පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-01-09
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.01.06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටතුළ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් සිදු කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යනාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවත් කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත්ය.
මේ අනුව, කාරක සභාව පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් මේ වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබාදීමට කාරක සභාව සූදානම් බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) වැඩි ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කිරීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) 12 දෙනෙකු බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබුණද දැනට සිටින්නේ එක් නිලධාරියෙකු පමණක් බවත්, ඔහුද ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය නොකරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ පවතින පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු ඉක්මනින් කරන ලෙසයි.
එසේම පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු යාවත්කාලීන තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතිය සම්බන්ධ යෝජනාවලියක් මාස 3ක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.
තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි.
එසේම දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් 31 දිනට හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් 48% ගැසට් නොකිරීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
මීට අමතරව ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට තීරණය කරන ලද ස්ථාන සහ අදාළ කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත්, නලීන් හේවගේ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-07-16
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී.ඒ, ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මෙහිදී අනු කාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උක්ත වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඒකී වාර්තාවට ඇතුළත් වේ.ඉන් අනතුරුව වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳව කාරක සභාවේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා විමසා බැලූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව එම වාර්තාව සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.
2026-07-16
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ද, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි, වෛද්‍ය ජනක සේනාරත්න සහ සුනිල් රත්නසිරි යන මහත්වරු ද සහභාගි වූහ.
2026-07-16
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරිණි.ඒ, තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ හයවන රැස්වීම ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.මෙහිදී ජාතික තාරුණ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තාරුණ්‍යයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිපත්තියට ඇතුළත් කර ගැනීම සඳහා සංසදයේ සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට ද අවධානය යොමු කෙරිණි.තරුණ ප්‍රජාවගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස එක්කර ගැනීම සඳහා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංසදය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
2026-07-16
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදි කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය.බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, නීතිඥ තුෂාරි ජයසිංහ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මෙන්මගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන් සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks