පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-12-05
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව 25.11.2025 වන දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා මෙවර අයවැයෙන් නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය ලබාදීම සඳහා රුපියල් මිලියන අසූ දහසක් වෙන්කර ඇති බවත් එම මුදල ඵලදායී ලෙස නව ව්‍යවසායකයින්ට ලබාදීම උදෙසා මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පැවසීය. එමෙන්ම මෙම ණය පහසුකම් කුමන අංශ සඳහා ලබාදෙන්නේ ද සහ අදාළ ණය ලබාදීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක්ද ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට අපේක්ෂා කරන බවද ගරු අමාත්‍යවරයා පැවසුවේය.
තවද මෙරට සියලුම කර්මාන්තකරුවන්ගේ තොරතුරු එක පද්ධතියකට රැස් කිරීම සඳහා කර්මාන්තකරුවන් සඳහා වූ ජාතික දත්ත පද්ධතියක් ආරම්භ කර ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය. ඒ අනුව එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම සඳහා සියලුම ව්‍යවසායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරන බවත් එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම ඔස්සේ එම ව්‍යවසායකයින්ට පහසුවෙන් අවශ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පවතින බව මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.
තවද ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වූ ශිල්පීන්ට ඇප රහිත ණය පහසුකම් ලබාදීම පිළිබඳවද කාරක සභාවේදී අදහස් පළ විය.
එමෙන්ම වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීහු කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව කර්මාන්ත ශාලාවේ පැවති අඩු පාඩු සකස් කර මෙතෙක් මාසිකව පවතින මෙට්‍රික් ටොන් 150-180 අතර නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 400 දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇති බව එම නිලධාරීහු අදහස් දක්වමින් පැවසූහ.
තවද මෙරට කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාතික උපදේශන මාලාව පිළිබඳවද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු ඉදිරිපත් කළේය. දැනට ව්‍යාකූල මට්ටමින් ක්‍රියාත්මක වන කැණීම් බලපත්‍ර ලබාදීම වඩාත් ක්‍රමවත්ව ලබාදීම අරමුණු කරගනිමින් ලබන ජනවාරි මාසයේදී එම උපදේශන මාලාව හඳුන්වා දෙන බව ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-12-09
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ ගිණුම් වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා බලන ලදී.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව මෙදින කාරක සභාවේදී 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව සළකාබලා අනුමත කරන ලදී .තවද, පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, රෝහිණි කුමාරි විජේරත්න, අබූබකර් අතම්බාවා, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
2025-12-09
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ රෙගුලාසි සලකා බැලීම සඳහා විශේෂ කාරක සභා රැස්වීමක්.2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ජාතික විගණන කාර්යාලයේ 2026 සඳහා වාර්ෂික වැඩ වැඩසටහන සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කරන ලද අවසන් වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (NMRA) පිළිබඳ සාකච්ඡාවේදී, ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී එම පද්ධතියේ පවතින විනිවිදභාවය සහ පාරදෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කාරක සභාව නිර්දේශ කළේය. ඒ අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කරන ලදී.අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩ වැඩසටහන ද කාරක සභාව විසින් සලකා බලන ලදී. එම වැඩසටහනට අනුව 2026 වසරේදී විගණන 3,508 ක් සිදු කිරීමට නියමිතය. ඒ යටතට මූල්‍ය විගණන 3,484 ක්, කාර්ය සාධන විගණන 11 ක්, පාරිසරික විගණන 1 ක්, විශේෂ විගණන 12 ක් ඇතුළත් වේ.තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ද 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇත.මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10% ත් අතර 15% ක අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කළේය. කාරක සභාවට වැඩි දුරටත් කරුණු දක්වමින් වැඩබලන විගණකාධිපතිවරයා මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව පැවසීය.ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධ අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය. ඒ අනුව, ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙබරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.තවද 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එළඹෙන වර්ෂය සඳහා වන අමාත්‍යාංශ අයවැය යෝජනා සහ මූල්‍ය වෙන් කිරීම් පිළිබඳ කාරක සභාවේ සමාලෝචනයෙන් පසු එහි නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ දක්වා ඇත.ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ලබා දීම සඳහා වන යෝජනාව සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.ඒ අනුව 2025 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් මිලියන පනස් දහසක් (රු. 50,000,000,000) නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු බවටත් එවැනි මුදලක් වියදම් කළ යුතු බවත් අදාළ යෝජනාවේ සඳහන් වී ඇත.2460/44 අංක අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.මෙම රැස්වීම් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
2025-12-05
පනත් කෙටුම්පතකට සහ අති විශේෂ ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.මෙම අනුමතියන් හිමි වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) 2025.12. 02 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.එසේම 2459/46 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි සඳහාද, 2461/43 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 6වන වගන්තිය යටතේ වන නියෝගය සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. තවද 2457/06 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ සහ 2461/40 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 1962 අංක 19 දර ආදායම් සංරක්ෂණ පනත යටතේ වන යෝජනා සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය.තවද 2461/44 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 2011 අංක 18 වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3වැනි වගන්තිය යටතේ වන නියෝගය සහ 2457/05 දරන ගැසට් නිවේදනයේ පළ කරන ලද 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි සහ 3 වැනි වගන්තිය යටතේ නියමය සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-12-05
ශ්‍රී ලංකාවේ අපනයන අංශය නව ප්‍රගතියක් පෙන්නුම් කරන බවත්, සියලුම දිස්ත්‍රික්කවල අපනයනකරුවන් සමඟ කටයුතු කරමින්, නිෂ්පාදන සංවර්ධනය, වෙළඳපොළ ප්‍රවේශය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 2025.11.26 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු මේ බව පැවසූහ. ශ්‍රී ලංකාවේ අපනයන දශකයකට ආසන්න කාලයක් ඇමරිකානු ඩොලර් බිලියන 13-15 අතර පවතින නමුත් මෑත කාලීන ප්‍රතිසංස්කරණ සහ ඉලක්කගත වැඩසටහන් මගින් ඉහළ වර්ධනයක් කරා ගමන් කිරීමට හැකිවූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. අපනයන සංවර්ධන මණ්ඩලයේ නව ජාතික උපාය මාර්ගික සැලැස්ම අනුව ප්‍රධාන උපදේශක ආයතන නැවත සක්‍රීය කර, කර්මාන්ත සහ විදේශීය දූත මණ්ඩල යන දෙකටම පැහැදිලි කාර්ය සාධන ඉලක්ක ලබාදී ඇති බව ඔවුහු තවදුරටත් පැවසූහ.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, අපනයනකරුවන්ගෙන් 78% ක් වන නමුත් මුළු අපනයන ආදායමට සුළු කොටසක් පමණක් දායක වීම පිළිබඳවත් එබැවින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දියයුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, ප්‍රාදේශිය සංවර්ධන වැඩසටහන් සහ වැඩිදියුණු කළ සහාය සේවා හරහා මෙම දායකත්වය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිණි. විශාල ගැනුම්කරුවන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රධාන ජාත්‍යන්තර කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව ද මෙහිදී අනාවරණය විය.ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව මෑත වසරවල ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කරමින් අපනයන ආදායම ඩොලර් බිලියන 16-17 ඉක්මවන තත්ත්වයකට ශක්තිමත් වෙමින් සිටින බව නිලධාරීහු සඳහන් කළහ. ඩොලර් බිලියන 20 ක අපනයන ඉලක්කයක් කරා යන ගමනේදී අඛණ්ඩ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය සහ ශක්තිමත් කර්මාන්ත සහයෝගීතාව අත්‍යවශ්‍ය වනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.ගරු. නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) රුවන් රණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, , චතුර ගලප්පත්ති, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, චමින්ද හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවීර, චන්දන සූරියආරච්චි සහ තිළිණ සමරකෝන් යන මහත්වරු ද අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks