04

E   |     |  

2026-02-03

පුවත් කාණ්ඩ : පුවත් 

පෙබරවාරි 6 වැනි සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් - පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ කරන ලද ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 1.30 ට  පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

තවද 2026.01.28 දිනැති  අංක 2473/13 දරන  අත්‍යවශ්‍ය  මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය ද  පෙබරවාරි 6 වැනි සිකුරාදා ප.ව. 5.30 ට විවාදයකින් තොරව අනුමත කර ගැනීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.   




සම්බන්ධිත පුවත්

2026-02-06

ජෝර්ජියානු තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ජෝර්ජියානු තානාපති ගරු වක්තන්ග් ජාඕෂ්විලි මහතා  (Vakhtang Jaoshvili) ඊයේ (පෙබ. 05) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.මෙහිදී සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය, විදුලි සංදේශ, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය වැනි අංශවල, ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව 2023 දී වසර 25 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සනිටුහන් කිරීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරිණි.ශ්‍රී ලංකා ආර්ථිකය ‍මේවන විට ස්ථාවරවී ඇති බැවින්, විදේශ ආයෝජන සඳහා ආකර්ෂණීය අවස්ථා ඇති බව ගරු කථානායකතුමා ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණෙන ලෙස ජෝර්ජියානු ආයෝජකයින්ට ආරාධනාවක් කළේය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ සුවිශේෂි ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළ අතර, මෙරට උරුමය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට පැමිණෙන ලෙස ජෝර්ජියාවේ සංචාරකයින් දිරිමත් කරන බවද සඳහන් කළේය.මෙහිදී අදහස් දැක්වූ  තානාපතිවරයා පැවසුවේ දෙරට අතර සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා කැපවන බවයි. එසේම ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ජෝර්ජියාවේ අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉදිරියේදී  දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ජෝර්ජියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ අපේක්ෂාව ද ගරු කථානායකතුමා මෙහිදී ප්‍රකාශ කළේය. 


2026-02-06

අනාගතයට සූදානම් - ඉන්දු ලංකා ද්වීපාර්ශ්වීය සංවාදය පාර්ලිමේන්තුවේදී

ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කරන ලද "අනාගතයට සූදානම් - ඉන්දු-ලංකා සහයෝගීතා සංවාදය" යන මැයෙන් සාකච්ඡාවක් ඊයේ (පෙබ. 05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රතිපත්ති විශේෂඥයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.බලශක්ති හවුල්කාරිත්වය සහ සමුද්‍රීය සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමු විය. මෙරට  ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහ 'ෆැක්ටම්' ආයතනයේ තාක්ෂණික සහය  මෙම සංවාදය සංවිධානය කිරීම සඳහා හිමිවී තිබිණි. ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ විය. කලාපීය සහ ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින්, තිරසාර හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායි සහයෝගීතාවයක් අත්කර ගැනීම සඳහා මෙවැනි සංවාදයක වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා, ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට සහ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ට, මෙම සංවාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළේය. තිරසාර ආර්ථික සහයෝගීතාවයක් සඳහා ණය ලබා ගැනීමට නැඹුරු මූල්‍යකරණයට වඩා ආයෝජනවලට නැඹුරු මූල්‍යකරණයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.මෙම සංවාදය සැසිවාර දෙකක් යටතේ පවත්වන ලදී. පළමු සැසියේදී බලශක්ති හවුල්කාරිත්වය කෙරෙහි අවධානය යොමු කළ අතර, චින්තන් පර්යේෂණ පදනමේ සභාපති සහ හිටපු ඉන්දීය පරිපාලන නිලධාරියෙකු වන ශිෂිර් ප්‍රියදර්ශි  සහ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් යන මහත්වරු විසින් අදහස් පළ කරන ලදී. බලශක්ති සම්බන්ධතාවය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ඒකාබද්ධ සහයෝගීතාව සඳහා නව මාර්ග ඇතුළු බලශක්ති සහයෝගීතාව සඳහා පවතින අවස්ථා සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.දෙවන සැසිය ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත්කම පිළිබිඹු කරමින් සමුද්‍රීය සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කළේය. සමුද්‍රීය ආරක්ෂාව, සමුද්‍රීය කර්මාන්තයේ තිරසාර සහයෝගීතාව, සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ විභවය සහ අදාළ අභියෝග සාකච්ඡා කරන ලදී. චින්තන් පර්යේෂණ පදනමේ සාමාජික ආචාර්ය චාවි වසිෂ්ට් සහ සමුද්‍ර විශ්ලේෂක සහ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරි රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න (විශ්‍රාමික) යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් ඉදිරිපත් කළහ.මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ ෆැක්ටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඕමාර් රාජරත්නම් මහතා විසිනි. ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනාගත ක්‍රියාකාරී සැලසුම් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා, මෙම කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය සහ නායකත්වය වෙනුවෙන් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසට සිය කෘතඥතාව පළ කර සිටියේය.


2026-02-05

නව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය කථානායකවරයා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙයි

නව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය අද (පෙබ. 05) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දීම සිදුවිය.මෙරට 42 වැනි විගණකාධිපති ලෙස පත්වූ ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාවයි.පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


2026-02-05

කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා හමුවෙයි

කොරියානු ජනරජයේ ජාතික සභාවේ ගරු නියෝජ්‍ය කථානායක ලී හැක් යන්ග් මහතා පසුගියදා (පෙබ. 03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.කොරියානු ජනරජයේ ජාතික සභාවේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  බොක් කිවෑන්ග්,  සොන්ග් ජේබොං සහ ජුන්ග් හයිකියුං යන මහත්ම මහත්මීහු, ජාතික සභා ලේකම් කාර්යාලයේ ආසියා-පැසිෆික් කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලී ජයොං සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි මියන් ලී යන මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම හමුවට සහභාගී වූවාය.මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම, පසුගියදා දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනයේදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් කොරියානු ජනරජයට සිය කෘතඥතාව පළ කළේය. කොරියානු ජනරජයේ සහාය ඇතිව, විශේෂයෙන් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා අධ්‍යාපනය, ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය සහ ජල සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු කථානායකතුමා මෙහිදී සිහිපත් කළේය. තවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සඳහා ලබා දී ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා ද ඔහු ස්තූතිය පළ කර සිටියේය.ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මේවනවිට ස්ථාවර වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා කොරියානු ආයෝජකයින් උණුසුම් ලෙස පිළිගන්නා බවත් ගරු කථානායකතුමා තවදුරටත් ප්‍රකාශ කළේය. ඉදිරියේදී ශ්‍රී ලාංකික සේවකයින් සඳහා කොරියානු ජනරජයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාකරන බව ද ඔහු පැවසීය.කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ගරු ලී හැක් යන්ග් මහතා, ආරාධනය පිළිබඳව ගරු කථානායකතුමාට කෘතඥතාව පළ කළ අතර, මෙම සංචාරය දෙරට අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ප්‍රකාශ කළේය. ලබන වසරේදී ශ්‍රී ලංකාව  සහ කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරෙන බව ඔහු සඳහන් කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සංවර්ධනය සඳහා අංශ ගණනාවක් හරහා සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශ්වාසය පළ කළේය.සංචාරකයින්ගේ පැමිණීම වැඩි කිරීම, බලශක්ති සහ මහාමාර්ග වැනි ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා කොරියානු සමාගම්වලට සහභාගී වීමට වැඩි අවස්ථාවන් ලබා දීම සහ දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සහ සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම යන අරමුණු සහිතව කොරියානු සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධ කරුණු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.සාකච්ඡාවලින් අනතුරුව, දූත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ චාරිකාවක නිරත වූ අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පිහිටි ජය ශ්‍රී මහා බෝධියට මල් පූජා කිරීමට ද කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු නිරීක්ෂණය කිරීම ද එක්වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks