පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-01-19
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ, "ආබාධිතභාවයට සංවේදී පාර්ලිමේන්තුවක්" යන අභිලාෂයට අනුව දිවයින පුරා ආබාධ සහිත තැනැත්තන්‍ගෙන් සෘජු අදහස් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ කරුණු සකච්ඡාවුයේ 2026 වසර සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.09 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිවරයා මෙම වැඩසටහන් මාලාවේ පළමු අදියර කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව සඳහන් කළේය. තවද මෙම වැඩසටහන් මාලාවේ තෙවැනි සහ සිව්වැනි අදියර පිළිවෙලින් පෙබරවාරි මස 27 වැනි දින මඩකලපුවේදී සහ මාර්තු මස 27 වැනි දින පොළොන්නරුවේදී ද පැවැත්වීමට තීරණය කරන ලදී.
එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වීමටද අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය.
මේ අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම, චන්දිම හෙට්ටිආරච්චි, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
2026-06-05
රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කෙරේ2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීම සිදු විය. ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චම්පික හෙට්ටිආරච්චි සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (02) රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සමෘද්ධි බැංකු විගණනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 වර්ෂයට අදාළ විගණනය කිරීම සඳහා 2023 සහ 2024 වර්ෂවල විගණන දෙක අවසන් කළ යුතු බවයි. එම විගණනයන් බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව නිලධාරීහු මෙහිදී පැවසූහ. මෙම කටයුතු සඳහා නිලධාරීන් 300ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබුණද, වසර 1 1/2ක් තුළ මේ සඳහා නිලධාරීන් 200ක් බඳවා ගැනීම ප්‍රමාණවත් බව විගණකාධිපතිතුමිය මෙහිදී පැවසුවාය. එසේම, මෙම බැංකුව විගණනයට අදාළව නිශ්චිත ක්‍රමවේදයක් (Frame Work) නොපවතින බවද නිලධාරීහු අවධාරණය කළහ. මේ අනුව, මේ පිළිබඳව අධ්‍යයනය කර සමෘද්ධි බැංකු හා සමිති විගණනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය යෝජනාවක් ලෙස කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය. තවද, සයිබර් ආරක්ෂණ (Cyber Security) ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර විගණන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දෙපාර්තමේන්තුවේ නොමැති බවත්, පද්ධති විගණනයේදී එය බාහිර පාර්ශ්ව (External Auditors) විසින් සිදු කරන බවත් ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු වැඩිදුරටත් පැවසුහ. මීට අමතරව රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) වැඩසටහනට අදාළ ගිණුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදුවිය. Rebuilding Sri Lanka යනුවෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බව එහිදී අනාවරණය වූ අතර, මෙය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ තිබෙන ගිණුමක් පමණක් බව ජාතික විගණන කාර්යාල නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම එමගින් මෙතෙක් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත් නිලධාරීහු පැවසූහ.
2026-06-03
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවීම ආරම්භ කොට තිබේ.මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් සහ සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අරමුණ වන්නේ , මැතිවරණ සම්බන්ධයෙන් වන නීති, විශේෂයෙන්ම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත සහ එම පනත්වලට වසර ගණනාවක් තුළ සිදු කරන ලද සංශෝධන සහ එම පනත්වල විධිවිධානයන්ට අදාළ වන විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීම, මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම සහ මැතිවරණ සම්බන්ධයෙන් වන වර්තමාන නීති (පළාත් සභා ඡන්ද විමසීම හැර) සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීම යි.එම කාරක සභාවේ දී සලකා බැලීම සඳහා අදාළ විෂයපථය යටතේ අදහස්/ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට / ඒ පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ට සහ සංවිධානවලට අවස්ථාව ලැබෙන අතර, එම අදහස්/ යෝජනා 2026 ජූලි මස 15 දිනට ප්‍රථම පහත ලිපිනයට හෝ legis_com@parliament.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය. ලිපිනය: කාරක සභාවේ ලේකම්මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
2026-06-03
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පොලිස් ස්ථාන ශක්තිමත් කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා පොලිස් නිලධාරීන්ගේ නියෝජනය සහ කිලිනොච්චිය ආශ්‍රිත වැලි ජාවාරම මැඩලීම ඇතුළු පොලිස් සේවාව හා සම්බන්ධව ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-02
වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රු. මිලියන 1000ක් වෙන් කර ඇති බවත් අදාළ යන්ත්‍රෝපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට රු. මිලියන 100ක ව්‍යාපෘතියක් මේ වසරේ ක්‍රියාත්මක බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. එසේම, වී, සහල් බවට පත් කිරීම සහ අල මිල දී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී ඇති බවත්, අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 220 ක මුදලකට මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා ඒවා විකිණීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.එසේම, සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් පමණක් නැවත සහල් ආනයනය පිළිබඳව සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.ඇතැම් සමූපකාර සමිතිවල සිදුවන වංචා සහ දූෂණ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අදාළ චංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් කිසිදු දඩුවමකින් තොරව නැවතත් එම සමිතිවල තනතුරුවලට පත් වීම ඇතුළු ගැටලු පිළිබඳව මන්ත්‍රීවරු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ. පවතින නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසීම් සිදුකරමින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය . මහපොළ ශිෂ්‍යාධාර ලබා ගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමයක් අභිනවයෙන් පිහිටුවා ඇති බවත්, ඒ සඳහා දායකත්වය ලබා දෙමින් සියලු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එක් වන ලෙසත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව අනාගත ශිෂ්‍ය ප්‍රජාවේ උන්නතිය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම සංගමයට හැකි වනු ඇති බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළේය. සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව වන කරුණු ඇතුළු මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks