පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-02-05
පුවත් කාණ්ඩ : පුවත්
නව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය අද (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දීම සිදුවිය.
මෙරට 42 වැනි විගණකාධිපති ලෙස පත්වූ ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාවයි.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-05-19
“ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (මැයි 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මෙම පනත් කෙටුම්පත හෝ එහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය. “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු 22 වන වගන්තිය සහ 39 වන වගන්තිය හැර, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. කෙසේ වෙතත්, අධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 22 වන වගන්තිය සහ 39 වන වගන්තිය සංශෝධනය කළහොත්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද කථානායකවරයා සඳහන් කළේය.උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අද දින (19) කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද කථානායකවරයා නියෝග කළේය.
2026-05-18
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් ගමගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කමල් ආරියසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (මැයි 14) පැවැත්විණි. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මගින් නායකත්වය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් දරුවන්ට ලබා ගැනීමට හැකි බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය. රටේ නාස්තිය අවම කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුව හා සම්බන්ධ වන රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් තුළ අවබෝධයක් පැවතිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය. එසේම ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීමද ඒ මහතා විසින් සිදු කරන ලදි.ශිෂ්‍ය අවධියේ සිටම නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත්කම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා දරුවන් අමතමින් පෙන්වා දුන් අතර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන්ද ඒ මහතා දරුවන් දැනුවත් කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා මධුභාෂිණී බුලත්සිංහල මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි සංයුතිය සහ කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කළාය.ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදු විය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් පිළිබඳව සභාව දැනුවත් කිරීම සිදු විය.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබා දීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.වැඩසටහන අවසන් කරමින් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනී එන්.ජී.ආර්. සුමේධා කාරියවසම් මහත්මිය ස්තූති කථාව සිදු කළාය. මෙම වැඩසටහන සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වාසනා එදිරිසූරිය, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි යන මහත්ම මහත්මීන්ද සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද එක්ව සිටියහ.
2026-05-14
පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මැයි 19 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.මැයි 20 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.මැයි 21 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇති) විවාදයට ගැනීමට නියමිත ය. මැයි 22 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
2026-05-14
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පසුගියදා සිදු විය. මේ අනුව රු. 20.00 සහ රු. 70.00 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරිණි.ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කළ අතර මෙමගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට අවකාශය උදා වනු ඇත.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගි වුහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පි. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks