01

E   |     |  

2026-01-26

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

2026.01.09 දින පැවති රැස්වීමේදී අදාළ කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර ‍මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා දුන්හ. 

ඒ අනුව පසුගියදා (ජන. 22) පැවති කාරක සභා රැස්වීමේදී ඒ  සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත් සඳහා අනුමතිය හිමි විය.  
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය.

මෙම රැස්වීමට ගරු කාරක සභා සමාජික මන්ත්‍රීවරුන් වන (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දන සූරියආරච්චි, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
 



සම්බන්ධිත පුවත්

2026-01-26

කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (AP) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

දින 45 ක කාල රාමුවක් තුළ වැට් බදු ආපසු ගෙවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම  සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ ප්‍රසාදය කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.01.20 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතට අනුව සමාගමක් ව්‍යාපාරයක නිරත වීමට අදහස් කරන අවස්ථාවකදී, ඒ යම් ඉල්ලුම්කරුවෙකුට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයේ නිරතවීම සඳහා බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සහ අවසර ලැබීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම සිදු කළ යුතුය. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මේ වන විට එම ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අයදුම්පත් 72ක් පවතින බවයි. මේ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ ලිපිය හේතුවෙන් 2025.07.04 දින සිට මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවට දැනුවත් වූ බවයි.  එබැවින් මෙම අයදුම්පත් සලකා බැලීම සිදු නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ. එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ  2025 ජූලි මස වන විටත් අයදුම්පත් 54ක් ලැබී තිබුණද ඒ සම්බන්ධයෙන්ද සලකා බැලීම ආරම්භ කොට නැති බවයි. ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ පනතේ සංශෝධන සිදුවීමට නියමිත බැවින් මීට අදාළ ක්‍රියාවලිය ඉදිරිය‍ට සිදු කරන ආකාරය වෙනස් විය හැකිද යන්න සැකයක් පැවති බවත් මේ නිසා ඉදිරි කටයුතු සිදු නොකළ බවත්ය. එසේම සංශෝධිත පනත 2026.01.20 බලාත්මක වූ බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කරන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට නව ආයෝජන පැමිණීම රටේ සියලු දෙනාගේ අරමුණ බවත් මේ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැදගත් බවයි.තවද සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. මින් පෙර 2025 ඔක‍්තෝබර් මස නිලධාරීන් කාරක සභාවට පැමිණි අවස්ථාවේදී පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම් (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය. නමුත් ‍මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2026 ජනවාරි 15 වන විට ආපසු ගෙවීම් 96% ක් පමණ සිදු කර ඇති බවත් පැරණි ගෙවීම් බහුතරයක්ද සිදු කර ඇති බවත් ය. කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව SVAT ක්‍රමවේදය මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන කිබෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් තම ප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පළ කළේය. 


2026-01-23

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක්

මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව යෝජනාවලියක් සකස්  කිරීමට  සංසදයේ අවධානය. විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් මාර්තු මස 06 සහ 07 යන දිනවලදී පැවැත්වීමට විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය සැළසුම් කර ඇත.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026.01.20 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) අනුග්‍රහය දක්වන මෙම වැඩමුළුව තුළ සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ අදහස් ලබාගෙන විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් සැළසුම් කිරීම මූලික අරමුණ කරගෙන මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසීය.පළාත් පාලන ආයතන තුළ කමිටු පිහිටුවීමේදී සිවිල් සමාජය නියෝජනය කරමින් සාමාජිකයින් එම කමිටු සඳහා පත්කිරීම සඳහා පවතින ප්‍රතිපාදන බලාත්මක කිරීම උදෙසා සංසදයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරමින් යන ආදර්ශ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාගෙන එය තවදුරටත් සාර්ථක කරගැනීමට සංසදය තීරණය කරන ලදී.මෙම  රැස්වීම සඳහා  ගරු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයන්  ඇතුළු  පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ. 


2026-01-19

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ජනවාරි 30 කළුතර දී

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ, "ආබාධිතභාවයට සංවේදී පාර්ලිමේන්තුවක්" යන අභිලාෂයට අනුව දිවයින පුරා ආබාධ සහිත තැනැත්තන්‍ගෙන් සෘජු අදහස් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳ කරුණු සකච්ඡාවුයේ 2026 වසර සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.09 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිවරයා මෙම වැඩසටහන් මාලාවේ පළමු අදියර කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව සඳහන් කළේය. තවද මෙම වැඩසටහන් මාලාවේ තෙවැනි සහ සිව්වැනි අදියර පිළිවෙලින් පෙබරවාරි මස 27 වැනි දින මඩකලපුවේදී සහ මාර්තු මස 27 වැනි දින පොළොන්නරුවේදී ද පැවැත්වීමට තීරණය කරන ලදී.එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වීමටද අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය.මේ අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ස‍හ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, සංසදයේ සාමාජික  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම, චන්දිම හෙට්ටිආරච්චි, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


2026-01-19

ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී සාකච්ඡා

ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා  සාකච්ඡා කෙරිණි.  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත්කර ඇති එම අනුකාරක සභාව ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම සුදුසුකම් සහ තනතුරු අනුව ස්ථානගතකර ඇති ආකාරය දැක්වෙන සහ ඉදිරි වසර 5 සඳහා පවතින පුරප්පාඩු පුරෝකථනය කළ හැකි වන පරිදි නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම ඇතුළු කාරක සභාව විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. විදුහල්පති පළමුවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුර ම පමණක් දැරීම, සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයෙන් අනතුරුව ස්ථාන මාරුවීම්වලට යටත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව මෙම යෝජනා පිළිබඳ අමාත්‍යාංශයේ ද යෝජනා සහ අදහස් මාස දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දෙන ලදී. අනතුරුව මීට අදාළ අවසන් නිර්දේශ සකස් කිරීමට නියමිත බවත් අනුකාරක සභා සභාපතිවරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය. අනුකාරක සභා සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ සුගත් වසන්ත ද සිල්වා යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks