01

E   |     |  

2026-01-26

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (AP) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

  • දින 45 ක කාල රාමුවක් තුළ වැට් බදු ආපසු ගෙවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම  සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ ප්‍රසාදය 

    කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.

    මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.01.20 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතට අනුව සමාගමක් ව්‍යාපාරයක නිරත වීමට අදහස් කරන අවස්ථාවකදී, ඒ යම් ඉල්ලුම්කරුවෙකුට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයේ නිරතවීම සඳහා බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සහ අවසර ලැබීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම සිදු කළ යුතුය. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මේ වන විට එම ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අයදුම්පත් 72ක් පවතින බවයි. 

    මේ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ ලිපිය හේතුවෙන් 2025.07.04 දින සිට මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවට දැනුවත් වූ බවයි.  එබැවින් මෙම අයදුම්පත් සලකා බැලීම සිදු නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ. එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ  2025 ජූලි මස වන විටත් අයදුම්පත් 54ක් ලැබී තිබුණද ඒ සම්බන්ධයෙන්ද සලකා බැලීම ආරම්භ කොට නැති බවයි. ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ පනතේ සංශෝධන සිදුවීමට නියමිත බැවින් මීට අදාළ ක්‍රියාවලිය ඉදිරිය‍ට සිදු කරන ආකාරය වෙනස් විය හැකිද යන්න සැකයක් පැවති බවත් මේ නිසා ඉදිරි කටයුතු සිදු නොකළ බවත්ය. එසේම සංශෝධිත පනත 2026.01.20 බලාත්මක වූ බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කරන බව නිලධාරීහු පෙන්වා දුන්හ. 

    මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට නව ආයෝජන පැමිණීම රටේ සියලු දෙනාගේ අරමුණ බවත් මේ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැදගත් බවයි.

    තවද සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. 

    මින් පෙර 2025 ඔක‍්තෝබර් මස නිලධාරීන් කාරක සභාවට පැමිණි අවස්ථාවේදී පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම් (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය. නමුත් ‍මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2026 ජනවාරි 15 වන විට ආපසු ගෙවීම් 96% ක් පමණ සිදු කර ඇති බවත් පැරණි ගෙවීම් බහුතරයක්ද සිදු කර ඇති බවත් ය. 

    කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව SVAT ක්‍රමවේදය මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන කිබෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් තම ප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පළ කළේය. 



සම්බන්ධිත පුවත්

2026-03-10

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින සාර්ථක නේවාසික වැඩමුළුවක්

පාරදෘශ්‍යබව, වගවීම, සහභාගීත්වය සහ සියලු දෙනාටම අවස්ථාව ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාවට සමීප කිරීම සඳහා සංසදයේ උපරිම මැදිහත් වීම සිදුකරනවා - සංසදයේ සමසභාපතිවරු අවධාරණය කරතිඉදිරි වැඩසටහන් යෝජනාවලියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් පියවරවිවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය මාර්තු මස 06 සහ 07 යන දිනවලදී කලුතරදී සාර්ථකව පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ ( Westminster Foundation for Democracy) – (WFD) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානයේ  (Coalition for Inclusive Impact) – (CII) අනුග්‍රහයෙන් වැඩමුළුව සංවිධානය වී තිබිණි.  විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද මෙම වැඩමුළුවට සහභාගී වූහ.සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ අදහස් ලබාගෙන විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් සැළසුම් කිරීම මෙහිදී සිදුවිය. ඒ අනුව විවෘත රාජ්‍ය සහ විවෘත පාර්ලිමේන්තු සංකල්පය සවිස්තරාත්මකව හඳුන්වාදීම මෙහිදී සිදුවිය.  විවෘත පාර්ලිමේන්තු ක්‍රියාවලිය මගින් පාරදෘශ්‍යබව (Transparency), වගවීම (Accountability), සහභාගීත්වය (Participation) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව හිමිවීම (Inclusivity) යන ප්‍රධාන මූලධර්මයන් ඔස්සේ රටේ මහජනතාවට පාර්ලිමේන්තුව වඩාත් සමීප ආයතනයක් බවට පත් කිරීමේ පියවර පිළිබඳව මෙහිදී ‘විවෘත පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ජාතික උපදේශ’ ඇන්ජලීනා හර්මන් මිය කරුණු ඉදිරිපත් කළාය. තවද විවෘත පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාත්මක ලොව විවිධ රටවල් සහ ඊට අදාළ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම 2015 වසරේදී මුල් වරට මෙම සංසදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවට වඩාත් සමීප ආයතනයක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා විසින් කරුණු පැහැදිළි කරන ලදී. තවද, පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය සහ ඒවායේ මහජන සහභාගීත්වය වැඩි කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක මහත්මිය  දැනුවත් කිරීමක් ද සිදු කළාය. මෙහිදී සම්පත් දායකයන් සහ සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් අතර දැනුම, අදහස් හුවමාරු කර ගැනීම සිදුවූ අතර ඒ අනුව සංසදයේ ඉදිරි වැඩපිළිවෙල සහ ඊට අදාළ ක්‍රියාකාරි සහ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් අවධාරණය කළේ මහජනතාවට වඩාත් සමීප පාර්ලිමේන්තුවක් සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය කටයුතු කරන බවයි.  මෙම අවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) මෙරට අධ්‍යක්ෂ සංජේ විග්නරාජා මහතා සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානය  (CII) නියෝජනය කරමින් ඩිලාෂිනී අඟුනවෙල මහත්මිය ද සහභාගී වූහ. 


2026-03-06

ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ තෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේදී සාර්ථකව නිමාවෙයි

ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහන් මාලාවේ තෙවැන්න පසුගියදා (පෙ.බ. 27) මඩකලපුව දිස්ත්‍රික්කයේදී සාර්ථකව පැවැත්විණි. දසවැනි පාර්ලිමේන්තුවේ ‘ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ මූලිකත්වයෙන්  මඩකලපුව මහ නගර සභා ශාලාවේදී පැවත්විණි.මෙම අදහස් විමසීමේ වැඩසටහන  සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.එස් අරුල්රාජ් යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති අතර, නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පද්මනාදන් සත්‍යලිංගම් මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, ඥානමුත්තු ශ්‍රීනේසන් සහ කන්දසාමි ප්‍රභු යන මහත්වරු සහභාගී වූහ. තවද මඩකලපුව සහකාර දිස්ත්‍රික් ලේකම් ජී. ප්‍රවීන්, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී චන්ද්‍රකලා ඥානේෂ්වරන්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන්, මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින්, සමාජ සංවර්ධන නිලධාරීන් ඇතුළු  රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ. ක්‍රියාකාරී සංගම් 14 ක සහාය ඇතිව මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයින් 9,000 කට වැඩි පිරිසක් ජීවත් වන බවට සංඛ්‍යාලේඛන මගින් මෙහිදී අනාවරණය විය. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. අරුල්රාජ් මහතා විසින් මෙහිදී පෙන්වා දුන්නේ සිසුන් 183 දෙනෙකුට සේවය ලබා දෙන විශේෂ අධ්‍යාපන ඒකක 23 ක පුහුණු ගුරුවරුන් 21 දෙනෙකුගේ අවශ්‍යතාවය ඇතුළු ගැටලු පවතින බවයි. ආබාධිත පුද්ගලයින් සඳහා විධිමත් හැඳුනුම්පත් නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ දුෂ්කරතා සහ පොදු ගොඩනැගිලිවලට ප්‍රවේශවීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළේය.මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා අවධාරණය කළේ, මෙම අදහස් විමසීමේ වැඩසටහන මගින් දයානුකම්පිත සහ සියලු දෙනාට අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවාවන් මනුෂ්‍යත්වය සහ සමානාත්මතාවය මත පදනම්ව ලබා දිය යුතු බව ද ඔහු පැවසීය. ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ රැකියා සඳහා සුදුසුකම් ලැබීමේ විභාග ක්‍රමයේ පවතින බාධාවන් මගහරවාගැනීම සඳහා මාර්තු මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීමට සංසදය සැලසුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා කැපවීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු රජයේ සියලු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.සංසදයේ නියෝජ්‍ය සම සභාපති වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා මෙහිදී අදහස් දක්වමින්, මඩකලපුවේ ආබාධ සහිත පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට සහාය දීමේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන් ගැටුම් සහ වෙනත් හේතූන් නිසා ආබාධිතභාවයට පත් පුද්ගලයින් සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ සේවාවන් සහතික කිරීම සඳහා අදාළ ආයතන හරහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් ආබාධ සහිත ප්‍රජාවට සේවා සැපයීමේදී  මුහුණදීමට සිදුවන තත්ත්වයන් සහ දෛනික ජීවිතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික අභියෝග පෙන්වා දුන්හ. ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් පැමිණ පිරිස මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ අධ්‍යාපන දීමනා නියමිත දිනයට ලැබීමට සැලැස්වීම, බ්‍රේල් ක්‍රමය පදනම් කරගත් ක්‍රමවේදයන් හරහා දෘශ්‍යාබාධිත අපේක්ෂකයින් සඳහා තරඟකාරී විභාග පැවැත්වීම, රෝහල්වල ප්‍රමුඛතා ප්‍රවේශය ලබා දීම, පොදු ප්‍රවාහනයේ වෙන් කර ඇති ආසනවලට ගරු කරන බව සහතික කිරීම, සහ විශේෂ ප්‍රවේශ මාර්ග හෝ සෝපාන නොමැතිව ඉහළ මහලවල රැස්වීම් බොහෝ විට පවත්වන පළාත් පාලන කාර්යාලවල ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු  කිහිපයක් ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී උක්ත ප්‍රජාවට අදාළ සමහර ගැටළුවලට ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට නිකුත් කරන ලද නියෝග ඔස්සේ වහාම විසඳුම් ලබාදුන් අතර, අනෙකුත් කරුණු දිගුකාලීන තිරසාර හා පද්ධතිමය වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණයන් සඳහා දිස්ත්‍රික් බලධාරීන් සහ පාර්ලිමේන්තු සංසදය වෙත යොමු කරන ලදී. ආබාධ සහිත පුද්ගලයින්ගේ ගැටළු වලට සෘජුවම සවන් දීමට සහ ඒවා ගැන නිසි අවධානය යොමුකිරීමට මෙන්ම එම ගැටළු සඳහා ප්‍රතිපත්ති මත පදනම් වූ විසඳුම් යෝජනා කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් මට්ටමේ හමුවීම් පැවැත්වීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරයා පැවසීය. ඒ මගින් ශ්‍රී ලංකාව තුළ වෙසෙන උක්ත ප්‍රුරවැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සිය සංසදය කැපවී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.මෙම අවස්ථා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් ආධාර සහිත මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) එක්ව සංවිධානය කරන ලදී.


2026-02-24

දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 20) එම කාරක සභාව  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.  ඒ අනුව,  ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපතිවරිය සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතාන මහත්මියගේ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස නම් කරන ලද මහාචාර්ය මොහම්මද් ඉබ්‍රාහිම් ෆසීහා අස්මි මහත්මියගේ නාමයෝජනා සඳහා මෙලෙස පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.එයට අමතරව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඒ්. විමලේන්තිරරාජා මහතාගේ පත්කිරීම සඳහාද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත. 


2026-02-24

වතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රු. 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකසන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ මහජනතාව වෙත ආපදා සහන සැලසීමේ ප්‍රගතිය පිළිබඳ කාරක සභාවේ අවධානයආපදා කළමනාකරණ රක්ෂණය පිළිබඳව කාරක සභාවේ අවධානයරාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) වැඩසටහන්වල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානයවතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රු. 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ‍වතු කම්කරුවන්ට වැටුප් වැඩිකිරීම සඳහා කාරක සභාවේ විරුද්ධත්වයක් නොමැති බවත් මෙම දීමනාව ගෙවීමේ ක්‍රමවේදයට අදාළ නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්ය. මේ අනුව මෙම මුදල් ගෙවීම ගැසට් කිරීමකින් තොරව පෞද්ගලික වතු සමාගම් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව (MOU) සිදු වන බවත් මෙය ඕනෑම අවස්ථාවක අවසන් කිරීමට හැකි බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි. එසේම මෙම රු. 200 මුදල සේවක අර්සාථ සාධක අරමුදලට දායකත්වයක් නොලැබෙන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.මෙම අවබෝධතා ගිවිසුම (MOU) වසර 3ක කාලයක් සඳහා පෞද්ගලික වතු සමාගම් සමග ඇතිකරගෙන තිබෙන බවත් එම කාලසීමාව අවසන් විමෙන් පසු මෙම ගෙවීම් ඉදිරියට කරගෙන යෑමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් පැමිණි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදි. මේ අනුව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය මුදල් නිසි මූල්‍ය විනයකින් තොරව පෞද්ගලික ආයතනවල වැටුප් ගෙවීමට යෙදවීම නුසුදුසු බවයි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් 2026 අයවැයෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බැවින් අදාළ ගෙවීම සිදු කරනුු ලබන බවයි. අනුමත අයවැය ඇස්තමේන්තුවලට අනුව, මෙම ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පෙන්වා දී ඇත්තේ 'සංවර්ධන සහනාධාරයක්' (Development subsidy) ලෙසිනි. සාමාන්‍යයෙන් සංවර්ධන සහනාධාර මගින් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහාය වීම අපේක්ෂා කරන බැවින්, මෙම ගෙවීම 'නිෂ්පාදන දිරිගැන්වීමක්' (Production incentive) ලෙස හැඳින්වීම වඩාත් උචිත බව නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා (DST) පෙන්වා දුන්නේය. කෙසේ වුවද, ප්‍රායෝගිකව ජනවාරි මාසය සඳහා මෙතෙක් සිදු කර ඇති ගෙවීම්වල හෝ අදාළ අවබෝධතා ගිවිසුම්වල (MoU) එවැනි අවශ්‍යතාවයක් පිළිබඳව සඳහන් නොවන බව නිරීක්ෂණය විය. එසේම, දිනකට රුපියල් 200 බැගින් වන දීමනාව සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවක භාරකාර අරමුදලේ (ETF) ගණනය කිරීමෙන් බැහැර කිරීම අදාළ නීතිවලට අනුකූලද යන්න පිළිබඳව ද කාරක සභාව ප්‍රශ්න කළේය. අවබෝධතා ගිවිසුම් සහ මෙම විවිධ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තේ දැයි විමසූ විට, නිලධාරීන් ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා නොගත් බවයි.මේ අනුව මෙවැනි ගැටලු සහගත තැන් නිවැරදි විය යුතු බවත් මෙම ගෙවීම සම්බන්ධයෙන් කිසියම් හෝ නීත්‍යානුකූල පසුබිමක් සකස් විය යුතු බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (නීතීඥ) චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.02.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. එසේම මෙහිදී  දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ මහජනතාව වෙත ආපදා සහන සැලසීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද විවිධ සහන පියවර යටතේ, මේ වන විට රුපියල් බිලියන 24.4ක් පමණ මුදාහැර ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. නිවාස පිරිසිදු කිරීම, නිවාස උපකරණ මිලදී ගැනීම සහ පාසල් සිසුන් සඳහා වන දීමනාවලින් බහුතරයක් මේ වන විටත් බෙදා දී ඇති බව නිලධාරීහු පෙන්වාදුන් අතර එහෙත්, හානි තක්සේරු කිරීම සහ ඉඩම් හඳුනා ගැනීම වැනි ක්‍රියාවලීන් හේතුවෙන්, නිවාස ප්‍රතිසංස්කරණය සහ කුලී ආශ්‍රිත සහන ගෙවීම් මුදා හැරීම මෙතෙක් ප්‍රමාද වී ඇති බව පැවසූහ. මෙම කටයුතු සත්‍යාපනය කරන ආකාරය සහ වගවීම සහතික කරන ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීහු මෙහිදී පැහැදිලි කළහ. සහන ගෙවීම් අපේක්ෂා කරන්නන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කාරක සභා සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන් අතර, විශේෂයෙන්ම නිවාස සම්බන්ධයෙන් වන සහාය හැකි ඉක්මනින් ලබා දිය යුතු බව ඔවුහු අවධාරණය කළහ.එසේම ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) නිලධාරීන් සිය මූල්‍ය තත්ත්වය සහ 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු සාමාන්‍ය රක්ෂණ සමාගම් වෙතින් ඉදිරිපත් වූ හිමිකම්පෑම් හේතුවෙන් එම අරමුදලට පියවීමට සිදුව ඇති ප්‍රතිරක්ෂණ හිමිකම් පිළිබඳව පැහැදිලි කළහ. වර්තමානය වන විට NITF වෙතින් අපේක්ෂිත ඇස්තමේන්තුගත ප්‍රතිරක්ෂණ හිමිකම් මුදල රුපියල් බිලියන 11ක් පමණ වන අතර 2023 වසරේ සිට NITF හි අවදානම් නිරාවරණයන් ජාත්‍යන්තර ප්‍රතිරක්ෂණකරුවෙකු සමඟ ප්‍රතිරක්ෂණය කර නොමැති වුවද, පවතින හිමිකම් පෑම් පියවීමට තමන්ට හැකියාව ඇති බව නිලධාරීන් පෙන්වා දුන්හ.රජයේ දෛනික වියදම් පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව සැලකිය යුතු මුදල් සංචිතයක් (cash buffer) පවතින බවත්, 2025 වසර අවසානය වන විට එහි භාවිත කළ හැකි ප්‍රමාණය රුපියල් බිලියන 750ක් පමණ බවත් මෙහිදී අනාවරණය විය. දෙසැම්බර් මාසයේ සිදු කරන ලද ගෙවීම් හේතුවෙන් මුදල් සංචිතය මෙම මට්ටම දක්වා අඩු වී තිබුණු බවත් මෙලෙස සංචිත අඩු වීම නිසා දෙසැම්බර් අග සිට ජනවාරි මැද දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ඉහළ ගොස් ඇති බවත්, එම සතිවල පොලී පිරිවැය වැඩි වීමට එය බලපෑ බවත් මෙහිදී අනාවරණය වූ අතර එම තත්ත්වය මේ වන විට සමනය වී ඇති බව අනාවරණය විය. රජයේ වසරක පොලී පිරිවැයට වඩා මෙම සංචිත ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය සියයට 2-3ක් තරම් අඩු මට්ටමක පවතින බැවින්, මුදල් සංචිතය පවත්වාගෙන යාමේදී ආවස්ථික පිරිවැයක් (opportunity cost) පවතින බවත් මෙහිදී අනාවරණය විය. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) වැඩසටහන්වල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර ස්ථාපිත කර මාස 14ක කාලයක් ගත වී ඇති මෙම කාර්යාලයේ (PDMO) සමස්ත කාර්ය මණ්ඩල බඳවා ගැනීම් මේ වන විට සියයට 90කින් අවසන් කර ඇති බව නිරීක්ෂණය විය. එමෙන්ම, එම නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම උදෙසා දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ විශේෂිත පුහුණු වැඩසටහන් (Specific Training) ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු සඳහා දැනට මහ බැංකුවේ වෙන්දේසි පද්ධතිය භාවිතා කළද, ඉදිරියේදී පූර්ණ මෙහෙයුම් ස්වාධීනත්වයකින් කටයුතු කිරීම සඳහා එම කාර්යාලය සතු  වූ ස්වාධීන පද්ධතියක් (Independent System) ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. එසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව කාරක සභාවට නිරීක්ෂණය විය. එම සමස්ත ණය සඳහා වන සාමාන්‍ය පිරිවැය (Average Cost) සියයට 8.73ක් ලෙස වාර්තා වන බව ද මෙහිදී හඳුනා ගැනුණි. තවද 2026 වසර සඳහා රජයේ සමස්ත විදේශ ණය සේවාකරණ අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් මිලියන 2504ක් ලෙස පුරෝකථනය කර ඇති බව නිරීක්ෂණය විය. එම වසර සඳහා අපේක්ෂිත විදේශ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 2100ක් වන අතර, එය ව්‍යාපෘති ණය (Projects) ලෙස ඩොලර් මිලියන 858ක්, ලෝක බැංකු අයවැය ආධාර (World Bank Budget Support) ලෙස ඩොලර් මිලියන 150ක්, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ඩොලර් මිලියන 380ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ඩොලර් මිලියන 800ක් ලෙස ලැබීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව, එම වසරේ ණය පියවීම සඳහා තවදුරටත් ඩොලර් මිලියන 400කට අධික අතිරේක සම්පත් කළමනාකරණය කිරීමේ පරතරයක් (Resource Management Gap) පවතින බව ද නිරීක්ෂණය විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks