03

E   |     |  

2025-12-18

පුවත් කාණ්ඩ : පුවත් 

චීනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ගරු කථානායකවරයා හමුවෙති

චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (SCNPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ගරු වැන්ග් ඩොංමින් (Wang Dongming) මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන නියෝජිත පිරිසක් ඊයේ (දෙසැ. 17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.

ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, පාර්ලිමේන්තුවේ ගරු සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති බිමල් රත්නායක, ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ පරිසර ආරක්ෂණ හා සම්පත් සංරක්ෂණ කමිටුවේ සභාපති ගරු ලු සින්ෂේ, විදේශ කටයුතු කමිටුවේ උප සභාපති සහ ජාතික මහජන කොංග්‍රසයේ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගරු වැන්ග් කේ, ජාතික මහජන කොංග්‍රසයේ සමාජ සංවර්ධන කටයුතු කමිටුවේ උප සභාපති ටැන් ටියැන්සිං ඇතුළු චීන නියෝජිත පිරිසේ සාමාජිකයින් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ශක්තිමත් සබඳතාව පෙන්වා දුන්නේය. ඉහළ මට්ටමේ චීන පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සංචාරය පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි චීනය ලබාදෙන වැදගත්කම මෙන්ම දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වයේ ශක්තිය පිළිබිඹු කරන බවත් ඔහු සඳහන් කළේය. පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ ව්‍යසනයෙන් පසු තත්ත්වය පිළිබඳව කථානායකවරයා නියෝජිත පිරිස දැනුවත් කළ අතර, මෙම කාලය තුළ චීනය ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කර සිටින බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික මහජන කොංග්‍රසයේ (SCNPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ගරු වැන්ග් ඩොංමින් මහතා, ශ්‍රී ලංකාවට පැමිණීමට කළ ආරාධනයට සිය කෘතඥතාව පළ කර සිටියේය. එසේම  දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනයේ කැපවීම ඒ මහතා අවධාරණය කළේය. සමීප සහ මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා චීනය සහාය වීමට සූදානම් බව ඩොංමින් මහතා ප්‍රකාශ කළේය. තවද මෑත කාලීන ආපදා තත්ත්වය හේතුවෙන් එල්ල වූ අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට චීනයේ සහයෝගය තවදුරටත් මෙහිදී තහවුරු කරන ලදී.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන චීන සංචාරය ද ගරු වැන්ග් ඩොංමින් මහතා සිහිපත් කළ අතර එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව උපායමාර්ගික මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් කළේය. තවද, දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ආර්ථික සහයෝගීතාව, අධ්‍යාපනය, සංස්කෘතිය සහ සංචාරක යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට චීනය සූදානම් බව ඔහු සඳහන් කළේය.

ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් චීනය අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී නැවතත් අවධාරණය කළේය.




සම්බන්ධිත පුවත්

2025-12-24

ගරු කථානායකතුමාගේ නත්තල් දින පණිවුඩය

"දෙවියන් වහන්සේ අප අතර තම ප්‍රේමය පෙන්වූයේ මෙසේ ය. උන් වහන්සේ තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ අප එතුමන් තුළින් ජීවත් වන පිණිස ය".ප්‍රේමය, පරිත්‍යාගය, කරුණාව පිළිබද අර්ථයන් සංකේතවත් කරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන මෙම සුභ නත්තල් සමය, ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමතුන්ට ආශීර්වාදය පිරි සුන්දර අවස්ථාවකි.නත්තලේ සැබෑ අරුත නම් මනුෂ්‍යත්වයත් ප්‍රේමණීය පරිත්‍යාගයත් අවධාරණය කරමින් එවැනි ජීවිතයකට අවශ්‍ය අධ්‍යාත්මික මාර්ගයන් විවර කිරීමයි.නමුත් මෙවර නත්තල අප සමරන්නේ, රටක් ජාතියක් ලෙස සුවිසල් ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ය. දිවයිනේ විවිධ ප්‍රදේශවල අපේම ආදරණීයයන් බොහෝ පිරිසක් මේ අවස්ථාව වන විටත් පීඩාවට පත් වී සිටියි. මේ ව්‍යසනය රටක් ලෙස අපව කම්පනය කළ ද ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුම දෙනා එක්ව ආගම්, ජාති, පක්ෂ භේද නොතකා අනෙකා වෙනුවෙන් දැක්වූ පරිත්‍යාගය සහ මානව ප්‍රේමය ගෞරවණීය වූවකි. මෙය නත්තලේ සැබෑ අරුත කියා පෑ මානව ප්‍රේමයේ ප්‍රකාශනයක් ලෙස මම විශ්වාස කරමි.ඒ අනුව මේ නත්තල් සමය සියළු අභියෝග දුරැර, රටක් ජාතියක් ලෙස නැවත නැගී සිටීමටත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලෝකයට හෙළි කළ මනුෂ්‍යත්වයේ ප්‍රේමය සෑම අයෙකු සමඟම බෙදා ගැනීමටත්, සාමය ලඟා කර ගැනීමටත් අරමුණු කරගත් සතුට සෞභාග්‍යය සපිරි ශුභ නත්තලක් වේවා යි ඔබ සැමට ප්‍රාර්ථනා කරමි.වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව


2025-12-19

රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමතිය

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන්  2026 වර්ෂයට අදාළව ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව, අද දින අනුමතිය සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සඳහා අද (දෙසැ. 19) පාර්ලිමේන්තුවේ අනුමතිය  හිමිවිය.මෙම පරිපුරක ඇස්තමේන්තුව ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරන ලදී.  ඒ අනුව අද දින  පෙ.ව.10.00 සිට ප.ව. 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව ජන්ද විමසීමකින් තොරව අනුමත විය. 


2025-12-18

ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික ගරු සමන්තා කැසබෝන් මහත්මිය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික ගරු සමන්තා කැසබෝන් (Samantha Cazebonne) මහත්මිය ගරු කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය දා (16) පාර්ලිමේන්තුවේදී  හමු විය.මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) මහතා ඇතුළු ප්‍රංශයේ නියෝජිත පිරිසක් සහභාගී වූහ. මෙහිදී ප්‍රථමයෙන් අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අයහපත් වූ කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම අපදා තත්ත්වයට මුහුණ දී යථා තත්ත්වයට නැවත පිවිසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් කඩිනමින් ගනිමින් සිටින බව පැවසුවේය. එමෙන්ම මෙම අපදා තත්ත්වය හේතුකොටගෙන ශ්‍රී ලංකාවට ප්‍රංශ රජය විසින් ලබාදෙන සහයෝගයට කථානායකවරයා සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියේය.මෙම ආපදාව හමුවේ ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතු භාවය නැවත වරක් ලොවට විදහා දක්වන ලද බවද ගරු කථානායකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රංශ නියෝජිත පිරිසට පැවසුවේය. එමෙන්ම “ Rebuild Sri Lanka ” වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජාත්‍යන්තරයේ සිටින පිරිස්වලටද අවස්ථාව උදාවී තිබෙන බවද ගරු කථානායකවරයා පැවසීය.ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර දිගුකාලයක සිට පවතින මිත්‍රත්වය සිහිපත් කළ ගරු කථානායකවරයා 2023 වසරේදී ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරයෙන් එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වූ බවද පෙන්වා දුන්නේය.මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික ගරු සමන්තා කැසබෝන් (Samantha Cazebonne) මහත්මිය මෙරට ඇතිවූ  හදිසි අපදා තත්ත්වය  පිළිබඳව සිය සංවේගය ප්‍රකාශ කරමින් ප්‍රංශ රජයේ සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව පැවසුවාය. ප්‍රංශය, යුරෝපා සංගමය සමග එක්ව ශ්‍රී ලංකාවට අවශ්‍ය මානුෂිය ආධාර ලබාදීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවත් ප්‍රංශ රජය විසින් ලබාදෙන අනෙක් මානුෂිය ආධාර ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත් ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.තවද ශ්‍රී ලංකාවේ පුරවැසියන් තුළ ඉහළ මානුෂිය ගුණාංග පවතින බව මෙහිදී පෙන්වා දුන් ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික ගරු සමන්තා කැසබෝන් මහත්මිය ඒ ඔස්සේ මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පෙන්වා දුන්නාය. එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රංශ ජාත්‍යන්තර පාසල තවදුරටත් ශක්තිමත් කරමින් එය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස එම මහත්මිය ගරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියාය. ඊට පිළිතුරු ලබාදෙමින් ගරු කථානායකවරයා අධ්‍යාපන අමාත්‍යංශයට එම ඉල්ලීම සළකා  බැලීම සඳහා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.තවද මෙරට සමාජයේ කාන්තාවන් පිළිබඳව සාමාජයේ  පවතින ආකල්ප පිළිබඳවද ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික ගරු සමන්තා කැසබෝන් මහත්මිය විමසීමක් කළාය. ඊට පිළිතුරු ලබාදෙමින් ගරු කථානායකවරයා ශ්‍රී ලංකාව තුළ කාන්තාව පිළිබඳව යහපත් වූ ආකල්ප පවතින බවත් කාන්තාවන්ට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසුවේය. එමෙන්ම ප්‍රථම වරට කාන්තාවන් සඳහා වූ ස්වාධීන කොමිෂන් සභාවක්ද ස්ථාපිත කොට ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ගරු කථානායකවරයා පැවසුවේය.මෙහිදී ප්‍රංශ සෙනට් සභාවේ සාමාජික ගරු සමන්තා කැසබෝන් මහත්මිය විසින් 2026 වර්ෂයේ පැරිසියේ පැවැත්වීමට නියමිත ගෝලීය සාම සමුළුවට සහභාගි වීමටත්, ප්‍රංශයේ සංචාරයක නිරතවීමටත් කථානායකවරයාට ආරාධනා කළාය. එමෙන්ම ප්‍රංශ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය හා පාර්ලිමේන්තු ක්‍රමවේද නිරීක්ෂණය කිරීමටත් ආරාධනා කළ එම මහත්මිය එය  ප්‍රංශයේ ව්‍යවස්ථාදායක සම්ප්‍රදායන් සෘජුවම දැක බලා ගැනීමට ලැබෙන වටිනා අවස්ථාවක් වනු ඇති බවත් පැවසුවාය.


2025-12-18

පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා  2025.12.17 දින සිය සහතිකය සටහන් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ අනුව, ගරු කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන්  කර ඇත.සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ මූලික අරමුණ වූයේ 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමයි.  2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර  ඇති අතර  එමගින්  ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම අරමුණු විය. ඒ අනුව, පනත් කෙටුම්පතට කරන ලද සංශෝධන සියයට දහයක ප්‍රතිශතයක් වන  දළ එකතු 2023 අප්‍රේල් 1 සිට 2025 ඔක්තෝබර් 1 දක්වා වන කාල සීමාව සඳහා පමණක් අදාළ වන පරිදි සිමා කිරීම, බුකිකරුවෙකුගේ ව්‍යාපාරයක් හෝ සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින්ගෙන් දළ එකතුව මත  බද්ද 2025 ඔක්තෝබර් 1 සිට සියයට දහඅට දක්වා වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන පුද්ගලයින්ගෙන් කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් සියයක් දක්වා වැඩි කිරීම අරමුණු කර ගෙන ඇත.2025.11.14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද අතර එම පනත් කෙටුම්පතද 2025.12.05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. ඒ අනුව, එම සංශෝධන අතරට උපරිම බදු නිවාඩු කාලය අවුරුදු විසිපහේ සිට අවුරුදු දහය දක්වා අඩු කිරීම සහ ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා නව ක්‍රියාවලියක් අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ව්‍යාපෘතියක් හඳුනාගෙන බදු විරාමයක් හෝ සහනයක් ලබාදීමට පෙර අනිවාර්ය පූර්ව- පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීම, ආයෝජන මණ්ඩලය විසින් පූර්ව-කාලීන අධීක්ෂණය සඳහා නව අවශ්‍යතා ස්ථාපිත කිරීම, ප්‍රධාන කාර්ය සාධන දර්ශක වලට අනුකූල නොවීම සඳහා පරිපාලන දඩ මුදල් පැනවීමට හෝ නිදහස් කිරීම් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට ඇති අධිකාරිය ඇතුළුව, බදු ප්‍රකාශන ගොනු කිරීම අනිවාර්ය කිරීම, සහ මෙම ව්‍යාපෘති වලට අදාළ බදු වියදම් පිළිබඳ වාර්ෂික වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට මුදල් අමාත්‍යාංශය සඳහා අනිවාර්ය කිරීම ඇතුළත් වේ.ඒ අනුව, එම පනත් කෙටුම්පත් තුන පිළිවෙලින් 2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)  පනත, 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත සහ 2025 අංක 26 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)  පනත ලෙස බලාත්මක වනු ඇත. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks