත් ආයතනය ISO 17025 (2017) ජාත්‍යන්තර ප්‍රමිතිය අනුගමනය කරන බවත් මෙහිදී අනාවරණය විය. මුල් කාලයේ ස්වීඩනයේ SWEDAC ආයතනයෙන් ප්‍රතීතනය ලබාගත් නමුත්, 2013 සිට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) හරහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනය ලබා ගන්නා අතර දැනට ආයතනය සතුව ජාත්‍යන්තරව පිළිගන්නා විශේෂිත පරාමිතීන් 1035කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රතීතනය පවතී. ITI ආයතනය ජාතික වශයෙන් වැදගත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබන අතර ආහාර, ජලය (ආසනික් වැනි), ඖෂධ සහ විලවුන් (රසදිය අන්තර්ගතය වැනි) පරීක්ෂා කිරීමේ පහසුකම් පවතී.විදේශයන්ට අපනයනය කරන තේ, එළවළු සහ පළතුරුවල අඩංගු පළිබෝධනාශක අවශේෂ (Pesticide Residue) පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 143ක් වටිනා අතිනවීන උපකරණයක් මෑතකදී එක් කර ඇති බව මෙහිදී අනාවරණය විය.එමෙන්ම මහාමාර්ග (Highways) සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ශබ්ද පරීක්ෂණ (Sound Testing) සහ ධ්වනි සැලසුම් නිර්මාණය කරන්නේද මෙම ආයතනය විසින් වන අතර, ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු මතුවිය. දැනට ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂා කිරීමට විදේශීය ආයතන වෙත මාස හයක කාලයක් සඳහා රුපියල් මිලියන 32ක් පමණ ගෙවීමක් සිදු කරනු ලැබේ. ITI ආයතනයේ නිලධාරීන් පෙන්වා දුන්නේ රුපියල් මිලියන 350ක පමණ මූලික ප්‍රග්ධනයක් ආයෝජනය කිරීමෙන් (උපකරණ 14ක් ඇතුළුව) මෙම පරීක්ෂණ පහසුකම ප්‍රතීතනය සහිතව මෙම ආයතනය තුළම ඇති කළ හැකි බවයි.නොරොච්චෝල විද්‍යාගාරය සතුව ප්‍රතීතනය (Accreditation) නොමැතිවීම හේතුවෙන් එහි වාර්තා ජාත්‍යන්තරව හෝ අධිකරණයකදී පිළි නොගන්නා බව මෙහිදී අනාවරණය විය.එය ස්වාධීන තුන්වන පාර්ශවීය පරීක්ෂණාගාරයක් (Third-party independent lab) නොවීමද ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම හේතුවෙන් විගණන විමසුම් රැසක් මේ වන විටත් ආයතනය වෙත ලැබී ඇති බවත් රජයේ මුදල් වැය කර ස්ථාපිත කළ ඇතැම් පහසුකම් ප්‍රයෝජනයට නොගැනීම බරපතල තත්ත්වයක් බවත් රජයේ නිර්දේශයන්ට අනුව මෙලෙස මෙම රසායනාගාර ස්ථාපිත කළ බවත් මෙහිදී අනාවරණය විය.එමෙන්ම රුපියල් මිලියන 99ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ 2019 දී ස්ථාපිත කරන ලද ඖෂධ පරීක්ෂණාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එකඟතාවන් නොමැතිවීම හේතුවෙන් අඩපණව (Underutilized) පවතින බවත් 2017-2020 කාලය තුළ රුපියල් මිලියන 117ක් වැය කර ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරයක් ඉදි කළද, තෙල් සාම්පල ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා එයින්ද නිසි ප්‍රයෝජන ගෙන නැති බවත් මෙහි දී අනාවරණය විය. ඖෂධ පරීක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රධාන ගැටලුව වන්නේ "නියාමකයා සහ පරීක්ෂකයා වෙන් විය යුතුයි" (Separation of regulator and tester) යන WHO නිර්දේශය නොසලකා හරිමින්, නියාමන ආයතන විසින්ම පරීක්ෂණ සිදු කිරීම බවත් එහිදී "ලබැඳියාවන් පිළිබඳ ගැටුමක්" (Conflict of Interest) පවතින බවත් අනාවරණය විය.රජයේ පරීක්ෂණ කටයුතු සඳහා ITI වැනි ප්‍රතීතනය ලත් රජයේ ස්වාධීන ආයතනයක් භාවිතා කිරීම දිරිමත් කරමින් නීතිමය යාන්ත්‍රණයක් සකස් විය යුතු බවට සාකච්ඡාවේදී එකඟවූ අතර එය මහජන විශ්වාසය (Public Confidence) තහවුරු කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන් (WHO වැනි) අනුගමනය කිරීමටත් හේතු වනු ඇත.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එම් අස්ලම්, ගරු නීතීඥ නිලන්ති කොට්ටහච්චි, ගරු සමන්මලී ගුණසිංහ, ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවනන්දරාජා, ගරු රුවන් මාපලගම, ගරු අසිත නිරෝෂණ එගොඩවිතාන, ගරු චන්දිම හෙට්ටි ආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි විය.
2026-02-16
ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ රවුෆ් හකීම්, නිමල් පලිහේන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.02.10 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදීය.ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත ඉවත් කිරීම සහ ඒ හාය සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම අරමුණු කොටගෙන මෙම ක්ෂුද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සකස් කර ඇත.2024 වසරේ ඉදිරිපත් කරන ලද මෙහි මුලික කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දුන් ව්‍යවස්ථානුකූල නොගැලපීම් මෙම නව පනත් කෙටුම්පත මගින් විසඳා ඇති බවට පෙනී යන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසීය. සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන සකස් කර ඇති මෙම ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කාරක සභාවේ ප්‍රසාදය හිමිවිය.මෙම පනත් කෙටුම්පත මගින් පිහිටවනු ලබන අධිකාරියක් මගින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ යෙදී සිටින තැනැත්තන් සඳහා බලපත්‍ර දීම සහ ඔවුන් නියාමනය කිරීම සිදු කරනු ලබන අතර මෙම අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි. අධිකාරිය විසින් ප්‍රදානය කරන බලපත්‍රයක් ඇතිව මිස, යම් තැනැත්තකු විසින් මුදල් ණයට දීමේ ව්‍යාපාර සිදු නොකළ යුතු බව දක්වා ඇති බව පනත් කෙටුම්පත පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු මෙහිදී පැවසුහ.මාර්ගගත ආකාරයට ණය මුදල් ලබාදීමේ ක්‍රියාවලිය මෙම අධිකාරිය යටතේ නියාමනයට ලක්වන්නේද යන්න කාරක සභාව නිලධාරීන්ගෙන් වීමසීය. ඒ අනුව මාර්ගගත ආකාරයට ද ණය මුදල් ලබාදීම සිදු කළ හැක්කේ බලපත්‍ර සහිතවුන්ට පමණක් බව නිලධාරීහු පැවසූහ. එමෙන්ම ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනතකෙටුම්පත මගින් ප්‍රධාන වශයෙන් සිදු කර ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.ප්‍රජා මූලික මූල්‍ය ආයතන සඳහා ලිහිල් නියාමන ගාස්තු හෝ සරල අනුකූලතා අවශ්‍යතා හඳුන්වා දීමෙන් ඔවුන්ගේ සමාජ සවිබල ගැන්වීමේ භූමිකාව මෙම පනත් කෙටුම්පත තුළ ආවරණය වීම පිළිබඳව මෙන්ම ප්‍රායෝගික මෙහෙයුම් ගැටලු සහ පාරිභෝගික ආරක්ෂාව යනාදී තවදුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ඊ - වාණිජ්‍ය ව්‍යාපාරිකයින් (e-Commerce Operators) වැනි ඇතැම් ණය දෙන්නන් මෙම පනත යටතට ඇතුළත් නොවන බව නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.නීති සම්පාදනය සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය සහ අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන මහජන සහ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට නිර්දේශ ලබා දෙන ලදී. මෙහිදී පළමු පියවර ලෙස නිතර අසනු ලබන ප්‍රශ්න(FAQ) ඇතුළත් ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බව ද කාරක සභාව දැනුම් දෙන ලදී.ණය සහ තැන්පතු යන දේඅංශයේ ම උපරිම පොලී අනුපාත නියම කිරීමට අධිකාරියට ව්‍යවස්ථාපිත බලතල හිමිවන බැවින්, ක්ෂුද්‍රමුල්‍ය ආයතන විසින් ඉතිරි කිරීමේ හා ණය දීමේ කටයුතු සඳහා භාවිතා කරන විවිධ මුල්‍ය මෙවලම් වල ස්වභාවය රැකෙන පරිදි බලතල ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට ප්‍රකාශ කරන ලදී.ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට බලතල පැවරීම පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහි දී කුඩා ණය දෙන ආයතන අධිකාරිය සමග කටයුතු කිරීමේදී කොළඹට පැමිණීමට අවශ්‍ය නොවන බවත්, ඒ හා බැඳුණු කටයුතු (අයදුම්පත් හැසිරවීම, අනෙකුත් දෛනික කාර්යයන්) සඳහා සීමිත බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‌යාල මට්ටමට පැවරීමට කටයුතු සලසා ඇති බව නිලධාරීහු පැවසූහ. මෙම ක්‍රියාවලිය ඵලදායීව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් තොරතුරු තාක්ෂණ පද්ධතියක් ලබා දීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරන ලදී.තවද මෙදින කාරක සභා රැස්වීමේදී (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් සලකා බලා අනුමත කරන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks