logo

E   |     |  

2025-12-18

පුවත් කාණ්ඩ : පුවත් 

පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා  2025.12.17 දින සිය සහතිකය සටහන් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ අනුව, ගරු කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන්  කර ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ මූලික අරමුණ වූයේ 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමයි.  2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.

ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර  ඇති අතර  එමගින්  ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම අරමුණු විය. ඒ අනුව, පනත් කෙටුම්පතට කරන ලද සංශෝධන සියයට දහයක ප්‍රතිශතයක් වන  දළ එකතු 2023 අප්‍රේල් 1 සිට 2025 ඔක්තෝබර් 1 දක්වා වන කාල සීමාව සඳහා පමණක් අදාළ වන පරිදි සිමා කිරීම, බුකිකරුවෙකුගේ ව්‍යාපාරයක් හෝ සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින්ගෙන් දළ එකතුව මත  බද්ද 2025 ඔක්තෝබර් 1 සිට සියයට දහඅට දක්වා වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන පුද්ගලයින්ගෙන් කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් සියයක් දක්වා වැඩි කිරීම අරමුණු කර ගෙන ඇත.

2025.11.14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද අතර එම පනත් කෙටුම්පතද 2025.12.05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. 

ඒ අනුව, එම සංශෝධන අතරට උපරිම බදු නිවාඩු කාලය අවුරුදු විසිපහේ සිට අවුරුදු දහය දක්වා අඩු කිරීම සහ ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා නව ක්‍රියාවලියක් අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ව්‍යාපෘතියක් හඳුනාගෙන බදු විරාමයක් හෝ සහනයක් ලබාදීමට පෙර අනිවාර්ය පූර්ව- පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීම, ආයෝජන මණ්ඩලය විසින් පූර්ව-කාලීන අධීක්ෂණය සඳහා නව අවශ්‍යතා ස්ථාපිත කිරීම, ප්‍රධාන කාර්ය සාධන දර්ශක වලට අනුකූල නොවීම සඳහා පරිපාලන දඩ මුදල් පැනවීමට හෝ නිදහස් කිරීම් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට ඇති අධිකාරිය ඇතුළුව, බදු ප්‍රකාශන ගොනු කිරීම අනිවාර්ය කිරීම, සහ මෙම ව්‍යාපෘති වලට අදාළ බදු වියදම් පිළිබඳ වාර්ෂික වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට මුදල් අමාත්‍යාංශය සඳහා අනිවාර්ය කිරීම ඇතුළත් වේ.

ඒ අනුව, එම පනත් කෙටුම්පත් තුන පිළිවෙලින් 2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)  පනත, 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත සහ 2025 අංක 26 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)  පනත ලෙස බලාත්මක වනු ඇත.
 



සම්බන්ධිත පුවත්

2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


2026-08-20

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks