බලන්න

E   |     |  

2026-01-21

පුවත් කාණ්ඩ : පුවත් 

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

කොළඹ වරාය නගරය  ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා   2026.01.20  දින සිය සහතිකය සටහන් කළ  බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා අද (ජන. 21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම  පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026.01.07 වන දින  විවාදයට ගෙන  පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 දරන මුල් පනත සංශෝධනය කිරීමේ අරමුණින් ගෙනන ලද අතර, එහිදී  අක්වෙරළ බැංකු කටයුතු සහ බදු අනුකූලතාවය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණය වැඩිදියුණු කිරීමටත්, උපාය මාර්ගික වැදගත්කමේ ව්‍යාපාර (BSI) සඳහා වන නිර්ණායක තවදුරටත් සංශෝධනය කර පැහැදිලි කිරීම  අරමුණු කර ඇත.

මෙම සංශෝධ පනත මගින් කලාපය තුළ මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වඩාත් දැඩි අධීක්ෂණයක් හඳුන්වා දෙන අතර, විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අක්වෙරළ බැංකු කටයුතු නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබාදීම  සිදුවේ. තවද  මෙම පනත මගින් වරාය නගරයේ ආර්ථික රාමුව ගෝලීය බැංකු අවශ්‍යතා සහ ජාතික මූල්‍ය ස්ථායිත්ව ඉලක්ක සමඟ සමපාත  කරනු ඇත. 

ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත , 2026 අංක 01 දරන  කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.



සම්බන්ධිත පුවත්

2026-05-18

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් ගමගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කමල් ආරියසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (මැයි 14) පැවැත්විණි. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මගින් නායකත්වය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් දරුවන්ට ලබා ගැනීමට හැකි බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය. රටේ නාස්තිය අවම කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුව හා සම්බන්ධ වන රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් තුළ අවබෝධයක් පැවතිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය. එසේම ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීමද ඒ මහතා විසින් සිදු කරන ලදි.ශිෂ්‍ය අවධියේ සිටම නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත්කම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා දරුවන් අමතමින් පෙන්වා දුන් අතර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන්ද ඒ මහතා දරුවන් දැනුවත් කළේය.  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා මධුභාෂිණී බුලත්සිංහල මහත්මිය  විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි සංයුතිය සහ කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කළාය.ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදු විය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් පිළිබඳව සභාව දැනුවත් කිරීම සිදු විය.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබා දීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.වැඩසටහන අවසන් කරමින් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනී එන්.ජී.ආර්. සුමේධා කාරියවසම් මහත්මිය ස්තූති කථාව සිදු කළාය. මෙම වැඩසටහන සඳහා,  අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වාසනා එදිරිසූරිය,  ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් නදීක දංගොල්ල,  පාර්ලිමේන්තු‍වේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි යන මහත්ම මහත්මීන්ද සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද එක්ව සිටියහ.


2026-05-14

පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මැයි 19 අඟහරුවාදා  පෙ. ව 11.30 සිට ප.ව. 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.මැයි 20 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය විී ඇත.මැයි 21 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇති) විවාදයට ගැනීමට නියමිතය. මැයි 22 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව  (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ  කනගසබෙයි තම්මන්පිල්ලෙයි   යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. 


2026-05-14

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කෙරේ

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පසුගියදා සිදු විය. මේ අනුව රු. 20.00 සහ රු.70.00 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරිණි.ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කළ අතර මේ මගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය උදා වනු ඇත.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගී වුහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පි. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


2026-05-13

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සඳහා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, පිළියන්දල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ‍කුමුදු හේමමාලි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදය මගින් අනාගත ක්‍රියාකාරී නායකයන් බිහිකරගැනීමට අවස්ථාව සැලසෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය. එසේම ශිෂ්‍ය අවධියේදීම නිපුණතා සහ දක්ෂතා වැඩිදියණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය අදහස් දැක්වූ අතර සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. ආර්. හේරත් මහතා  විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි සංයුතිය සහ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.වැඩසටහන අවසන් කරමින් ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්.කේ.කේ.එම්. ප්‍රනාන්දු මහත්මිය විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks